2022 මාර්තු 06 වන ඉරිදා

අම්මාෙග් ඔඩොක්කුවේ ඉඳෙගන අවුරුදු හතරේදීත් සංගීතය ඉගෙන ගත්තා

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 115

අප ලෝකය දකින්නේම මවගේ ඇකයේ නැලවෙමිනි. ඇය තාලයට නැලවිලි ගීයක් ගයමින් අප හිස පිරිමදිමින් අපට ලෝකය පහදා දෙන්නට උත්සාහ ගන්නීය. අපේ හෙට දවස සුන්දර කරන්නට ඇගේ ඒ උත්තරීතර සෙනෙහස ලබා දෙන්නේ අපමණ සවියකි. ඉදින් මේ නැලවිලි ගී ගැයුවාට මෙලොව සෑම මවකම සංගීතවේදිනියක, ගායනවේදිනියකම නොවන්නීය. ඒ ගායන කුසලතාවය ඇයට පුද දෙන්නේ මෙලොව අති උතුම් මාතෘත්වය නම් පදවියයි. එහෙත් මවත් පියාත් දෙදෙනාම සංගීතය පිළිබඳ මනා දැනුමැති සංගීතවේදීන් වූ පවුලක බිළිඳකුගේ සවනත වැකෙන නැලවිලි ගී කොතරම් නම් මිහිරි වෙන්නට ඇතිද?  ඉන් නොනැවතී මව, පියා, සහෝදරයා, සහෝදරිය යන සියල්ලන්ම සංගීත ගුරුවරුන් වූ පවුලක ඉපදීම කෙතරම් සොඳුරු මිහිරි අත්දැකීමක් වෙන්නට ඇතිද? එවන් දුලබ මිහිරි අවස්ථාවක් ලද පවුලක බාලයා ගැන අපි අද හදසර My story තුළින් ඔබට කියමු. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තලයේ සංගීතවේදියකු, ගායන ශිල්පියකු ලෙස නමක් දිනූ ඔහු නමින් රොමේෂ් ලක්ෂිත සුගතපාලය.

සංගීතය යනු ඔහුට වඩාත් ළෙංගතු නෑදෑයෙකි. හිතවතෙකි. සංගීත භාණ්ඩ දකිමින් ඒ හා ගැටෙමින් ගොඩනැගුණු ළමා වියේදී ඔහුට අවශ්‍ය වූයේ දක්ෂ වාදකයකු වීමටය. කේ.එම්. සුගතපාල නම් සංගීත ගුරුතුමා රොමේෂ්ගේ පියාණන් වන අතර මෙරට නමගිය සංගීතඥයන් රුසකගේම ගුරුවරයාය. පාසල් සංගීත ආචාර්යවරයකු ලෙස කටයුතු කළ එතුමා සිය කලායතනය ආරම්භ කළේ 1978 වසරේදී පමණය. මවද එම කලායතනය තුළ සංගීත ගුරුවරියක ලෙස කටයුතු කළාය. සුනීතා ද සිල්වා නම් වන රොමේෂ්ගේ මෑණියන් කුඩා රොමේෂ් ද කැටුව කලායතනයෙහි ඉගැන්වීමේ කටයුතුවල යෙදුණාය.

මට එතකොට වයස අවුරුදු හතරක් පහක් විතර ඇති. අම්මා මාව ඔඩොක්කුවේ තියාගෙන තමයි කලායතනයේ ඉගැන්වීම් කළේ. ඒ කාලේ විවිධ සංගීත කාණ්ඩ වාදනය ඉගෙන ගත්තා. මුලින්ම අවුරුදු හතරේදි වගේ තමයි මම ස්වර පුවරුව වාදනය කළේ. හැබැයි තේරෙන වයසට එද්දි වුණත් මට ගායකයෙක් වෙන්න අවශ්‍ය වුණේ නැහැ. අනික ජනප්‍රිය වෙන්න කියලා එහෙම ආසාවක් තිබුණෙත් නැහැ. ගෙදර පරිසරය එහෙම පිටින්ම සංගීතමය පරිසරයක් නිසා නිරායාසයෙන්ම මමත් එයට නැඹුරු වුණා. මම විශාරද විභාගය පළමු පෙළ සාමාර්ථයක් එක්ක සමත් වෙන්නෙ වාදන අංශයෙන්. වයලීනය තමා මගේ වාදන භාණ්ඩය. තාත්තා කරපු ප්‍රසංගවලට වුණත් මම වාදනයෙන් තමයි ගොඩක් සම්බන්ධ වුණේ.* රොමේෂ් අප සමඟ අතීත මතක අවදි කරන්නට මුල පිරුවේ එලෙසිනි. 

රොමේෂ් පළමු ශ්‍රේණියේ සිට පාසල් ගියේ කඩුගන්නාව කනිෂ්ඨ විද්‍යාලයටය. හයවැනි ශ්‍රේණියේ සිට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ගිය ඔහුට එහිදී තම ගායන හැකියාවද වැඩිදියුණු කර ගැනීමට ඉඩ ලැබුණි. සුමනා, සක්‍යා, සුනේත්‍රා යන ගුරු මෑණිවරුන් තමන්ට ඒ වෙනුවෙන් ආදරයෙන් මඟපෙන්වූ බව ඔහු පවසයි. සමස්ත ලංකා සංගීත තරගවලට යාමට ඔහුට ඉඩ ලැබුණේ ඔවුන්ගේ මඟපෙන්වීම නිසාය. 1998 වසරේ සිට 2002 වසර දක්වා පිට පිටම සමස්ත ලංකා රන් පදක්කම හාමෝනියම් වාදනය වෙනුවෙන් දිනන්නටද ඔහුට හැකි විය. තවද රොමේෂ් එවක කිංස්වුඩ් විද්‍යාලයීය රාගධාරී සංගීත කණ්ඩායමේ නායකයා ද විය. පාසලේ පැවති විවිධ වැඩසටහන් වෙනුවෙන්ද ඔහු ගායනයෙන් දායක වූ අතර ඒ සියල්ල අද වනවිට දක්ෂ ගායකයකු වන්නට ඔහුට මඟපෙන්වූ වග ඔහු සිහි කරනුයේ ආදරයෙනි. &මේ හැමදේකදිම මට මූලිකවම ශක්තිය තාත්තා. ඒ වගේම අම්මාගේ කටහඬ. ඒ සියල්ල නිසා තමයි අද මට මේ වගේ ගමනක් යන්න පුළුවන් වුණේ.* ඔහු පවසන්නේ සතුටිනි.

රොමේෂ්ගේ මව, පියා මෙන්ම අක්කා සහ අයියා ද සංගීත ගුරුවරුන්ය. මේ නිසාම ඔහුගේද අරමුණ වූයේ නුවරම රුඳෙමින් සංගීත ගුරුවරයකු වීමය. එහෙත් අපොස උසස් පෙළ විභාගයෙන් ඔහු ලද ප්‍රතිඵලය ඒ සියල්ල වෙනස් කරන්නට හේතු විය. 
උසස් පෙළ සමත්ව සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබීමත් සමඟ ඔහුගේ ගමන වෙනස් මඟකට අවතීර්ණ විය. රොමේෂ් පාසල් මිතුරා වූ ලක්ෂාන් සමඟ ගීත නිර්මාණය කිරීම ඇරඹූයේ මේ කාලයේය. රංග දසනායක යනු රොමේෂ්ගේ පියාණන්ගේ සිසුවියක වූ ප්‍රීති දිසානායකගේ පුත්‍රයාය. ඔවුන් මුලින් කළ ගීත පටිගත කළේ රංග දසනායකය. ඉන් අනතුරුව නිසල් ගංගොඩගේ, රුක්ෂාන් මාක් ආදීන් එහිදී ඔවුන් සමඟ අත්වැල් බැඳගත් අතර, 2003 වසරේදී බන්දුල මුදන්නායක ලියා රොමේෂ් සංගීතවත් කළ ෙවසන්තයේ සිත සැලුණ‍ෙ ගීතය ගායනා කරමින් රොමේෂ් - ලක්ෂාන් ගායන යුගලක් ලෙස ගායන ලෝකයට අවතීර්ණ වීම සිදුවිය.

මාධ්‍ය සමඟ කටයුතු කරන අතුරතුර හමුවූ හේමනලින් කරුණාරත්න මහතා නිල්වලා ආයතනයේ උපුල් ජයසිංහ මහතා වෙතට මෙම නව නිර්මාණකරුවන් දෙදෙනා හඳුන්වා දුන් අතර වසන්තයේ සංයුක්ත තැටිය නිෂ්පාදනයට ඒ ඔස්සේ ඉඩ ලැබුණි. අද ජීවතුන් අතර නොමැති වුවද ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතාව ආදරයෙන් සිහි කළ යුතු බව රොමේෂ් පවසයි.

2005 දී ගීත පටිගත කිරීමකදී ඉරාජ් වීරරත්න හමුවීමත් සමඟ තවත් ගීත කිහිපයක් නිර්මාණයට ඔවුන්ට අවස්ථාව හිමි විය. ඒ සමඟ බිහිවූ හිතුමතේ ගීතය බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය.

නුවර කඩුගන්නාවේ සිට කොළඹ බෝඩිම් ජීවිතයට හුරුවීමද ඔහුට අභියෝගයක් විය. පවුලේ බාලයා වූ රොමේෂ්ට ගෙදර සැමගේ ආදරය, සෙනෙහස නොමඳව හිමි විය. සියලු කාර්යයන් වෙනුවෙන් පවුලේ සහාය ලබාගත් ඔහුට තනිව තම සියලු කටයුතු කර ගැනීම අභියෝගයක් විය. බෝඩිම් ජීවිතේ මුලදි කටුකයි තමයි. ඒත් ඒකට අපි හුරු වුණා. වසන්තයේ ඇල්බම් එක නිකුත් කළාට පස්සේ අපි ජනප්‍රියත්වයට පත්වෙනවාත් එක්කම පුවත්පත්වලින් එහෙම අපිව සාකච්ඡාවලට සම්බන්ධ කර ගත්තා. එතකොට අලුතෙන් ඡායාරූප එහෙම කරන්න ඕනනෙ. අපේ බෝඩිමේ වහළය උඩට නැඟලා තමයි අපි පින්තූවලට පෙනී සිටියේ.* ඒ අතීතය ඔහු සිහිපත් කරන්නේ සිනහවෙනි.

මෙලෙස එක ගමනක් ආ රොමේෂ් - ලක්ෂාන් පෞද්ගලික හේතු මත වෙන්ව ගමනක් ඇරඹූ අතර එය දෙදෙනාටම යහපත් වූ වග රොමේෂ් පවසයි. 2012 වසරෙන් පසු ඔහු රොමේෂ් සුගතපාල ලෙස තනි ගමනක් ඇරඹුවේ දිගු දෑස දුටුවාම ගීතයත් සමඟය.

රොමේෂ්ගේ ගීත ගොන්නේ ගීත හතරක් පහක් හැරෙන්නට ඉතිරි සියල්ලම ඔහුගේ සංගීත නිර්මාණයන්ය. ප්‍රේමය, විරහව, මේ සියල්ල තාරුණ්‍යයට වඩාත් ළබැඳි ස්වරයකින් සමීප කරන්නට ඔහු සතු මෙම සංගීත ඥානය මනා ලෙස ඉවහල් වී ඇති වග පෙනේ.

රොමේෂ්ට 2002 වසරේදී ඔමාලි හමුවූ අතර දෙදෙනා ආදරයෙන් බැඳීමත් සමඟ රොමේෂ්ගේ ගීත වඩාත් ප්‍රේමණීය වන්නට විය. වසන්තයේ සිත සැලුණා ගීතයේ සිටම ඒ ආදරය මුසුව තිබූ බව ඔහු පවසයි. 2012 වසරේ අගෝස්තු 12 වැනිදා ඔවුන් විවාහ දිවියට ඇතුළත් වූ අතර මේ වනවිට වසර හයක පුතකුගේ දෙමව්පියන්ය. ලිමන් පුතු ඉපදුණේද රොමේෂ්ගේ උපන් දින දාමය. මැයි 16 වැනිදා පියාත් පුතුත් එකටම උපන් දිනය සමරති.

වාදන ශිල්පියකු, ගායන ශිල්පියකු, සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස දශක දෙකක් පුරා මෙරට සංගීත ප්‍රේමීන්ගේ හද දිනූ රොමේෂ් සුගතපාල අද වනවිට දිවයින පුරා පැවැත්වෙන ප්‍රසංග සමඟ කාර්යබහුල ජීවිතයක් ගත කරන අතර කොළඹ ප්‍රදේශයේම පදිංචිව තම කටයුතුවල යෙදෙයි. ඉදිරියේදී නවතම ගීත ගණනාවක් සමඟ තම ආදරණීය රසික ජනතාව හමුවීමට තමා සූදානමින් සිටින බව ඔහු පවසයි. සංගීත ලෝකය තුළ තවත් දුර යන්නට හදසර අපි ඔහුට සුබ පැතුම් එක් කරමු.

 මොනිකා සේරසිංහ