2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

ගමෙන් ආපු මට කොළඹ වෙනම රටක් - අයේෂා මධුශානි

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 225

අයේෂා... අලුත් ජීවිතේ කොහොමද?

ජීවිතේ හොඳයි. සුන්දරයි. මම ගිය වසරේ ඔක්තෝබර් විවාහ වුණා. එයා සඳරු සමීර. අලුත් ජීවිතය ලොකු වෙනසක්. මම විවාහ නොවී තනිකඩ ජීවිතයක් ගත කරන්න හිතාගෙන හිටපු කෙනෙක්. සඳරු මගේ ඒ තීරණය වෙනස් කළා. මට අද හොඳ, මාව හොඳින්ම තේරුම් ගත්තු කෙනෙක් ලැබිලා තියෙනවා. එයාටත් මේ ක්ෂේත්‍රයට යම් සම්බන්ධකමක් තියෙනවා. ඒ නිසා ටිකක් ලේසියි. විවාහ ජීවිතෙන් පස්සේ සමහරුන් මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වුණත් මට එහෙම බලපෑමක්, ඉල්ලීමක් සඳරු කළේ නැහැ.

කාලයක් විවාහ නොවී තනිකඩ ජීවිතයක් ගත කරන්න තීරණය කරපු ඔයාට සඳරු මුණගැහුණේ කොහොමද?

සඳරුත් මමත් දෙන්නම කුරුණෑගල. ඉස්කෝලෙ යන කාලෙදී මගේ ආදර සම්බන්ධතාවයක් අවුරුදු අටක් තිබිලා නැති වුණා. ඒ නිසාම ආදරේ කියන්නෙ මහ බොරුවක්, ප්‍රෝඪාවක් කියලයි මට හිතුණේ. ඒ වගේම මේ වගේ ක්ෂේත්‍රයක ඉඳිද්දි බොහෝ දෙනා අපිව දකින්නෙ වැරදි කෝණයෙන්. අපිට ආදරය වෙනුවට වෙන වෙන යෝජනා කරන්න පටන් ගන්නවා. ඒ නිසා මම කවුරුවත් විශ්වාස කළේ නැහැ. නමුත් සඳරු මගේ හිත වෙනස් කළා. එයාට මගේ මේ ක්ෂේත්‍රය ගාණක් වුණේ නැහැ. එයා මේ ක්ෂේත්‍රයට මට පස්සෙ සම්බන්ධ වුණු කෙනෙක්. ඒ වෙද්දි එයා මට යාළුවෙක් වගේ ජීවිතයට ගොඩක් සමීප වුණා. ඒ ආශ්‍රය ආදරයක් වුණා.

ඔබ කුරුණෑගල ගත කරපු ජීවිතේ කොහොමද?

ඒක නම් වෙනස්ම සුන්දර අත්දැකීමක්. ඉස්සර මම හරියට කොල්ලෙක් වගේ. ගවුමක් කියලා ඇන්ඳේ පාසල් නිලඇඳුම විතරයි. ඇන්ඳෙම කලිසම් විතරයි. ඉස්සර මගේ කොණ්ඩේ මම කොටටම කැපුවා. පිරිමි ළමයි එක්ක තමයි වැඩිපුරම සෙල්ලම් කළේ. පාසල එකහමාරට ඇරියම මම හැමදාම සවස පහ වගේ වෙලා තමයි ගෙදර ගියේ. ඒ යද්දි ගස්වල නැඟලා ගෙඩි කෑවා. ඇති තරමට සෙල්ලම් කළා. අද මගේ යාළුවන්ට මම මේ නියැලිලා ඉන්න ක්ෂේත්‍රය ගැන පුදුමයි. ඒ කාලේ මූණ ලස්සන කරන්න, ලස්සනට ඉන්න කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. ඇති තරම් සෙල්ලම් කරලා සම පිච්චිලා, මූණ කළුවෙලයි තිබුණේ. ඒ ගෙවුණු සුන්දර කාලයට අදටත් මම හරි ආදරෙයි.

එහෙම හිටපු අයේෂා කොළඹට එන්නෙ වැඩිදුර ඉගෙන ගන්නයි?

ඔව්.. මම කොච්චර දඟ වැඩ කළත් විභාගත් සමත් වුණා. හැබැයි අධ්‍යාපනයට ලොකු නැඹුරුවක් තිබුණෙත් නැහැ. කොහොම හරි මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. පුංචි කාලේ ඉඳන්ම මට නර්තනයට යම් හැකියාවක් තිබුණා. මම මුදියන්සේ දිසානායක ගුරුතුමා යටතේ නර්තනය ඉගෙන ගත්තා. එතනදි කෙනෙක් මට &ඔයාට හොඳ හැඩයක් තියෙනවා. ඔයාගේ උසත් හොඳයි. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කියලා පොඩි අදහසක් දුන්නා.

අයේෂා කැමති වුණාද?

නැහැ. මම බය වුණා. කොළඹ කියන්නෙ මට වෙන රටක් වගේ. ඒක වෙනම ලෝකයක්. අපි කුරුණෑගල ඉඳලා තව කිලෝමීටර් හතළිස් පහක් විතර ඈතට වෙන්න පිහිටලා තිබුණු දොඩම්ගස්ලන්ද මධුරාගොඩ කියන ගමෙයි. ඒ නිසා බයක් දැනුණා. හැබැයි ලැබුණු එක්තරා ආරාධනාවක් නිසා ටික කාලයකට පස්සෙ ගෑනු ළමයි තුන් හතර දෙනෙක් එක්ක මමත් එක අවස්ථාවකට ඉදිරිපත් වුණා. ඒ අනුව නර්තනයන් කිහිපයකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ 2010 වසරෙදි.

ඔබ නර්තන කණ්ඩායමක් ආරම්භ කළෙත් ඔය කාලෙදිම නේද?

ඔව්. 2012 අවුරුද්දෙ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ගමන් මගේ නර්තන කණ්ඩායම පටන් ගත්තා. ඔය අතරේ මට ටෙලිනාට්‍ය කිහිපයකම සුළු චරිත රඟපාන්න අවස්ථාව ලැබුණා. 2014 වසරෙදි සිරස ඩාන්සින් ස්ටාර් තරගයට සහභාගිවෙලා අවසන් දහදෙනා අතරට තේරුණා.

විනෝදනීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

විනෝදනී චරිතය මුණගැහෙන්නෙ මේ දිනවල සති අන්තයේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන Colombo ටෙලිනාට්‍යයෙන්. Colombo ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නෙ චමිල් පතිරණ. නිෂ්පාදනය කරන්නෙ ප්‍රභාත් පතිරාජ සහ සනුජ මදනායක. Colombo ටෙලිනාට්‍යයෙත් මම නර්තන ශිල්පිනියක් විදිහටයි රංගනයෙ යෙදෙන්නෙ. නමුත් මේක මට ලොකු අභියෝගාත්මක චරිතයක්. මට වැඩිපුරම රඟපාන්න තියෙන්නෙ වසන්ත විට්ටච්චි අයියා එක්කයි. ටෙලිනාට්‍යයක වුණත් ඇතැම් මිනිස්සු අපි කරන චරිතය හරහා අපි දිහා බලන කෝණයක් තියෙනවා. හිතන පැති කිහිපයක් තියෙනවා. Colombo ටෙලිනාට්‍ය හරහා කතා කරන්නෙ මේ රටේ ජීවත් වන සැබෑ මිනිස්සු කොට්ඨාසයක් ගැන. ඇත්තටම විනෝදනීට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. Colombo ටෙලිනාට්‍යයටත් ගොඩක් හොඳ ප්‍රතිචාරයක් තියෙනවා.

Colombo ටෙලිනාට්‍ය අයේෂාගේ ජීවිතේ අපූරු මතකයක් ඉතිරි කරපු නාට්‍යයක්. එහෙම නේද?

ඔව්.. මේක මීට අවුරුදු හතරකට පමණ පෙර මට ආරාධනා කරපු නාට්‍යයක්. විශේෂම දේ තමයි Colombo ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක චමිල් පතිරණ අයියාව මුලින්ම මුණගැහෙන්න ගියපු දවසේම සඳරුත් ඒ කාර්යාලයේ ඉඳලා තියෙනවා. එයත් වෙනම ටෙලිනාට්‍ය වැඩකට ඇවිත් ඒ කාර්යාලයේම පහළ තට්ටුවේ ඉඳලා තියෙනවා. එදා එයා මාව මුලින්ම දැකලා තියෙනවා. හැබැයි එදා එයාට මාව මතකයේ තිබුණේ නැහැ. ඒ නිසා Colombo කියන්නෙ මට සුවිශේෂී නාට්‍යයක්.

පුංචි කාලේ ඉඳන් අයේෂා හීන දැක්කෙ නර්තන ශිල්පිනියක් වෙන්නද?

නැහැ. ඇත්තම කිව්වොත් මම පුංචි කාලේ හොඳ, දක්ෂ යුද සෙබළියක් වෙන්න ආසා කළා. මම වෙඩි තියන්න ආසා කළා. ඒක මාර ආසාවක්. මම ටික කාලයක් ගුවන් හමුදාවටත් සම්බන්ධවෙලා හිටියා. ඒ නිසා අපේ අම්මා අඬන්න ගත්තා. මම පවුලේ එකම දුව. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. අම්මා අඬලා දුක් වුණු නිසා මම ගුවන් හමුදා පුහුණුවෙන් අයින් වුණා. ඒ හීනය එතනින්ම නතර වුණා.

ඉදිරියට තියෙන බලාපොරොත්තු මොනවාද?

අනාගතය මොන විදිහට ගතවේවිද කියලා අපි දන්නෙ නැහැ. නමුත් හොඳ නිර්මාණවලට සම්බන්ධවෙලා, ලැබෙන සුළු චරිතවලට හෝ උපරිමයෙන් කැපවෙලා, ඒ චරිතවලට සාධාරණයක් කරන්න, මතකයේ හිටින චරිත කරන්න ආසයි. මගේ ආර්ථිකය යම්තාක් දුරකට හෝ ශක්තිමත් වුණු දවසක, මම නර්තනය ගැන ඉගෙන ගත්තු දේවල් තුළින් ගම්බද ප්‍රදේශවල ජීවත් වන දුවා දරුවන්ට නොමිලේ උගන්වන්න ආසයි. නමුත් ඒකට ආර්ථිකමය වශයෙන් මම ශක්තිමත් නැහැ.

 

 දිශානි ජයමාලි

සේයාරුව - සුමුදු හේවාපතිරණ