2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

අමතක නොවන පාරක් දිගේ වරුවක්

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 180


ඇස් මන්මත් කළ දසුන - මගේ ජංගමයෙන් ගත් සේයාරුව

මේ ගමන අතරේ ආයේ කොහෙදි හරි හම්බවෙන්න බලාපොරොත්තුවෙන් තමයි අපි සමුගත්තේ. මතකද? “ඇල්ලෙ" සීතලේ තමා කතාව නැවතුණේ. කොහොම හරි තව ගොඩාක් දේවල් සිද්ධ වුණා. මම ආයෙත් ජංගමයගේ අකුරු වියමන පටන් ගත්තා. ඔන්න මම ආයේ ඉස්සරහ ආසනේ. අපි ඇඹිලිපිටියට කිට්ටුව. 

මුලින්ම කියන්න ඕනෑ මංගල උත්සවයේ කටයුතුවලට සහභාගිවෙලා බලාපොරොත්තු වුණු විදියටම විනෝද වුණා. එහේ වුණු දේවල් ලියන්න ගියොත් මේ කතාව දික් ඇදෙනවා. දැන් අපි මේ ඉන්නේ ගෙදර එන ගමන්. එහෙම කිව්වට ඒක අර්ධ සත්‍යයක්. අතරමඟදී අපේ නඩේ ගුරා, ඒ කියන්නේ අපි හයදෙනාගෙම ලොකු අයියා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒක ක්ෂණිකව සභා සම්මත වුණා.

“ඇඹිලිපිටියේ යමු..." ඇඹිලිපිටිය නුහුරු තැනක් නෙවෙයි අපේ අයට. ලොකු අයියගේ ඥාති ඉන්නවා එහේ. අපි ඔය කලින් කතරගම එහෙම යනකොටත් ඇඹිලිපිටියේ ගිහිල්ලා සප්පායම්වෙලා චන්ද්‍රිකා වැවේ නාලා වෙනම සනීපයක් අරගෙන තියෙනවා. ඒ නිසාම තමා හැමෝම වැඩේට එක පයින් කැමති වුණේ. ඔන්න කතාවෙන් කතාව අපි කිට්ටුවටම ඇවිල්ලා. මෙදා පාර වෙනදට අපි කට්ටියට ආගන්තුක සත්කාර කරන ලොකු අයියගේ ඥාති සහෝදරයා පොඩි ගමනක් ගිහිල්ලා. කොහොම හරි වෙන කෙනෙක් තමා අපේ උදව්වට ඉදිරිපත්වෙලා ඉන්නේ. වෙනදට නාන තැන නෙවෙයි අද නාන්නේ. මේ දැන් ඇමතුම ආවේ වෙන පාරක එන්න කියලා. ම්ම් බලමුකෝ. 

වෙලාව හරියටම සවස තුනේ කණිසම පහුවෙලා මිනිත්තු තිස් පහයි. පාරක් කිව්වට මේක ජීවිතේ කිසිම දවසක අමතක නොවන පාරක්. දෙපැත්තේ තනිකරම උක් වගාව. ඈත නිල් පාට අහස. සුදුපාට කැටි වලාකුළු. තාර නොදාපු වැලි පාර. ගොඩක් තැන්වල සරල රේඛාවක් වගේ එක කෙළින් තියෙන්නේ. මේ නම් ඇස් මත්වෙන දර්ශනයක්. තත්ත්පරයක් දෙන්න. ඔන්න මම ගහගත්තා ඡායාරූපයක්. මේ පාරේ හිතනවට වඩා දුරක් යන්න වෙන පාටයි.

මේ පාර දැක්කම කවි සිතුවිලි, ජීවිතේ ගැන සිතුවිලි වගේ නානාප්‍රකාර දේවල් හිතේ ඇඳෙනවා. ඒත් මේ මොහොත විඳින එක නතර කරන්න ලෝභයි. අපේ ජීවිතෙත් මේ වගේ කෙළින් පාරක් වුණා නම් කොහොමට තියෙයිද? ඒත් එහෙම නෑ. ජීවිතේ හරියට බදුලු, බණ්ඩාරවෙල, නුවරඑළියේ පාරවල් වගේ. මීට පැය කිහිපයකට කලින් අපි ඒ පාරවල් ඔස්සේ තමා පල්ලම් බැස්සේ. ඉතින් ඒ නිසා වෙන්නැති මේ පාර දැක්කම මෙහෙම සිතුවිලි පහළ වෙන්නේ. 

ඔන්න වාහනේ පාරේ එක තැනක නතර කළා. මිනිස්සු කිහිප දෙනෙක් ඉඩමක් එළිකරනවා, වගාවකටද කොහෙද? අපේ ලොකු සහෝදරයාගේ හිතවතාගේ තමා ඉඩම. ඔන්න හිතවතා ඇවිල්ලා අයියා එක්ක කතාව. අපි ගමන පටන් ගත්තා. හිතවතා බයිසිකලෙන් ඉස්සර වුණා. තව ගොඩක් දුර නෑලූ. අන්න පේනවා, පාර ඉවර වෙන්නේ වැව අද්දරින්. එහෙම පාරකට, එහෙම අවසානයක්. ඒක වෙනම අත්දැකීමක්. 

අපි නතර වුණා. මේක වෙනම තැනක්. එක යායට වැව. කිසිම කෙනෙක් නෑ. වැවට (බන්ට්) එකක් ගහලා තියෙනවා. දෙපැත්තේ ඔරු තුන හතරක් නවත්තලා තියෙනවා. අපේ කට්ටිය අනුපාන ගන්නවා වාහනේ. ටික වෙලාවක් දෙන්නකෝ. මේ තැන ඉස්පාසුවක් අරගෙන විස්තරේ කියන්නම්. 

ඔන්න වෙලාව හය පහුවෙලා. ගොඩක් දේවල් සිද්ධ වුණා. නවත්තපු තැනින් පටන් ගන්නම්කෝ. අපේ කට්ටිය නාගන්න කලින් වැඩකට ලකලෑස්ති වුණා. එතකොටම ඔරුවක් ආවා. ඒ ඔරුව ගිහිල්ලා තිබුණේ අපිට අනුපාන වශයෙන් වැව් මාළු ටිකක් අල්ලන් එන්න. ඊට පස්සේ අර හිතවතා ඒ මාළු බැදලා කරලා ගෙනාවා. වැවේ ගැඹුර, අවදානම ගැන කලින් කතා කරලා දැනගත්තා. කට්ටිය ගොඩක් දුර නොගිහින් සනීපෙට සප්පායම් වෙද්දී රියදුරු රාජකාරිය බාරගත්ත මිත්‍රයා ඉවසා දරාගත්තා. ඊට පස්සේ අපේ වාහනේ තියෙන (කොන්ගෝ) එකට හරියට වැඩ තිබුණා.

වතුර ටික නම් කියලා වැඩක් නෑ. පුදුම සනීපයක් තිබුණේ. වෙලාව ගෙවිලා යනවා තේරුණේ නෑ. මේ වගේ තැනක මේ වගේ සතුටක් ලබන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. මේ වැවේ අයිතිකාරයා, මත්ස්‍ය අස්වැන්නේ අයිතිකාරයා අපේ හිතවතා. මෙතැන පෞද්ගලික තොටුපොළක් කිව්වොත් හරි. කාටවත් මෙතනට එන්න ලැබෙන්නේ නම් නෑ ලේසියට. එහෙම බැලුවාම අපි හරි වාසනාවන්තයි. කොහොම වුණත් මේ අත්දැකීම අකුරු කරන්න ලේසි නෑ. ඒ නිසා ඒ වැඩේ මම නොකර ඉන්නවා මිත්‍රවරුනේ.

අපි ගමනේ අවසාන කොටසට ඇවිල්ලා ඉන්නේ. අපේ වාහනේ දැන් රස සාගරයක් වෙලා. කොහොම වුණත් හිතට පොඩි දුකක් දැනෙනවා. අපි තව ටිකකින් අධිවේගී මාර්ගයට දානවා. මතකනේ අපි කතාව පටන් ගත්තේ අධිවේගයෙන්. ඉතින් මේ ගමන තව පැය කිහිපයක් ඇතුළත අවසන් වේවි. හැබැයි මේ මතකය හැමදාම තියේවි.

I නිසල්