2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

එක මොහොතක මඟහැරීමක් දවස් 3096ක හිරගෙදරක්

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 59

අවුරුදු ගාණක් කළුවරම හැරෙන්න වෙන කිසිවක් ඇස නොගැසි අයකුගේ ජීවිතය ගැන ඔයාට මොනවද හිතෙන්නේ... කළුවරත් එක්ක විතරක් ජීවිතයේ හැම ගනුදෙනුවක්ම සිදු කළ කෙනෙක් එක මොහොතකට දකින එළියේ චමත්කාරය විඳින තත්ත්පරය ගැන ඔයාට මොකද හිතෙන්නේ... දෙවියනේ.. ඒක කොයි තරම් නම් බියකරු අත්දැකීමක්ද? එහෙම අත්දැකීමක් පුංචිම වයසෙදි විඳින්න ලැබුණු ගැහැනු ළමයෙක්ගේ ජීවිතය ගැන තමයි 3096 Days ඉංග්‍රීසි චිත්‍රපටයෙන් කතා කරන්නේ.

ඇය නතාෂා... නතාෂාගේ තාත්තා මත්පැන් බොන්න පුරුදු වෙච්ච ටිකක් සෙල්ලක්කාර මනුස්සයෙක්. තාත්තා රෑට ක්ලබ් එකට බොන්න යද්දි නතාෂාත් යනවා නටලා විනෝදවෙලා එන්න. එතකොට නතාෂාගේ වයස අවුරුදු හතක් විතර ඇති. එහෙම ගිය එක දවසක එයා උදේ නැඟිටිද්දි වෙලා යනවා. ඔයත් තාත්තා වගේ රස්තියාදුකාර ජීවිතයට පුරුදු වෙන්න එපා කියලා නතාෂාගේ අම්මා එදා උදේ නතාෂාට බණිනවා. ඒ වගේම ඔයා මෙච්චර මහත ළමයෙක් වෙන්නේ ඔයා බිස්කට් වැඩිපුර කන හින්දා. ඒ නිසා බිස්කට් කන එක අඩු කරන්න කියලත් අම්මා නතාෂාට ටිකක් සැර කරනවා. 

එදා නතාෂා ඉස්කෝලෙ යන්න ගෙදරින් එළියට බහින්නේ අම්මා එක්ක හිත් අමනාපයෙන්. තමන්ගේ දුවගේ පුංචි හිත රිදුණු වග තේරුම් ගන්න අම්මා සමාවෙන්න කියන්න දුවගේ පිටුපසින් ගියත් ඒ වෙද්දි එයා අම්මව පහු කරගෙන ගිහින් ඉවරයි.
නතාෂා ඉස්කෝලෙ යන්නෙ තනියම. එදා නතාෂා ඉස්කෝලෙ යද්දි පාරෙ අයිනෙ සුදු වෑන් එකක් නතර කරගෙන හිටපු මනුස්සයෙක් නතාෂාව පැහැරගෙන වෑන් එකට දාගන්නවා. නතාෂා කොච්චර උත්සාහ කළත් නතාෂාට ඒ මනුස්සයාගෙන් බේරෙන්න ලැබෙන්නෙ නෑ. මේ මනුස්සයා නතාෂාව අරගෙන ගිහින් පුංචි කාමරයක හිර කරනවා. 

ඒක කාමරයක් කීවට පුංචි කූඩුවක් වගේ. එතන තියෙන්නේ පොඩි සින්ක් එකක් සහ කොමඩ් වැසිකිළියක් විතරයි. නතාෂාට කෑමට යමක් ලැබුණත් අඳුර හැරෙන්න කිසිම දෙයක් නැති ඒ කාමරේ ඉද්දි රාත්‍රිය උදා වුණු වග විතරයි ඇය දන්නේ. එය දැනගන්නේ රාත්‍රී විදුලි බල්බය ඒ කාමරය තුළ දැල්වෙද්දි. 

මේ මනුස්සයා ඇත්තටම මානසික රෝගියෙක්. ඔහුට අවශ්‍ය තමන්ගේ සිතැඟි පරිදි නතාෂාව හික්මවා ගන්න. නතාෂා කෑගහනවා, මට මගේ අම්මා ළඟට යන්න දෙන්න කියලා. නතාෂා හිතුවක්කාරියක් විදිහට සලකන ඒ මනුස්සයා නතාෂාට කන්න දෙන්නෙ නෑ. දවස් තුන හතර බඩගින්නෙ ඉන්න නතාෂා බඩගින්න ඉවසාගන්න බැරුව වෙලාවකට කෑගහනවා. මේ අතරේ නතාෂා තේරුම් ගන්නවා, මේ මනුස්සයාට කීකරු බව නොපෙන්නුවොත් තමන් බඩගින්නෙම මියැදෙයි කියලා. ඇය ටිකක් කීකරු බව පෙන්වද්දි මේ මනුස්සයා නතාෂාට ආයෙත් පොඩ්ඩක් කන්න දෙනවා. ඒත් නතාෂා මේ මනුස්සයා කියන දේවල් ඒ විදිහටම නොකරද්දි නතාෂාට සිදුවන්නේ ගුටි කන්න. 

මේ අතර මේ මනුස්සයාගේ අම්මාත් ඉඳහිට මේ ගෙදරට එනවා යනවා. ඇය දන්නෙ නෑ තම පුතා මේ විදිහට පුංචි දරුවෙක් සඟවාගෙන සිටින බව. දවසක් නතාෂා තමන්ගේ අම්මට ලියුමක් ලියනවා. ඉන්පසු ඔහුගෙන් ඉල්ලීමක් කරනවා, ඒ ලියුම අම්මට තැපැල් කරන්න කියලා. ඒත් ඔහු කරන්නේ ඒ ලියුම කීතු කීතුවලට ඉරලා දාන එක. නතාෂා ටිකක් කීකරුයි කියලා තේරුණාම ඔහු නතාෂාට පොඩ්ඩක් අඳුරු කාමරෙන් එළියට අරන් තමන්ගේ ගේ ඇතුළේ ඇයට ඇවිදින්න දෙනවා. මේ අතරේ නතාෂා වැඩිවියට පත්වෙනවා. නතාෂාට සිදුවෙනවා අවසානයේ ඔහු අතින් අතවරයට ලක්වෙන්න. නතාෂාගේ අත ඔහුගේ අතේ ගැටගසාගෙන ඔහු නතාෂාව ඇඳට රැගෙන යනවා. මේ අතර ඔහු දිනක් නතාෂාව එළියට එක්ක යනවා. එදා නාන කාමරයකට ගිය අවස්ථාවේ හමුවෙන තවත් තරුණියකට නතාෂා තමන්ගේ කතාව කියලා ඇයට උදව් කරන්න කියලා කියන්න හැදුවත් ඒ තරුණියට ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ. 

නතාෂාගේ අම්මා, තාත්තා, ආච්චි මේ වෙද්දි අවුරුදු ගාණක් තිස්සේ නතාෂාව හොයලා හොයලා හෙම්බත් වී ඉන්නේ. ඊට පෙර එක දවසක් ඔහු දරුවෙක් වාහනයෙන් පැහැරගෙන ගිය ආරංචිය අනුව පොලීසිය එම නිවසට ආවත් ඔවුන්ට ගෙදර ඇතුළත හාරන ලද කුඩා කාමරයක රඳවා ඇති නතාෂාව දකින්න ලැබෙන්නෙ නෑ. ඇය සමහරවිට බඩගින්න ඉවසාගන්න බැරිවුණාම කන්න යමක් සොයන්න කුණු බක්කිය අවුස්සමින් ඉන්නවා. මේ අතරේ වරින් වර ඔහු නතාෂාව තමන්ගේ කායික අවශ්‍යතා වෙනුවෙන් ද යොදා ගන්නවා. 

ඔහු මිනිසුන් ඇසුරේ ගැවසෙන්න භීතිකාවක් දක්වන අමුතු පුද්ගලයෙක්. අවසානයේ ඔහු තීරණය කරනවා තමන්ගේ සුදු වෑන් එක විකුණන්න. මේ වෙද්දි නිවසේ සියලු වැඩ කටයුතු සිදු කරන්නේ නතාෂා. ගැනුම්කරුවකුට දීමට පෙර වාහනය සෝදන්න ඔහු නතාෂා වාහනය තුළට ගෙනියනවා. ඒ මොහොතේ ඇය දකිනවා ඉදිරිපස ගේට්ටුව විවෘත කර ඇති වග. ඔහු ගැනුම්කරු හා දුරකථන ඇමතුමේ ඉද්දි නතාෂා ක්ෂණයකින් එතනින් පැනගන්නවා. ඇයට අතරමගදී කාන්තාවක් හමුවෙනවා. ඇය තමා ගැන සියල්ල ඒ කාන්තාවට කියනවා. තමන් ගැන පොලීසියට දැනුම් දෙන ලෙස ඇය ඉල්ලා සිටිනවා. අවසානයේ ඇයව බාරගන්න ඇය නැති දුකින් වසර ගණනාවක් පීඩා විඳි ඇගේ මව්පියන් එනවා. 

දවස් 3096 ක් අඳුරත් සමඟ කල් යල් යැවූ ඒ පුංචි කෙල්ලගේ ජීවිතය ගැන තමයි 3096 Days චිත්‍රපටයෙන් කතා කරන්නේ. මේ චිත්‍රපට නරඹද්දි මට හිතුණු එක දෙයක් තමයි හැම මොහොතකම කෙනෙක්ගෙන් ගෞරවයෙන් සමුගන්න කියන එක. සමහරවිට ඒ සමුගැනීම අවසාන හමුවීම වෙන්න ඇති. ඒ නිසා හිතක් නොරිදා සමුගන්න. ඒ වගේම තමන්ගේ ආදරණීයන් ආදරයෙන් රැකගන්න. මොකද එක මොහොතක මඟහැරීම දුක්බර අවසානයක ආරම්භය විය හැකියි.