2022 මැයි 08 වන ඉරිදා

මගේ චිත්‍රපට බැලිල්ල ගෙදර අයට වදයක් වුණා

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 68

වසර ගණනාවක් ටෙලි තිරයේ ජනප්‍රියතම රංගන ශිල්පියා වූ ඔහු එදා තරම් අද ටෙලි තිරයෙන් නුදුටුවද තවමත් එදා ලැබූ ජනප්‍රියත්වය එලෙසමය. ප්‍රේක්ෂකයන් වසඟයට ගත හැකි ඔහුට උරුම වූ සිනහව, කඩවසම් රුව මෙන්ම ටෙලි තිරයේ ඔහුට ලැබුණු චරිත හේතුවෙන් ජනප්‍රියත්වයට පත් ඔහු වෙනදා මෙන් රෑපවාහිනී තිරයේ දකින්නට නොවූවද ජනප්‍රියත්වයේ කිසිදු අඩුවක් නොමැත. ඔහු පුංචි තිරය සේම සිනමාවද ජයගත් රංගන ශිල්පියකු සේම සිනමාවද ජයගත් රංගන ශිල්පියකු සේම තිර රචකයෙකි. ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. කිසිදා වයසට නොයන නළුවෙකි. චන්න පෙරේරා.. අද හදසර අපේ කතාබහ ඔහු සමඟිනි.

ඔහුගේ උපන් ගම බණ්ඩාරගමය. පියා අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ පියසේන පෙරේරාය. ඔහුගේ ආදරණීය පියා මේ වනවිට ජීවතුන් අතර නැත. මව විනීතා පෙරේරා වෘත්තියෙන් ගුරු උපදේශිකාවකි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වන චන්න අධ්‍යාපනයට සැබෑ දක්ෂතා හිමි දරුවෙක් විය. ඔහුට බාල සහෝදරයන් තුන් දෙනකු සිටින අතර ඔවුහු කිසිවෙක් චන්න මෙන් කලාවට සම්බන්ධ නොමැති අතර වෙනත් වෘත්තීන්හි නියැලෙති.

මම පාසල් යන කාලේ ඒ වෙනුවෙන්ම තමයි වැඩ කටයුතු කළේ. අපේ ගෙදර කොහොමත් තිබු‍ණේ අධ්‍යාපනික පසුබිමක්නේ. මම ක්‍රීඩා කළා. ක්‍රිකට් සෙල්ලම් කළා. හැබැයි පාසලේදී කලා කටයුතුවලට නම් සම්බන්ධ වුණේම නැහැ. ඒ කාලේ තරමක ලැජ්ජාශීලී කොල්ලෙක්. පසුකාලීනව නම් මම යාළුවෝ ටිකත් එක්ක එකතුවෙලා නාට්‍ය කළා. නාට්‍ය වැඩමුළු කළා සාමාන්‍ය පෙළ කාලෙදි විතර. රඟ නොපෑවාට මම චිත්‍රපට බලන්න නම් ගොඩක් ආසයි. නොතේරෙන පොඩි කාලේ ඉඳන් මම චිත්‍රපට බලන්න හරි කැමතියි. සමහර වෙලාවට මම තාත්තගෙන් බැණුම් ඇහුවත් එක්ක. මොකද කොහේ හරි ගමනක් ගියත් මම කියන්නේම චිත්‍රපටයක් බලන්න යමුකො තාත්තෙ කියලා. සමහර වෙලාවට ඒක වදයක් වුණා ගෙදර අයට. ගොඩක් වෙලාවට ඒ චිත්‍රපට ගැන එතරම් අවබෝධයක් නැතිවත් පොඩි කාලේ පවා මට චිත්‍රපට බලන්න ලොකු උනන්දුවක් තිබුණා. චන්න අද චිත්‍රපට රංගන ශිල්පියෙක් සේම අධ්‍යක්ෂ භූමිකාවටද මැනවින් ජීවය ලබා දෙන්නෙකි. එයට මෙසේ කුඩා කල ස්ව කැමැත්තෙන් ආසාවෙන් චිත්‍රපට නැරඹීමද අත්වැලක් වන්නට ඇත.

පවුලේ තිබූ අධ්‍යාපනික පසුබිම සේම කුඩා කල සිටම අධ්‍යාපනයට තිබූ දක්ෂතාව සහ ඇල්ම නිසාම ඔහුට කුඩා කල සිටම තිබූ සිහිනය වූයේ කවදා හෝ වෛද්‍යවරයකු වීමය. පියා ඇතුළු පවුලේ උදවියගේද බලාපොරොත්තුව වූයේ ඔහු වෛද්‍යවරයකු වනු දැකීමය. එනිසාම උසස් පෙළට ඔහු ජීව විද්‍යා විෂය ධාරාවෙන් පෙනී සිටියේය. පළමුවර වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට වරම් නොවුණද නැවත උත්සාහයක් දැරුවේ නම් එම සිහිනය සැබෑකර ගන්නට ඔහුට ඉඩ තිබුණි. එහෙත් මේ කාලයේදී ඔහු රංගනයට ටිකෙන් ටික යොමුවෙමින් සිටීම සමඟ නැවත විභාගයට පෙනී සිටියේ නැත.

දහය වසරෙන් පස්සේ මම නාට්‍ය පැත්තට යොමු වුණා. මම ඒ කාලේ සෝවියට් රුසියා සංගමයේ නාට්‍ය වැඩවලට සම්බන්ධ වුණා. මගේ මොරටුවෙ යාළුවෝ කට්ටියක් හිටියා. එයාලා එක්ක එකතුවෙලා මොරටුව බෞද්ධ මන්දිරයේ නාට්‍ය, කෙටි නාට්‍ය ඉදිරිපත් කළා. උසස් පෙළ කාලෙදි මේ උනන්දුව ටිකෙන් ටික වැඩි වුණා. අනික ගොඩක් අය මට ඒ වෙද්දි මම නළුවෙක් වගේ කියලා කියනවා. ඉතින් මටත් ඕන වුණා චිත්‍රපට නළුවෙක් වෙන්න. ඒත් මගේ තාත්තා මගේ මේ ආශාව ගැන දැනගෙන ඉක්මනටම මාව බැංකුවක රුකියාවකට යොමු කළා.

එහෙත් බැංකුවක රුකියාවකට යාම නළුවකු වීමේ චන්නගේ සිහිනය සැබෑකර ගැනීමට සැබෑ ලෙසම පිටුබලයක් විය. මන්ද එහිදී හමුවූ මිතුරකුගේ මඟපෙන්වීම මත ඔහුට ප්‍රථම වරට චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමේ වරම හිමිවිය. දයා විමලවීර අධ්‍යක්ෂණය කළ %සුජාතා^ චිත්‍රපටයේ කමල් අද්දරආරච්චි සමඟ රඟපාන්නට ඔහුට වරම් ලැබිණ. ඉන්පසු රංගනයට අවස්ථා සෙව්වද ඔහුට එතරම් අවස්ථාවක් නොවූ බව චන්න පවසයි.

&මේ අතරේ තමයි මාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ %ගොලු හදවත^ ටෙලිනාට්‍යයට තෝරාගත්තේ. 1990 දී පමණ. මම, සංගීතා වීරරත්න, රොෂාන් පිලපිටිය, රුවන්ති මංගලා කට්ටියම ආවේ මේ නාට්‍යයෙන් තමයි. ඉන් පසු වසරකට දෙකකට වගේ නාට්‍යයක් ලැබුණත් එතරම් අවස්ථා එකවරම ලැබුණා කියන්නත් බැහැ. මේ අතරේ තමයි චන්ද්‍රරත්න මාපිටිගම මහතා අධ්‍යක්ෂණය කළ %පවිත්‍රා^ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට මට අවස්ථාව හිමි වුණේ. එය තමයි පළමු ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතය. ඉන් පසු උදයකාන්ත වර්ණසූරියගේ %එක ගෙයි කුරුල්ලෝ^ නාට්‍ය මට ලැබුණා. එයින් තමයි මම ජනතාව අතරට ගියේ. එය තමයි මගේ ජනප්‍රිය වූ ප්‍රධාන චරිතය. ඊට පසු දිය සුළිය, නාලන් මෙන්දිස් මහත්මයාගේ සෙනෙහෙවන්තයෝ, සත්පුර වැසියෝ, සූරිය දරුවෝ වගේ නාට්‍ය එක දිගටම ජනප්‍රිය වුණා. ඒ සමඟම නොකඩවා අවස්ථා තුනකදීම මට ජනප්‍රිය නළුවා සම්මානයත් හිමි වුණා.* තම සාර්ථක ටෙලි ඉනිම සිහි කරමින් චන්න පවසයි. 

මේ කාලයේදී ඔහු ටෙලිනාට්‍ය සමඟ අතිශයින්ම කාර්යබහුලත්වයට පත්විය. ගයත්‍රි ඩයස් සමඟ විවාහ දිවියට ඇතුළත්ව සිටි ඔහුගේ කුළුදුල් දියණිය ක්‍රමයෙන් වැඩෙන අයුරු පවා දකින්නට ඔහුට ඉඩක් නොවූයේ ටෙලිනාට්‍ය සමඟ පැවති අධික කාර්යබහුලත්වය නිසාමය. එමෙන්ම එහි යම් ඒකාකාරී බවක්ද ඔහුට දැනුණි. ඔහුට විරාමයක අවශ්‍යතාව දැනුණි. මේ වන විටද ඔහු %පුංචි වීරයෝ^ වැනි නාට්‍ය අධ්‍යක්ෂණයට පවා යොමුව සිටියේය. එහෙයින් චන්නට අවශ්‍ය වූයේ පෙර තිබූ කැමැත්ත අනුවම යමින් චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වීමටය. ඒ අනුව ඔහු %අංජලිකා^ සිංහල සිනමාවට රුගෙන ආවේය. තිවංක සහ අංජලිකා මෙරට සිනමා ප්‍රේමීහු ආදරයෙන් වැළඳ ගත්හ.

&අංජලිකා එක්ක මම සිනමා නළුවෙක් විදියට ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා. එතැනින්ම මම හිතුවා ටෙලිනාට්‍ය සීමා කළ යුතුයි කියලා. හැබැයි ඒ වෙද්දි ඒක තරමක අවදානම් සහගත තීරණයක්. මොකද ඒ වනවිට අපේ රටේ සිනමාව තිබූ තැනත් එක්ක සිනමා කර්මාන්තය යම් කඩා වැටීමක් තිබුණා. ඒත් මම අදටත් හොඳම චරිතයක් ලැබුණොත් පමණක් ටෙලිනාට්‍යයක් සඳහා එක්වෙනවා කියන අදහසින් ඉන්නේ. මම මේ මෑතකදී මගේ පස්වැනි චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළා. මේ වෙද්දි අංජලිකා, කල්පාන්තේ සිහිනයක් සහ එකයි දෙකයි තුනයි චිත්‍රපට තිරගත වෙලා තියෙනවා. ඉදිරියේදී යුගාත්‍රා තිරගත වීමට නියමිතයි. මේ දවස්වල %සිහින අනන්තේ^ කියන නිර්මාණය කරමින් ඉන්නවා.

මෙරට සිනමාවට ඉන්දීය රංගන ශිල්පිනියන් හඳුන්වා දීමටද චන්න කටයුතු කළ අතර අද වනවිට අප රට තුළ ඉතා ජනප්‍රිය පූජා උමාශංකර් සිංහල සිනමාවට පිවිසුණේ අංජලිකා සමඟය.

මට සිංහල සිනමාව ජාත්‍යන්තරයට රුගෙන යාමේ සිහිනයක් තිබුණා. විදෙස් රංගන ශිල්පියෙක් යොදාගැනීම තුළින් එයට ඉඩක් ලැබේ යැයි මා සිතුවා. ඒ අනුව පූජා, චයිත්‍රා වැනි නිළියන්ව මම මෙරට සිනමාවට හඳුන්වා දුන්නා. ඒ වගේම මම ශ්‍රී ලාංකික නවක රංගන ශිල්පිනියන් රුසක් සිංහල සිනමාවට හඳුන්වා දී තිබෙනවා. විදෙස් ශිල්පිනියන් යොදාගැනීම ගැන විවිධ පාර්ශ්වවලින් චෝදනාත් එල්ල වුණා. සමහර එහෙම චෝදනා කළ අධ්‍යක්ෂවරුන්ම තමන්ගේ නිර්මාණවලට පූජා එහෙම යොදා ගත්තා. අන්තිමේ ඇයව සිංහල සිනමාවට හඳුන්වා දුන් මටවත් ඇයව නිර්මාණයකට යොදාගත නොහැකි වන තරමට ඇය කාර්බහුල වුණා.

චන්නගේ රංගන හැකියාව සේම අධ්‍යක්ෂණ හැකියාවද සම්මානයට පාත්‍ර වී ඇත. ඒ මෙරට සිනමා උළෙල කිහිපයකදීමය. හොඳම යොවුන් අධ්‍යක්ෂ ලෙස ඔහු පුංචි වීරයෝ වෙනුවෙන් සුමති සම්මානයට පාත්‍ර විය. ජනප්‍රියම සිනමා නළුවා ලෙස සරසවිය සම්මානයට ඔහු හිමිකම් කීවේ 2006 දීය. එමෙන්ම %අංජලිකා^ අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔහු 2009 දී OCIC සම්මානයෙන්ද පිදුම් ලැබීය. වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ තිමිර පව්ව සහ රතු අහස ටෙලිනාට්‍ය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මාන දිනාගන්නටද ඔහුට හැකි විය. සෙනසුරු මාරුව චිත්‍රපටය වෙනුවෙන් සියලු සම්මාන උළෙල සඳහා හොඳම නළුවා ලෙස ඔහු නිර්දේශ විය.

ආදරය, විවාහය වැනි දේ පිළිබඳව ද ඔහුගෙන් නොඅසාම බැරිය. &ආදරය සුන්දරයි... විවාහය බැඳීමක්..* සිනහ වෙමින් ඔහු ලබා දුන් පිළිතුර එයයි. බැංකුවක රුකියාව අතහැර රංගනයට චන්න එක්වූයේ නිවැසින්ටද රහසිනි. පියා එය දැනගත් දා ඔහුට බොහෝ දොස් අහන්නට සිදු විය. එහෙත් ඔහු සියල්ල ඉවසා කවදා හෝ තමන් ක්ෂේත්‍රයේ නමක් දිනන වැඩක් කරන නළුවෙක් වන වග අදිටන් කර ගනිමින් එකම ගමනක් පැමිණියේය. අද ඔහු තම සිහිනය සැබෑ කරගෙන ඇත. චන්න පෙරේරා යැයි කියූ සැණින් ඔහු කවදැයි කාගේත් මතකයට නැගෙන්නේ එබැවිනි. ඉදිරියේදී ඔහු රඟපෑ ටෙලිනාට්‍ය දෙකක් සහ චිත්‍රපට හතරක්ද දකින්නට ඔහුගේ ප්‍රේක්ෂකයන්ට ඉඩ ලැබෙනු ඇත. ඔහුගේ ඉදිරි ගමන් මගට අපි සුබ පැතුම් එක් කරමු.

 මොනිකා සේරසිංහ

සේයාරූ I අන්තර්ජාලයෙන්