2022 මැයි 08 වන ඉරිදා

මට ලොකු හීන නැහැ - නිලන්ති ඩයස්

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 81

නිලන්තිට ආයෙමත් පුංචි කාලයට යන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් නිලන්ති යන්න කැමති කොයි කාලෙටද?

එහෙම ආයෙමත් යන්න අවස්ථාවක් ලැබුණොත් මම මගේ අවුරුදු තුන හතර වයසේ කාලයට යන්න ආසයි. ඒ කාලය හරි ලස්සනයි. අපි දුවනවා. පනිනවා. පාට පාට දේවල් අල්ලන, සෙල්ලම් කරන, ඇහෙන සින්දුවකට ඔහේ නටන හැඟීමක් තමයි ඒ කාලේ තිබුණේ. කිසිම වගකීමක් නැහැ. ජීවිතේ බරක් පතලක් තේරෙන්නෙ නැහැ. අම්මගේ ඇඟේ එල්ලිලා ඉන්න, අම්මගේ අතේ එල්ලිලා යන්න ආසා කරපු කාලයක්. ඒ හැඟීම මට වැඩිපුරම දැනුණේ මගේ බබාගේ ඒ වයසත් එක්කයි. මගේ බබා ඒ කාලෙදි එහෙම හැසිරෙද්දි ''මාත් මගේ වයසෙදි මෙහෙම ඉන්න ඇති'' නේද කියලා හිතුණා. ඇත්තටම ඒ කාලයට මම හරි ආසයි.

කලා ක්ෂේත්‍රයෙන් නිලන්තිව ප්‍රතික්ෂේප වෙනවා කියලා හිතන්න. එහෙම වුණොත් නිලන්ති මොකද කරන්නෙ?

කලා ක්ෂේත්‍රයේ අපිව බොහෝ දෙනා හඳුනනවා. මේ කාලේ මාස්ක් එක දාලා ඇවිද්දත්, ඇස් දෙකෙන් කොණ්ඩයෙන් හඳුනාගෙන ''ඔයා නිලන්ති නේද?'' කියලා බොහෝ දෙනා ඇවිත් කතා කරනවා. මාව කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වුණොත් වෙන රටකට ගිහින් රස්සාවක් කරාවි. එහෙම වුණොත් ඒ රටවල මිනිස්සු අපිව දන්නෙ නැහැනෙ. ඒ නිසා එහෙම වෙන රටකට ගිහින් රැකියාවක් කරලා වැටුපක් ගන්න මම ආසයි.

දේශපාලනයට අවතීර්ණ වෙන්න ඔබට ලොකු අවස්ථාවක් වගේම ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

එහෙම ආරාධනාවක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම  ඒක ප්‍රතික්ෂේප කරනවා. දේශපාලනය සම්බන්ධයෙන් මට ලොකු දැනුමක් සහ අත්දැකීමක් නැහැ. ඒ නිසා මම බොරුවට ජනතාව රවට්ටන්න කැමති නැහැ. මම මේ කරන්නේ මම දන්න වෘත්තියක්. දැනටත් මට නිවේදන කටයුතුවලට පවා ආරාධනා ලැබෙනවා. නමුත් මම ඒ දේවල් වුණත් බාරගන්නෙ නැත්තෙ මම නිවේදනයට තාම සුදුසු නැහැ කියලා හිතන නිසයි. මම ආසා දෙයක් නම් මම ඒ දේ සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. නමුත් දේශපාලනයට සම්බන්ධ වීම මම කොහෙත්ම කැමති දෙයක් නොවන නිසා මම ඒ සම්බන්ධයෙන් හදාරන්නෙ නැහැ.

නර්තනය සහ රංගනය යන ක්ෂේත්‍ර දෙකෙන් එකක් තෝරාගන්න නිලන්තිට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් නිලන්ති තෝරාගන්නෙ?

එහෙම වුණොත් මම අනිවාර්යයෙන්ම තෝරාගන්නෙ නර්තනයයි. ඒක මගේ ඇඟෙන්ම එන හැකියාවක්. පොඩි කාලේ ඉඳන්ම මම නර්තනයට ආසයි. ඕනෑම සින්දුවක් ඇහෙන්න දීලා ''මේකට නර්තනයක් ඉදිරිපත් කරන්න'' කියලා කිව්වොත් ඒ මොහොතේදීම ඒකට නර්තනයක් ඉදිරිපත් කරන්න හැකියාවක් මට තියෙනවා. ඒ නිසා මම නර්තනයට ගොඩක් ආදරය කරනවා.

කෝටි ගණනක විශාල ලොතරැයියක් ඇදුණා කියලා හිතන්න. එහෙම වුණොත් ඒ මුදලට මොකද කරන්නෙ?

ඒ මුදලින් යම් කොටසකින් මම මට පුළුවන් විදිහට අනිත් මිනිසුන්ට උදව් කරනවා. ඒ වගේම මම සංචාරය කරන්න හරි ආසයි. මගේ බබාත් ආසයි. එහෙම වුණොත් මම රටවල්වල සංචාරය කරනවා. ලොකු ගෙවල් ගන්න, වාහන ගන්න කියලා මගේ ජීවිතේ ලොකු ලොකු හීන නැහැ. අපිට ජීවිතේ ලැබුණු අවස්ථාවෙන් වෙන රටවලට ගිහින් ඒවා අපේ ඇස් දෙකෙන් දැකලා, ඒ පරිසරය විඳින්න මම හරි ආසයි.

කලාවට අමතරව වෙනත් විෂයයක් ඉගෙන ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් ඉගෙන ගන්නා විෂයය මොකක්ද?

එහෙම වුණොත් මම රූපලාවණ්‍ය සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා ඒ සම්බන්ධයෙන් යම්තාක් දුරකට මම ඉගෙනගෙනත් තියෙනවා. ඒ නිසාම මට ඒක ගොඩක් වැදගත්වෙලා තියෙනවා. බොහෝ වෙලාවට ඔය රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වෙද්දි මගේ කොණ්ඩෙ හදාගන්නෙත් මමයි. ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගන්න ආසයි.

ජීවිතේ වෙච්චි සිදුවීම් අතරින් එක් සිදුවීමක් අමතක කරන්න නිලන්තිට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් නිලන්ති අමතක කරන්නෙ?

මට අවුරුදු නවයේදී තාත්තා එක්ක බයික් එකේ යද්දි මගේ කකුල රෝදයක් අස්සට ගිහින් තුවාල වුණා. මම ගොඩක් බය වුණා. තාමත් ඒ කැළල කකුලේ තියෙනවා. මාස එකහමාරක් දෙකක් යනකම් මම නොණ්ඩි ගහලා තමයි ඇවිද්දේ. තුවාල හොඳටම සනීප වුණත් තවත් ටික කාලයක් මම බයටම කොණ්ඩි ගහලා තමයි ඇවිද්දේ. දවසක් තාත්තා වැඩට ගියාට පස්සෙ අම්මා වේවැල අරගෙන මම නොණ්ඩි ගහලා ඇවිදිද්දි පස්සට වේවැලෙන් ගැහුවා. මම වේවැලට බයටම නොණ්ඩිය අමතකවෙලා හයියෙන් දිව්වා. එදායින් පස්සෙ නම් නොණ්ඩිය නැහැ. හැබැයි කැළල තියෙනවා. ඉතින් ඒ අනතුර අමතක කරලා දාන්න මම කැමතියි.

අද රටේ පවතින ආර්ථික අවුලත් එක්ක හොඳ වැටුපකට හොඳ රැකියාවකට, හොඳ රටකට යන්න නිලන්තිට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් නිලන්ති මොකද කරන්නෙ?

අද රටේ තියෙන තත්ත්වයත් එක්ක අපිටත් ජීවත් වෙන්න හරි අමාරුයි. මම මේ රටට හරි ආදරෙයි. මේක හරි ලස්සන, හොඳ රටක්. මම මේ රටේ ජීවත් වෙන්න හරි ආසයි. නමුත් පවතින තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නෙ. මේ රටේ තියෙන සුන්දරත්වය, අපේකම වෙන කිසිම රටකට ගියාට අපිට දැනෙන එකක් නැහැ. අපිට ජීවත් වෙන්න හොඳ රටක් අපිට දෙවියන් වහන්සේ දීලයි තියෙන්නෙ. නමුත් එක්තරා පිරිසක් නිසා අද රට විනාශ වෙලා තියෙනවා. ඒ හින්දා මේ පවතින ප්‍රශ්නත් එක්ක තවත් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් උදා වුණොත් දරුවා ගැන හිතලා අපිටත් විදෙස්ගත වෙන්න සිදුවේවි. අපේ ජීවිතේ තුන් කාලක් දැන් ගෙවිලා ඉවරයි. නමුත් දරුවාගේ අනාගතය ගැන හිතලා සමහරවිට වෙන රටකට යන්න වුණත් සිදුවේවි.

I දිශානි