2022 මැයි 29 වන ඉරිදා

මට පොල් සම්බෝලයක්වත් හදාගන්න බැහැ

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 657

එළවළු පළා අඳුරන්නේ නෑ 

මම අවුරුදු 25ක ගැහැනු ළමයෙක්. මම පොඩි කාලේ ඉඳලා වගේ සමහර එළවළු වර්ග, පළතුරු, මල් වර්ග අඳුරන්නේ නෑ. එළවළු සමහර ඒවා අඳුරනවා. පළා වර්ග අඳුරන්නේ නෑ. මල් පැළ අඳුරගන්නත් බෑ. ගෙදර හදලා තියන මල්වර්ගවල නම් වුණත් මට මතක තියෙන්නේ නැහැ. කවුරුහරි ඇහුවාම හැඩය කියලයි මම ඒ ගැන හඳුන්වන්නේ. කුස්සියේ උයන පිහන වැඩ කරද්දීත් ගොඩක් වැඩවලට මම බයයි. අඩු තරමේ පොල් සම්බෝලයක්වත් මට හදාගන්න බැහැ. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය වැඩ ගොඩාක් දේවල් කරගන්න බෑ. ඇඳුමක්වත් අයන් කරගන්න බැහැ. මේ දේවල් නිසා මම ගොඩක් ගෙදර අයගෙනුත් බැණුම් අහනවා. ඒ වැඩ පුරුදු වෙන්න හැදුවත් කරන්න හිතෙන්නේ නෑ. පොඩි ළමයි දන්න ගොඩක් දේවල් පවා මම දන්නේ නැහැ. වෛද්‍යතුමනි, මේක රෝගයක්ද කියලා පහදන්න.

පෙරේරා - රත්නපුර

පිළිතුර:

ඔබ යොමු කර ඇති ප්‍රශ්නයේ ඔබේ අධ්‍යාපන මට්ටම සම්බන්ධයෙන් නිශ්චිත දැනුවත් කිරීමක් කර නැත. යම් ආකාරයකට බුද්ධි මට්ටම අවම වීමෙන් මෙවැනි ප්‍රශ්න මතුවිය හැකිය. ඒ සම්බන්ධයෙන් බුද්ධි පරික්ෂණයක් සිදුකිරීමෙන් බුද්ධි මට්ටම මැන බැලිය හැකිය. එසේ බුද්ධි මට්ටමේ ඌණ තත්ත්වයක් නොමැති නම් මානසික අක්‍රමතාවක් ඇතැයි සිතීමට පුළුවන. එහෙයින් පළමුව එය තක්සේරු කළ යුතුය. ඔබ කළ යුතු සුදුසුම දේ වනුයේ ඔබ පදිංචි ප්‍රදේශයේ මනෝ වෛද්‍ය සායනයට යොමු වී වැඩිදුර උපදෙස් ලබාගන්න.

ගොඩක් දුක දැනුණම ඇඟ පණ නැතුව යනවා

මම 35 හැවිරිදි එක්දරු පියෙක් වෙමි. දරාගන්න බැරි ලොකු දුකක් සහ බයක් දැනුණම මාව වෙව්ලන්න අරන් මගේ අතපය පණ නැති වෙලා යනවා. ඒත් එක්කම ක්ලාන්ත ගතියක් එනවා. ඇතැම් වෙලාවට ක්ලාන්තවෙලා මම බිම පවා වැටිලා තියෙනවා. මාස කිහිපයක ඉඳන් මේ තත්ත්වය තියෙනවා. වෛද්‍යතුමනි, කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

ශාන්ත - දෙහිඕවිට

පිළිතුර:

ප්‍රථමයෙන් ඔබට කායික ආබාධ තිබෙනවාදැයි වෛද්‍ය පරීක්ෂණයක් මගින් නිශ්චය කරගැනීම අවශ්‍යයි. එනම් හිමොග්ලොබීන් අඩුවීමක්ද, රුධිර සංඝටක අඩුවීමක්ද ආදී කායික ආබාධයක් තිබෙනවාදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ ආකාරයට කායික ආබාධ නැතිනම් ඉන්පසුව ඔබ  කවරාකාර මානසික තත්ත්වයක් යටතේ දිවි ගෙවනවාද යන්න සම්බන්ධයෙන් උපදේශනයක් මගින් සාකච්ඡා කළ යුතු වෙනවා. ඇතැම් අවස්ථාවලදී විසඳා ගැනීමට නොහැකි ගැටලු විසඳුමක් නොපෙනෙන ප්‍රශ්න මතු වූ විට මෙවැනි ප්‍රතික්‍රියා ඇතිවීමට පුළුවන්. එහෙයින් මනෝ උපදේශනයකට පෙර කායික රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරික්ෂණ මගින් යම් නිශ්චය කරගැනීමක් කළ යුතුයි.

හැමදේම පේන්නෙ වැරැදියට

මම අවුරුදු 25ක තරුණියක් වෙමි. මට ඉතා ඉක්මනින් මිනිසුන් එපාවෙයි. මට කුඩා කල පටන් ඇසුරු කරන්න ලැබුණු අයගේ වැරදි ගතිගුණ නිසාද දන්නෙ නැහැ මට දැන් සමාජයේ සුළු අඩුපාඩුවක් දුටුවත් කලකිරෙනවා. මට කවුරුහරි කෙනෙක් වැරුද්දක් හරි හිත රිදෙන දෙයක් හරි කළොත් මට නුරුස්සන දෙයක් කිව්වොත් මම එයාට ඒ දවසෙන් පස්සේ කැමැත්තක් ඇත්තේම නෑ. හැමදේම පේන්නෙ වැරදියට. සමාජ සම්මත දේවලට මම කැමති නෑ. වැඩක් කරන්න පටන් ගත්තාමත් එහි සෘණාත්මක ආකල්පමයි දැනෙන්නේ. එක වෙලාවකට මේක කරදරයක් වුණත් මට හිතෙන්නේම එහෙමයි. වැඩිය මිනිස්සු ආශ්‍රය කරන්න කැමති නෑ. මම කැමති මගේ පාඩුවෙ ඉන්න.

සමාධි - මාතලේ

පිළිතුර:

ඔබ මෙහි පවසන ආකාරයට මානසික ආතතිය, විශාදය, කාංසා අක්‍රමතාවක ලක්ෂණ තිබෙන බව පෙනෙනවා. ඔබේ මනෝ ස්වභාවය වෙනස් කිරීමට ප්‍රතිකාර අවශ්‍යයි. පළමුව ඔබ පිළිබඳ තක්සේරුවක් සිදුකර බැලිය යුතුයි. ඉන්පසුව එයට මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද එසේ නැතිනම් උපදේශනය මගින් සිදු කළ හැකිදැයි තක්සේරු කළ යුතු වෙනවා. යම් හෙයකින් ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් විශේෂඥ මනෝ වෛද්‍ය සහාය ලබාගැනීමට සිදුවෙයි. මෙවැනි ක්‍රියාවලියකින් මිස මෙය ස්වයං උත්සාහයකින් හිත හදාගැනීමට හැකි ප්‍රශ්නයක් නොවෙයි.

ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන්  හමුවෙමු.

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන