2022 මැයි 01 වන ඉරිදා

ආදරය ජීවිතය කියන ගීතයට අමුතුම තාලයක්

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 120

නිර්වචනය කරන්න බැරි බැඳීම් ලෝකයේ තියෙනවා. නමක් නැති බැඳීම් ලෝකයේ තියෙනවා. අයිතියක් නැති, සම්මතය අබිමුවේ වලංගුවක් නැති, ඔහේ පාවෙන, ඒත් හිත තදින් අල්ලා ගත්තු බැඳීම් ලෝකයේ තියෙනවා. පෙනෙන්නා සේම නොපෙනෙන්නා වූ බැඳීම් අපි හුඟාක් අයගේ ජීවිත ඇතුළේ තියෙනවා. 

එහෙත් කවදාවත් මනින්න නිර්ණායකයක්, මිනුම් දඬුවක් නැති අසමාණ අප්‍රමාණ අසීමාන්තික ආදරය අම්මාගේ ආදරය කියලා මට හිතෙනවා. ඒත් මම කියන්නේ ඒ අම්මා කෙනෙක් වීමේ නියතය තීරණය කරන්නේ දරුවෙක් බිහිකිරීම කියන ලඝු සාධකය මත පමණක් නෙවෙයි. මාතෘත්වය කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක් කියන භුමිකාවට ඇය දක්වන ආවේශය මත.

සොබාදහමේ හැම රීතියකටම වඩා රතු ලෙයක් කිරට හරවන්න තරම් අනුහසක් අම්මා කෙනෙක්ගේ ආදරය තුළට සම්මිශ්‍රණය කරපු ආදරයේ රීතිය හරි අසිරිමත් කියලා මට හිතෙනවා. සම්, මස්, ලේ, ඇට, නහර විනිවිද යන ගැඹුරකට දනවන්න තරම් අසිරිමත් අසහාය පරිපූර්ණ එහෙම අම්මා කෙනෙක්ගේ ආදරයක් ගැන තමයි ආත්ම් හින්දී සිනමා රෑපකාරකයෙන් කතා කරන්නේ.

ඇසට හමුවන, ඇස දකින දුරින් එහාට මේ අහස පොළොව අතර තවත් දේවල් පවතින බව ඔබ විශ්වාස කරනවද? ඔව් එහෙව් දේවල් මේ විශ්වයේ පවතිනවා. විද්‍යාත්මක සාධක, සාක්ෂි, පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමන තුළින් එය ඔප්පු කළ නොහැකි කරුණක් විය හැකියි. එහෙත් මට හිතෙන්නේ සියල්ල එවන් පරීක්ෂණ, නිරීක්ෂණ හෝ නිගමන තුළ ලඝු කළ යුතු නැහැ.

නියා කියන්නේ පුංචි දියණියක්. ඇගේ මවත් පියාත් අතර ඇති බැඳීම කෙමෙන් දෙදරා ගොස් එය කෙළවර වන්නේ දික්කසාදයකින්. නියාගේ මව කෙරෙහි දැඩි වෛරී සිතින් පසුවූ ඔහු හිටි ගමන් හදිසි අනතුරකින් මිය යනවා. එහෙත් ඔහු තවදුරටත් මනුෂ්‍ය ලෝකයට අයිති නැති මිනිසෙකු වුවත් තම දියණිය ඔහු සිටිනා ලෝකය කරා රුගෙන යාමේ අරමුණින් ඇය පසුපස එනවා. 

ඇත්තටම තාත්තා කෙනෙක්ගේ ආදරය කියන්නේ ඒකද? නැහැ.. තාත්තා කෙනෙක්ගේ සැබෑ නිර්මල ආදරය එය නොවුණත් තම පියා මියගිය බව නොදත් නියා සිහිනයෙන් පවා තමන්ගේ තාත්තාගේ ආදරය ප්‍රාර්ථනා කරනවා. එහෙත් නියාට සැබෑ දාරක ස්නේහය දක්වන්නේ නියාගේ තාත්තා නෙවෙයි. අම්මා... 

ඒත් ඒ යථාර්ථය තේරුම් ගන්න තරම් නියා පුංචි වැඩියි. නියාගේ ජීවිතය වටා සිටින කිහිප දෙනෙකුම නියාගේ තාත්තාගේ අදෘශ්‍යමාන පීඩනයට හසුවී මිය යනවා. අවසානයේදි නියාගේ අම්මා තේරුම් ගන්නවා තමන්ට තවදුරටත් මනුෂ්‍ය දුවක් ලෙස හිඳිමින් මනුෂ්‍ය ලෝකයේ එහා තැනක සිටින නියාගේ තාත්තා එක්ක මේ අරගලය කරන්න බැරි බව. ඔහු විසින් අබිරහස් ලෙස මරා දමන ලද ඇගේ මිතුරියකගේ මරණයට සැකකාරිය බවට පත්ව නියාගේ අම්මාව සිරභාරයට පත්වෙන්න සිදුවෙන්නේත් මේ අතරවාරයේදි. තමන්ගේ දුවට ඇති අප්‍රමාණ ආදරය හේතුවෙන්ම අවසානයේ ඇය ජීවිතය හැර යනවා. ඒ හැර ගොස් යක්ෂ ආත්මයක් වෙත ප්‍රවේශ වෙනවා. නියාගේ තාත්තා නියාව මරණය වෙත කැටුව යමින් සිටියදී ඒ අවසාන මොහොතේ නියාව බේරාගන්න ඇය පැමිණෙනවා. භෞතිකවාදීව යථාර්ථවාදීව විශ්ලේෂණාත්මකව මෙවැනි අදෘශ්‍යමාන භවයන් පිළිබඳව ඔබේ මතවාදය වෙනස් වෙන්න පුළුවන්. එහෙත් ආත්ම් තුළ කතා කරන සැබෑ අම්මා කෙනෙක්ගේ ආදරය පිළිබඳ උත්තරීතර කියවීම සැබැවින්ම අසිරිමත් කියවීමක්. තමන්ගේ හුස්ම පොද තමන්ගේ ළය ලෙයටම කා වැදුණු ආදරය කොතරම් ගැඹුරුදැයි ඇය කියා දෙන්නේ සංනිදර්ශනාත්මකවයි.

සමහරවිට එහෙම අම්මා කෙනෙක්ගේ ආදරය දුවකට ජීවිත කාලය පුරාවටම නොතේරෙන්න පුළුවන්. නොදැනෙන්න පුළුවන්. ඒත් සැබෑ ආදරය ලෙස අදහන මායාවී ආදරයක් ළඟ අතරමං වූ ඇසිල්ලක ඒ ආදරෙත් සොඳුරු වටිනාකම දැනෙන්න මොහොතක් එනවා. බැඳීමක් කියන්නේ ආදරය නම් ගෞරවය තුළ පදනම් වෙන සංසාර ගැටයක් බවට පරිවර්තනය වුණාම එය ජීවිතය කියන ගීතයට අමුතුම තාලයක්... ඒ තාලය තුළ මරණය තෙක්ම නැලවෙන්න අපිට පුළුවන්.