2022 මාර්තු 06 වන ඉරිදා

දුහුල් ඇඳුමක් බාගෙට ඇඳගෙන හොල්මනක් මගේ බෙල්ල මිරිකුවා

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:01 3017
පුතාගේ නරක පුරුද්දෙන් අපි අනන්ත දුක් විඳිනවා
 
මට ඉන්නවා පාසල් යන අවුරුදු 12ක පුතෙක්. මමයි මගෙ මහත්තයායි පුතායි ගෙදර ඉන්නේ. දැන් අවුරුද්දක විතර  ඉඳලා මගේ පුතා අන්තර්ජාලයේ ක්‍රීඩාවලට පුරුදු වෙලා ඉන්නවා. කොහෙන් පුරුදු වුණාද කියන්න දන්නේ නෑ. වෙන කිසිම වැඩක් කරන්නේ නෑ. ඉගෙනගන්න වැඩත් කරන්නේ නෑ. දරුවාගේ මේ පුරුද්ද අපි කොච්චර නවත්තන්න හැදුවත් එයා ඒකට කැමති නෑ. අපි දුරකතනය අරගන්නවාටත් ගොඩාක් තරහයි. මායි මහත්තයායි එක්ක පුතා තරහෙන් ඉන්නේ අපි එයාට නිදහසේ (ගේම්) ගහන්න දෙන්නේ නෑ කියලා. මේ නිසා මගෙ මහත්තයාත් ‍ලොකු පීඩනයක ඉන්නේ. එයා රස්සාවට ගියත් දවසක් මහත්තයාට තරහ ගිහින් දුරකතනය අල්ලලා විසිකරලා දැම්මා. පුතා එදා දවසම කන්නෙ බොන්නෙ නැතුව කාමරේ දොර තනියම වහගෙන හිටියා. එයා එදා දවසම කෑවෙ බිව්වෙ නෑ තරහට. අපිත් කෑවෙ බිව්වෙ නෑ. මහත්තයා එදා ගොඩාක් ඇඬුවා. එදා ඉඳන් මහත්තයා ඒ වැඩේ කරන්නෙත් නෑ.  පුතාගේ මේ හැසිරීම නිසා අපි දෙන්නා ලොකු පීඩනයක ඉන්නේ. ඒ වගේම ලොකු බයකින් ඉන්නේ. මේ ප්‍රශ්නය විසඳාගන්න සහායක් දෙන්න.
තුෂාරි - මාලඹේ 
 
පිළිතුර 
දරුවන්ට ආදරය කිරීම ගැන අපේ රටේ බොහෝ මවුපියන් වැරදි අදහසක් දරනවා. එනම් දරුවන්ට ආදරය කරනවා කියන්නේ සුදුසු දේවල් සුදුසු වේලාවට ලබාදීම මිසක ඉල්ලන හැමදේම ඉල්ලන වේලාවට ලබාදීම නොවේ. තමන්ගේ අතේ දුරස්ථ පාලකය තබාගෙන දරුවන් හදන්න මවුපියන් දැනගත යුතුයි. මෙය හඳුන්වනුයේ අධිකාරී මවුපියකරණය යනුවෙනුයි. මෙහිදී දරුවන්ගේ චිත්තවේග අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වද්දී මවුපියන් ස්ථාවර සීමාවන් නියම කරයි. උදාහරණයක් විදිහට සරලව කියනවා නම් දරුවාට සෙල්ලම් කරන්න නියමිත වේලාවක් නියම කර ඒ අදාළ වේලාවටම එම කාර්යය අවසන් කරවීමයි. මෙය ලංකාවේ මවුපියන් අතර දකින්න අපහසු දෙයක්. ලංකාවේ වැඩිපුරම මවුපියන් ඉන්නේ දරුවන් කියන ඕනෑම දෙයක් කරන්න දෙන පිරිස සහ දරුවා තමන් කියන දේම කළ යුතුයි යන දැඩි ස්ථාවරයේ සිටින පිරිසයි. මෙතැන ඇති ප්‍රශ්නය ජංගම දුරකතනයට දරුවා ඇබ්බැහිවීමක්. මෙවන් අවස්ථාවලට මූලිකම හේතුව මවුපියන් දරුවන් සමඟ හරිහැටි ගනුදෙනු නොකිරීමයි. වර්තමාන මවුපියන්ගේ කාර්යබහුල ජීවිත සමඟ දරුවන් එක්ක ගත කරන කාලය අඩුවීමෙන් දරුවන් ඔවුන්ගේ නිදහස වෙනත් මාර්ගවලින් සෙවීමට පෙළඹෙනවා. මෙවැනි ඇබ්බැහිවීම් එකවර දුරකතනය ඉවත් කර තරවටු කර මෙම ප්‍රශ්නය විසඳීම එකවර කිරීම අසීරුයි. අවුරුදු 12ක දරුවකුට ජංගම දුරකතනය අත්‍යවශ්‍ය දෙයක් නොවේ. ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි. මෙවැනි අවස්ථාවලදී කළයුතු හොඳම ක්‍රමවේදය වන්නේ මනෝ උපදේශකවරයකුගේ සහාය ලබාගනිමින් දරුවාගේ දෛනික ක්‍රියාකාරකම්වල කාලසටහනක් සාදා  එමගින් මෙම  ක්‍රියාකාරකමට දරුවා යොමු වී සිටින කාලය ටිකෙන් ටික අවම කරන්න පුළුවන්. ඒ වගේම දරුවා මෙන්ම මවුපියන් නිවෙසේදී මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීම මගින් මෙවැනි ඇබ්බැහිවීම්වලට දරුවා යොමුවීම අවම කරගන්නත් පුළුවන්. ඒ ගැනත් මවුපියන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.
 
නාඳුනන සුරූපිනිය තෑග්ගක් දී මාස ගාණක් මට නූල් බැන්දා 
 
මේක මට අමතක නොවන අත්දැකීමක්. මම කොළඹට නුදුරු සරසවියක තුන්වැනි වසරේ සිසුවෙක්. ගෙදර තිබුණ ප්‍රශ්න එක්ක විශ්වවිද්‍යාලයේ යන ගමන් තව යාළුවො දෙතුන් දෙනෙක් එක්ක කොළඹ ලොකු හෝටල්වල වැඩට ගියා කීයක් හරි හොයාගන්න. විශ්වවිද්‍යාලයේ හවස දේශන තිබුණු සමහරදාට ඒක මඟහැරලා හෝටලයේ වැඩට ගියා. මුලදී රස්සාවට ගන්න බෑ කීවත් පස්සේ දුන්නේ (රූම් බෝයි) වැඩේ. හෝටලයෙන් වරුවට රු.1000ක් හම්බවුණා. ටික දවසක් වැඩ කරගෙන හිටියා. දවසක් කාමරයකින් ලැබුණු ඇමතුමකට මම තුන්වැනි තට්ටුවේ 85 කාමරයට ගියා. මම කාමරේ ළඟට ගිහින් දොරට තට්ටු කළා. කාමරේ හිටියෙ සුරෑපී නෝනා කෙනෙක්. ටිකක් මිටි මහත ඒ නෝනා කොන්ඩෙ ස්ට්‍රේට් කරලා හිටියා. එයාට වතුර බෝතලයක් ගෙනත් දෙන්න කියලා ඒ නෝනා කිව්වාම මම ගෙනිහින් දුන්නා. කාමර 2 ක 3ක එදා  මට වැඩ කරන්න වුණා. අනික් කාමරවලටත් කතාකරන වෙලාවට ගියා. කාමර අංක 85ට දවල් කෑම වේල ගෙනිහින් දෙන්න ගියාම ඒ නෝනා මාත් එක්ක හිනාවෙලා කතා කරා. මම ගැන විස්තර ඇහුවා. මාත් ඇත්තම කිව්වා. මගෙන් ඇහුවා කාලාද ඉන්නෙ කියලා. මම නෑ කිව්වා. මට එයාත් එක්ක කන්න එන්න කිව්වා. මම බෑ කිව්වා. වුවමනාවක් වුණොත් කතා කරන්න කියල මම යන්න ගියා. ටික වෙලාවකින් ආයෙ ඇමතුමක් ඇවිත් මම ගියා. ඒ පාර මම දොරට තට්ටු කරලා කාමරේට යද්දී ඒ නෝනා දුහුල් ඇඳුමක් බාගෙට ඇඳගෙන හිටියා. මගෙ ඇඟත් එක්ක මොකක්ද වෙලා ගියා. බාත් එකේ වතුර කරාමෙ ප්‍රශ්නයක් කියලා මට බලන්න කිව්වා. මම ගිහින් බැලුවා. ඒ නෝනා මගේ ළඟට ඇවිත් මගේ දිහා බලාගෙන හිටියා. එයා බෑග් එකකින් අරන් මගෙ අතට පොඩි පාර්සලයක් දුන්නා. මම එපා කිව්වත් එයා ඒක මට බලෙන්ම වගේ දුන්නා. එකපාරට ඒ නෝනා මම ළඟට ඇවිත් මාව බදාගත්තා. මට මුකුත් හිතාගන්න බැරිවුණා. මට මගෙ රස්සාව නැතිවෙයි කියලා බය හිතුණා. මටත් උන්හිටි තැන් අමතක වුණා. කාමරේ ටික වෙලාවක් මම ඒ නෝනා එක්ක හිටියා. එකපාරටම ඒ නෝනා මගෙ බෙල්ල මිරිකුවා. එයාගෙ මූණත් වෙනස් වෙලා තිබුණේ. මම නොසෑහෙන්න ඔට්ටුවෙලා එයාගෙ අත ගලවගත්තා. මට බය හිතුණා. මට දුන්න පාර්සලයත් දාලා මම කාමරෙන් එළියට පැනලා දිව්වා පාර්සලයත් තියලා. ඊටපස්සේ මම ගිහින් මාව බලන්න  ඉන්න ලොකු මහත්තයාට කිව්වා මම 85 කාමරේට වතුර ටැප් එක හදන්න ගියාම කාමරේ හිටපු නෝනා මගෙ බෙල්ල මිරිකුවා කියලා. ඒ මහත්තයා පරිගණකයෙන් බලල කිව්වා ඒ කාමරේ වෙන් කරගෙන නෑනෙ කියලා. බෙල්ලේ අත් පාරවල් නැතිවුණාට මගෙ බෙල්ල ගොඩාක් රිදුණා සෑහෙන දවසක් යනකල්. බෙල්ලේ අමාරුවත් අමාරුවෙන් ඉවසගෙන හිටියා. මේ සිදුවීම වෙලා දැන් මාස 5ක් විතර. මට තාමත් ඒ  නෝනා කාමරේ හිටිය හැටි මතක් වෙනවා. මම දැනටත් නිදාගෙන ඉද්දී හීනෙන් බයවෙනවා. ඒ නෝනා මගෙ ළඟට එනවා වගේ දැනෙනවා. මට මේක ප්‍රශ්නයක්. මේ නිසා මට කාලයක් නූල් බැන්දා. ඒත් තවමත් මට හිත හදාගන්න බෑ. මම මේ ප්‍රශ්නය මගෙ හොඳම යාළුවෙකුට කිව්වාම එයා කිව්වෙ බලිතොවිලයක් කරාම හරියයි  කියලා. මම  බලිතොවිලයක් කරාමවත් මේක හරියයිද ? මට ඒ ගැනත් උපදෙසක් ඕනෑ. මගෙ හිත වෙනස් කරගන්න මට උදවු කරන්න.
ධනුක - කොළඹගෙආර
          
පිළිතුර
ඔබ පවසන ආකාරයට යම් අද්භූත සිද්ධියක් හේතුවෙන් ඔබ කම්පනයකින් සිටින බව පෙනෙනවා. භූත ආත්මයක් සමඟ සම්බන්ධ වීමෙන් ඔබ යම් කම්පනයකට පත් වී සිටිනවා. බටහිර මනෝ විද්‍යාවට මෙවැනි යාතුකර්ම සම්බන්ධයෙන් විෂය පථයක් අදාළ නොවුණත් සංස්කෘතිමය වශයෙන් ලංකාවේ සමාජයේ මෙවැනි සිදුවීම්වලදී පුරාතනයේ සිට බලිතොවිල් ආදී යම් යම් විශ්වාස ආගමික නැඹුරු ඇදහිලිවලට යොමුවී සිටිනවා. මෙම ප්‍රශ්නය අනුව මේ සම්බන්ධයෙන් මට කියන්නට තිබෙන්නේ ඔබට ඔබගේ ආගම අනුව මෙම අද්භූත සිද්ධිය  පිළිබඳ සුදුසු ආගමික ශාස්තෘවරයකු  හරහා හෝ එම විෂය ප්‍රවීණයකු හරහා පැහැදිලි කරගැනීම සුදුසුයි. බලිතොවිල් කිරීම සුදුසුද යන්න සම්බන්ධයෙන් ඔබ අසා ඇති ප්‍රශ්නයට කිවයුතු තවත් කාරණයක් වන්නේ මෙවැනි ප්‍රශ්න හමුවේ ඔබ  නිසි දැනුමක් නොමැති අය ලවා සහාය ලබාගැනීමට යාමෙන් ඔබේ මුදලුත් කාලයත් අපතේ යාමත් ප්‍රශ්නයටත් නිසි විසඳුමක් නොලැබෙන්නටත් පුළුවන. එහෙයින් වෘත්තීය වශයෙන් නිසි දැනුමක් පළපුරුද්දක් ඇති ඔබේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබාදීමට හැකි මාර්ගයක් අනුගමනය කරන්න.
 
ඒ මාස තුන මගේ  ආත්මයම වෙනස් කළා 
 
මගේ වයස අවුරුදු 26යි. දැන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක 2 වැනි වසර සිසුවෙක්. සරසවියෙන් මට ගැහැනු ළමයෙකු මුණගැසුණා. ඇයගේ ගම කොළඹට දුර ප්‍රදේශයක වුවත් උසස් පෙළ ලියන්න ඇය ඇයගේ පියාගේ මිතුරෙකුගේ කොළඹට නුදුරු ගෙදරකට එනවා. ඉන්පසු ඒ ගෙදර මිතුරාගේ පුතා සමඟ ඇය සම්බන්ධයක් ඇති කරගන්නවා. පසුව එම පුතා ඇගේ හොඳම මිතුරිය සමඟ සම්බන්ධ වෙනවා.   
 
ඒ සිද්ධියෙන් ඇයට ඔහු ගැන කලකිරීමක් ඇතිවෙනවා. ඇය ඒ දුක වේදනාව මට කියනවා. මමත් ඇයගේ හිත හදනවා. මම ඇයගේ අධ්‍යාපන සඳහා උපකාර කළා. ඇයත් මා සමඟ හොඳින් සිටියා. පසුව එම යාළුවාගේ මිතුරෙකු සමඟ ඇය  කතා බහ කරනවා. මා සමඟ තිබූ ඒ සුහද බව ගිලිහී යනවා. මම ඒ පිළිබඳ ඇයගෙන් විමසනවා. ඇය කිසිත් නොකියා මඟඅරිනවා.  මම ඇගේ තවත් මිතුරියකට මේ පිළිබඳ පවසනවා. ඇය ගෙදරට කියලා ඒ ගැන අම්මාට තාත්තාට කියනවා. ඒ පිළිබඳව ඇය මා සමඟ වෛර බැඳගන්නවා. වට්ස්ඇප්, (ෆේස්බුක්) සියල්ලගෙන්ම මාව අයින් කරනවා. කාලයක් ගතවුණා. දැන් ඇයට වෙන සම්බන්ධයක් තියෙනවාලු. මට හරි පුදුමයි. මේ සියල්ල සිදුවුයේ මාස 3ක් ඇතුළත කාලයේදී. ඇය දැන් දරුණු ලෙස හැසිරෙනවා. කෙලින්ම මට එක එක කතා කියනවා. දැන් ආයේ විශ්වවිද්‍යාලය පටන් ගත්තා. ඇය අර ළමයාව ගෙන්න ගන්නවා සැමවිටම. මගේ අධ්‍යාපනය බිඳවැටිලා. හේතුව නම් ඇය අපගේම කණ්ඩායමේම සිටීම. ඇගෙන් ඈත්වීම පවා මට දුෂ්කර ක්‍රියාවක්. පිරිමි ළමුන් ගැන කිසිදු තැකීමක් නැතුව සුහදවීමේ හැකියාව ඇයට තියෙනවා. ඇය පෙරට වඩා දැන් අධ්‍යාපනය හොඳින් කරගෙන යනවා. මගේ අධ්‍යාපන මට්ටම පහතටම වැටිලා දැනටමත්. මට ඉගෙන ගන්න හිතෙන්නේ නෑ. කිසිම වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. නින්ද යන්නෙ නෑ. මගෙ මුළු ජීවිතේම අවුල් වෙලා. මට ආයෙ මගෙ හිත හදාගන්න උපකාර කරන්න.
කසුන් - හැටන් 
 
පිළිතුර 
අන් අය පාලනය කිරීමට වඩා පහසුවෙන් අපට අපේ ජීවිතේ පාලනය කිරීමට පහසුය. ඒ වගේම ආදරය ප්‍රේමය වැනි දේවල් කිසිවකුගෙන් බලහත්කාරයෙන් ලබාගන්න බෑ. මෙම තරුණිය ඔබේ කණ්ඩායමේ සිටීම ඔබට ප්‍රශ්නයක් වුවත් මෙහිදී ඔබට කිරීමට සුදුසුම දේ පොදු කණ්ඩායම් ක්‍රියාකාරකමකදී හැර අනෙක් අවස්ථාවලදී ඇය සමඟ ගනුදෙනු කිරීමෙන් ඈත්වී සිටීමයි. මෙම ගැටලුව මඟහරවා ගැනීමට ඔබට සරසවියේ වෙනත් මිතුරු කණ්ඩායම් හඳුනා ගැනීමෙන් ඔවුන්ගේ සහාය ලබාගන්න පුළුවන්. පොදු සමාජය මුහුණ දෙන සාමාන්‍ය සිදුවීමේදී මෙම සම්බන්ධතාවය බිඳවැටීම හේතුවෙන් ඔබේ ඇති වී ඇති අපේක්ෂා හීනවීම බිංගෙයක එක් පැත්තකින් එළිය දකින්නා සේය. වර්තමානයේ ලංකාවේ රජයේ සරසවිවල උපදේශන සේවාවක් ක්‍රියාත්මක වෙනවා. එසේම ඔබ අධ්‍යාපනය ලබන පෞද්ගලික සරසවියේත් එවැනි සේවාවක් දැනටත් තිබෙන්නට පුළුවන්. මෙම තත්ත්වය වෙනස් කරගැනීමට ඔබ සිටින තත්ත්වය ගැන මවුපියන් දැනුවත් කර විෂය ප්‍රවීණ මනෝ උපදේශකවරයකුගේ සහාය ලබාගැනීම සුදුසුයි. එවිට කාලයත් සමඟ ඔබේ හිතේ ඇති ගැටලුවට හොඳ විසදුමක් ලැබෙයි.
 
(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)  
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන්  හමුවෙමු.

 

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 
‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන