2022 මැයි 08 වන ඉරිදා

ඒ චැට් මේ චැට් සමඟ වී චැට්

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 135

පසුගිය කාලේ අපි දිගින් දිගටම ලෝකේ පට්ටම ජනප්‍රිය Social Media ගැන කතා කරානේ මචෝ. අදත් අපි කතා කරන්නේ ලෝකේ කවුරුත් දන්න Social Media එකක් ගැන. WeChat සුදාලා නම කිව්ව ගමන් දන්නවා. ඒත් අපේ සුදාලාට WeChat ගැන ලොකු දැනුමක් අවබෝධයක් නෑ. ඒකට හේතුව තමා WeChat අපේ රටේ එච්චර පාවිච්චි වෙන්නේ නැති එක.

අපි පාවිච්චි කළා නැතා මචෝ WeChat ලෝකය පුරා මිනිස්සු බිලියනකට එකයි දශම දෙකකට අධික පිරිසක් භාවිත කරනවා. තව Social Media Ranking වල පස්වැනි ස්ථානය අරගෙන තියෙන්නේත් WeChat තමා. එතකොට සීන් කෝන් එක ඇයි අපිට එච්චර ටච් නොවුණේ කියලා සුදාලට හිතෙන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා වස්තු. WeChat කියන්නේ චීනය නිර්මාණය කරපු Social Media එකක්. සුදාලා දන්නවාද දන්නේ නෑ චීනයේ සියලු මාධ්‍ය, සියල්ල පාලනය වන්නේ චීන රජයෙන්. ඒ නිසා අපි දන්න කියන ඔය Facebook, Instagram, YouTube වගේ සමාජ මාධ්‍ය චීනේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න බෑ. රජයෙන්ම ඒවා අවහිර කරලා තියෙන්නේ. හැබැයි මචෝ ඒ වෙනුවට චීනයටම ආවේණික, චීනයෙහිම නිෂ්පාදිත සමාජ මාධ්‍ය චීන වැසියන්ට චීන රජය හදලා දීලා තියෙනවා.

WeChat කියන්නේ අන්න ඒ ජාතියේ Social Media එකක්. සරලව කිවොත් චීනයේ විශාලතම සහ ජනප්‍රියම සමාජ මාධ්‍යය WeChat තමා. 2011 පටන් අරගෙන තියෙන්නේ. චීනයේ විශාලම සමාජ මාධ්‍යය ලෙස සැලකෙන TenCent සමාගමට තමා WeChat අයිති. කොහොම වුණත් WeChat චීනේ අයට විතරක් නෙවෙයි මචෝ පාවිච්චි කරන්න පුළුවන්.

Android, macOS සහ PC සඳහාත් මේක ඔට්ටුයි. Google Play Store, Apple Store, Microsoft Store වගේ ඕනෑම තැනකින් WeChat App එක Download කරගන්න පුළුවන්. එක නිසා මේක ලෝකේ ගොඩක් රටවල Trend වෙනවා. මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං, තායිවානය වගේ රටවලත් WeChat සෑහෙන්න ජනප්‍රියයි. ඇමරිකාවේ මිලියන දෙක විතර WeChat පාවිච්චි කරනවා.

කොහොම වුණත් මුලින්ම WeChat ආරම්භ වෙන්නේ චැට් මෙවලමක් විදිහට. සුදාලාට මතක ඇති සමහර විට ඉස්සර චූටි චූටි Mobile Phone වල තිබුණා WeChat කියලා පොඩි අයිකන් එකක්. කොහොම වුණත් WeChat අද වෙනකොට චීනේ Facebook කියලා තමා හඳුන්වන්නේ. හැබැයි මේකේ Interface එක WhatsApp වගේ. ඒත් මචෝ WeChat සාමාන්‍ය සමාජ මාධ්‍යයකට එහා ගිය සේවා රාශියක් අපිට සපයනවා. චීනයේ අන්තර්ජාලය භාවිත කරන අයගෙන් 85%ක් ම WeChat භාවිත කරන්නේ අන්න ඒ නිසා වස්තු.

ඇත්තට WeChat කියන්නේ චීනේ පට්ට Y Trend එකක්. අපි ගොඩක් App භාවිත කරලා කරන වැඩ WeChat එක හරහා කරගන්න චීනේ මිනිස්සු පෙළඹිලා ඉන්නේ. සමහර දේවල් අපිට ටිකක් විතර අමුතුයි. ඒත් චීනෙට එහෙම නෑ. WeChat වල වැඩිපුරම මිතුරු මිතුරියන් එකතු කරගන්න වෙන්නෙ QR Code හරහා. ලෝකයේ අනෙක් රටවල QR Code භාවිතය අඩු මට්ටමක පැවතුණත්, චීනයේ එහෙම නැහැ මචෝ. චීනයේ හැමදේටම වගේ QR Code භාවිත වෙනවා. තව Shake කියලා සීන් එකකුත් තියෙනවා Random Chat කරන්න පුළුවන්. ඔය ඉස්සර කුඩා ජංගම දුරකථනවල WeChat එක දැකපු සුදාලට මතක ඇති.

WeChat වලදී Text කරන්න විතරක් නෙවෙයි Photos, Videos, Links වගේ දේවල් හුවමාරු කරගන්නත් පුළුවන්. ඒත් අපේ WhatsApp වල වගේ නොවෙයි මචෝ අනෙක් කෙනා ඔයාගේ පණිවුඩය දැක්කාද, නැද්ද යන්න කියන එක (seen status) මේකේ පෙන්වන්නේ නැහැ. Group Chats එහෙමත් තියෙනවා. කලින් කීවනේ සුදෝ මේක වට්සැප්, වයිබර් සීන් කෝන් එකක්. හැබැයි මචෝ Facebook එකේ Instagram එකේ වගේ Post දාන්නත් මේකේ පුළුවන්. ඒකට Movement කියලා සීන් එකක් තියෙනවා. හැබැයි ඔයා Add කරගෙන ඉන්න සෙට් එකට විතරයි ඒ Post පෙන්නන්නේ.

තව මේකේ වැඩ කිඩ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා සුන්දරා. Facebook Page වගේ සීන් එකක් තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ එක එක Companies, Celebrities ලා තමායි. මචෝ WeChat වල වැදගත්ම සේවාව තමයි මුදල් ගෙවීමේ හැකියාව. චීනේ අන්තර්ජාල ගනුදෙනුකරුවා WeChat Pay ප්‍රධානම එකක්. ජලය විදුලිය වගේ පොදු සේවයකට වගේම එදිනෙදා ගනුදෙනුවලටත් මේක පාවිච්චි වෙනවා. තව මචෝ ඔයාගේ ලැයිස්තුවේ සිටින ඕනෑම කෙනෙකුට මේ හරහා මුදල් යවන්නත් පුළුවන්. එතකොට WeChat හරහා ඔය ලංකාවේ අපි පාවිච්චි කරන Uber/PickMe හරහා වාහන වෙන් කරවාගන්න වගේම කෑම ඇනවුම් කරන්නත් පහසුකම් තියෙනවා.

තව ගොඩක් දේවල් තියෙනවා මචෝ. ඇත්තට WeChat කියන්නේ චීනා හදපු Super Application එකක්. හැබැයි ලෝකේ WeChat එක්ක සමහරු ''ඇරියස්''. දන්නවනේ චීන සීන්කෝන් නිසා. හැබැයි චීන ඒවා ගණන් ගන්නේ නෑ. මොකක්ද චීනේ ඉන්න ජනගහනය එක්ක WeChat අනික් මිනිස්සු පාවිච්චි කරත් නොකරත් එයාලට ලොකු අවුලක් නෑ. ලංකාවේ WeChat භාවිත කරන අය ඉන්නවා ටික දෙනෙක්. හැබැයි ලංකාව අපි චීන සීන් එක අල්ලා යන නිසා හෙට අනිද්දාට මෙහෙත් WeChat ජනප්‍රිය වෙන්න බැරි නෑ සුන්දරා.

I නිසල්