2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

හොල්මන් සද්ද... රෑට නින්ද යන්නෙ නෑ

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 1976

මහ රෑ ජාමේ බෝඩිමේ පිඟන් පොළොවෙ ගහනවා ඇහෙනවා

මට වයස අවුරුදු 22 යි. ගෙදර ඉඳලා ටිකක් දුර බැහැර තැනක නැවතිලා  ඉඳලා පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. මම නැවතිලා ඉන්නෙ තවත් යාළුවෙක් එක්ක. එයත් වැඩ කරන්නෙ මම වැඩ කරන තැනමයි. මට හැමදාම රෑට අමුතු අමුතු සද්ද ඇහෙනවා. කවුරුහරි කෑගහනවා වගේ  ඇහෙනවා. අමුතු ගඳකුත් එනවා. මම සාමාන්‍යයෙන් නිදාගන්නකොට රාත්‍රී 11 විතර වෙනවා. ඒත් මගේ යාළුවා 9.30 වගේ වෙද්දි නිදාගන්නවා. මට පොඩි සද්දයක් ඇහුණත් ඇහැරෙනවා. ඉතින් මම නිදාගෙන ටික වෙලාවකින් අමුතු සද්ද ඇහෙන්න ගන්නවා. එහෙම ඇහෙන්නෙ හීනෙන් නෙවෙයි කියලා මම දන්නවා. එහෙම ඇහෙන සමහර දවස්වලට කුස්සියේ බඩු පෙරළිලා එහෙම තිබිලත් අපිට අහුවෙලා තියෙනවා. අවට ගෙවල්වල පූසන් එහෙමත් ඉන්නවා අපි දැකලා නැහැ. එක දවසක් උදේ නැඟිටලා බලද්දි අපි කෑම කන පිඟන් ටිකත් බිම වැටිලා කුඩුපට්ටම් වෙලා තිබුණා. අපි ඉන්න ගෙදර අයිති අයටත් මේ ගැන කිව්වා. අපේ අම්මලා තාත්තලටත් මේ ගැන කිව්වා. කවුරුවත් මේ ගැන විශ්වාස කරන්නෙ නෑ. අපි ඉන්න තැනට වෙන පිටස්තර කෙනකුට ඇතුළු වෙන්නත් විදියක් නැහැ. යාළුවයි මමයි දැන් හොඳටම බයවෙලා ඉන්නෙ. අපි ඉන්න තැන මාරු කරන්නත් විදියක් නැහැ. මේක අපිට ලොකු ගැටලුවක්. හැමදාම රෑ වෙද්දි අපි ඉන්නෙ පුදුම බයකින්. අපිට මේ ගැන කියන්න වෙන කවුරුවත් නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් විසඳුමක් ඕනෑ.

හේෂාණි - මහියංගණය

පිළිතුර 

ඔබේ උපකල්පනයක් තියෙනවා අදෘශ්‍යමාන බලවේගයක් විසින් ඔබට මෙම ප්‍රශ්න ඇතිකරනවා කියලා. ඔබ එය විශ්වාස කරනවා. එහෙත් මෙහිදී පූසන් පෙරළන්න පුළුවන්. වෙන වෙන සාමාන්‍ය දේවල් සිදුවන්නත් ඇහෙන්නත් පුළුවන්. අදෘශ්‍යමාන බලවේගයක් ඔබ සිටින නිවස ඇතුළේ ඇති බවත්, එයින් මෙම ප්‍රශ්න ඇතිකරනවා කියලා උපකල්පනයක පිහිටලයි ඔබ මෙම ප්‍රශ්නය එවා ඇත්තේ.‍ විශාදය, කාංසාව වැනි රෝගී තත්ත්ව ඇති අයට නින්ද නොයාම, සුළු ප්‍රශ්නවලට අනිසි සංවේදීතාවක් දැක්වීම, සුළු දේ අනවශ්‍ය ආකාරයට සිතීම, වැඩිපුර කල්පනා කිරීම වැනි රෝග ලක්ෂණ තියෙනවා. ඔබගේ ප්‍රශ්නය අනුව ඔබට සුදුසුම දේ ඔබ ළඟම ප්‍රදේශයක ඇති මනෝවිද්‍යා සායනයකට සම්බන්ධ වී උපදෙස් ලබාගැනීමයි. 

දරුවන් බිරිඳගේ පැත්තට හරවාගෙන මට වෙනස්කම් කරනවා

අපේ ගෙදර ඉන්නෙ මමයි බිරිඳයි දුවලා දෙන්නයි පුතයි. ඉස්සර අපි ඉතා ආදරෙන් සමගියෙන් සිටියා. ඒත් ටික කාලෙක ඉඳලා බිරිඳ දරුවන් එයාගෙ පැත්තට හරවාගෙන මට වෙනස්කම් කරනවා. නින්දා අපහාස කරවනවා. මට කන්න බොන්න දෙන්නේ නැහැ. මම වෙනම උයාගෙන කන්නේ. හැමවෙලාවෙම මගේ අඩුපාඩුවක් සොයාගෙන දරුවන්ට කියා මට කැත විදිහට දෝෂාරෝපණය කරවනවා. මම දරුවන්ට මුදලක් දුන්නත් ඒක ආපසු දෙනවා. මා වවාපු ගහකොළ පවා ඇය කපා දමනවා. ගෙදරින් පිට ගොස් ගෙදර ආ ගමන්ම කරන්නේ මගේ මොකක් හෝ අඩුපාඩුවක්, අමතක වීමක් මුල්කරගෙන දරුවන් සමඟ මට නින්දා අපහාස කරමින් මගේ සිත රිදවනවා. තැලෙන යකඩය වගේ මම දැන් ගොඩක් වෙලාවට මේවා ඉවසාගෙන ඉන්න පුරුදුවෙලා ඉන්නේ. ඒත් වෙලාවකට දරන්න බැරි වේදනාවක් කලකිරීමක් ඇතිවෙනවා. දරුවන් පව් කර ගන්නවා, මට නොයෙක් නින්දා අපහාස හිංසා පීඩා කරලා කියලා හිතෙනවා. මම කොහොම හොඳින් සිටියත් කෙනෙහිලිකම් නිමාවෙන දවසක් පේන තෙක් මානයකවත් නැහැ. ගෙදරක සාමකාමී සුහද පරිසරය අහිමිවීම හිතට ලොකු දුකක්. මේ තත්ත්වය වෙනස් කර ගන්න ක්‍රමයක් තියෙනවාද? මට පිළිතුරක් දෙන්න. 

විසල් - කුරුණෑගල

පිළිතුර 

ඔබ ඉදිරිපත් කර ඇති ප්‍රශ්නය අනුව පෙනී යන්නේ ඔබ පවුලේ සාර්ථකව විසඳාගත යුතු විශාල අර්බුදයක් ඇති බවයි. මෙහිදී පවුලේ සබඳතා බිඳවැටුණේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරක් සොයාගන්න අවශ්‍ය වෙනවා. ඔබ පවසන දේ මෙන්ම පවුලේ අනෙක් අය ඔබට මේ ආකාරයට සැලකීමට හේතුවත්, ඔවුන් කුමන මතයක් දරනවාද යන්න සම්බන්ධයෙන් විමසා බලන්නත් අවශ්‍යයි. ඔබට හොඳම විසඳුම ඔබ සිටින ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින උපදේශන නිලධාරී හමුවී ඔබේ ප්‍රශ්නය සියලුම විස්තර සහිතව පුළුල් ලෙස සාකච්ඡා කර එම නිලධාරියා හෝ නිලධාරිනියගෙන් මෙම ප්‍රශ්නය ක්‍රමානුකූලව නිරාකරණය කර ගැනීමට උපදෙස් ලබාගැනීමයි. මෙය එක රැයකින් කළ හැකි දෙයක් නොවේ. ඔබ සහ බිරිඳ අතරත්, දරුවන් සහ ඔබ අතරත් හොඳ සන්නිවේදනයක් පවත්වාගැනීමට පවුලේ එකිනෙකාගේ අඩුලුහුඬුකම් සකසා ගන්නේ කෙසේදැයි උපදෙස් ලබාගන්න. 

මහත්තයාගේ දුරකතනයෙන් හමුවූ හඬපටයෙන්  මම මැරි මැරී උපදිනවා 

අපි බැඳලා අවුරුදු 5ක් බබාලා නැතුව දහදුකක් වින්දා. ඊටපස්සේ අවුරුද්දේ දරුවෙක් ලැබෙන්න ආවා. මාස 5ක් කුසේ හිටිය බබා කුසේදිම නැතිවෙලා. ගිය ජනවාරි 28  වැනිදා දරුවා අයින් කළා. මමයි මගේ මහත්තයායි ගොඩාක් දුක් වුණා. ඔහොම ඉඳිද්දි දවසක් මහත්තයාගේ දුරකථනයේ පටිගතවීම්වල තිබුණා අඳුරන්නේ නැති ගෑනු කෙනෙක් එක්ක කතා කරන දුරකථන පටිගත වීමක්. මම මහත්තයාගෙන් ඇහුවා මේ කවුද කියලා. ඇයි ඔහොම මට කරන්නේ? මාව එපාද කියලා. මම ගොඩාක් ඇඬුවා. එයා කිව්වා, ගෙදර ප්‍රශ්න වැඩියි. දරුවා නැතිවුණා. ඒක එයාට දරාගන්න බෑ. එයාට මොනවා වුණාද දන්නේ නෑ. විහිළුවට කතා කළේ කියලා. මම දැන් ලොකු පීඩනයක ඉන්නේ. මහත්තයා ආරක්ෂක සේවයේ ඉන්නේ. මාසෙකට සැරයක් ගෙදර එන්නේ. මම ඉන්නේ අම්මා ළඟ. අම්මාත් කියන කතාවලින් මගේ ඔළුව විකාර වෙනවා. මම තාමත් හිතින් මැරි මැරී උපදිනවා දරුවා නැතිවුණු එකයි, මහත්තයා කරපු වැඩේ ගැනයි. එයා මගෙන් සමාව ගත්තා, ආයේ ඒ වරද කරන්නේ නෑ කියලා. මට ගමට යන්න බෑ, දරුවා නැතිවුණු නිසා. කන්න ගියත්, නිදාගන්න ගියත්, මට නිතරම මතක් වෙන්නේ මහත්තයා කරපු දේ. මට මගේ හිත හදාගන්න උදව් කරන්න.

රුවනි - මාතර 

පිළිතුර 

දරුවාගේ අහිමිවීමත්, ඔබ කියන පරිදි සැමියා විසින් සිදු කරනු ලබනවා යැයි කියන ක්‍රියාවත් හේතුවෙන් ඔබ තුළ දැඩි මානසික පීඩනයක් ඇතිවී ඇතැයි සලකන්න පුළුවන්. මේ හේතුවෙන් ඔබට යම් විශාදය තත්ත්වයක් ඇතිවෙමින් ඇතැයි අනුමාන කිරීමට පුළුවන්. මෙම මානසික තත්ත්වය හේතුවෙන් ඔබේ හැඟීම්, දැනීම්, සිතිවිලි වෙනස් වී තිබෙනවා. ඔබට යම් මනෝවෛද්‍ය ප්‍රතිකාරයක් අවශ්‍යයි. මෙම ගැටලුවේදී ඔබේ සැමියාවත් ගෙන්වාගෙන උපදේශනය, මනෝ ප්‍රතිකාර සහ මනෝවෛද්‍ය ප්‍රතිකාර යන ප්‍රතිකාර තුනම ලබාගැනීම අවශ්‍ය වෙනවා. සුදුසුම පියවර වන්නේ ඔබ දෙදෙනාම එක්ව විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවී මනෝවෛද්‍ය ඖෂධ ප්‍රතිකාර සහ මනෝවිද්‍යා උපදේශනයක් මගින් උපදේශන ප්‍රතිකාර ලබාගැනීමයි.

(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න.)  
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.

     

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 
‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන