2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

මහ වැස්සේ මුහුද යටත් සින්දු කීවා

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 160

උමාරා.. විසිදෙවැනිදා පැවැත්වෙන සංගීත වැඩසටහන ගැන මුලින්ම කතා කළොත්?

ඔව්... මේක මගේ සංගීත කටහඬ පුහුණු කිරීමේ පාසලෙන් පැවැත්වෙන සංගීත ප්‍රසංගයක්. මේ ප්‍රසංගය දෙවැනි වරට තමයි පැවැත්වෙන්නෙ. මගේ %Umara music studio^ පාසල පිහිටලා තියෙන්නෙ පැලවත්තේ. මගේම පාසලෙන් ඉගෙනුම ලැබූ තුන්දහසකට අධික දරුවන් සංඛ්‍යාවකින් එක්දහස් හත්සීයක දරුවන් පිරිසක් තෝරාගෙන ඔවුන්ගේ විභාග කිහිපයක් පවත්වා ඒ අයගෙන් හොඳින් ලකුණු ගත් දරුවන් මෙන්ම දක්ෂතා ඇති දරුවන් විසිදෙනෙක් තෝරාගෙන මෙවර මෙම %One mic^ වැඩසටහන පැවැත්වෙනවා. අපිට අපි පුංචි කාලේ අපේ දක්ෂතා පෙන්නුම් කරන්න හොඳ වේදිකාවක් තිබුණේ නැහැ. නමුත් අපිට නොලැබුණු ඒ අවස්ථා මේ දරුවන්ට ලබා දෙමින් ඔවුන්ගේ දක්ෂතා වේදිකාවට ගෙන එන්න මට ඕනෑ වුණා. මේ වැඩසටහන පෙබරවාරි විසිදෙවැනිදා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ සවස හයයි තිහට පැවැත්වීමට සූදානමින් ඉන්නවා.

මේ ප්‍රසංගයේ ගායනා කරන්නේ Umara music studio එකෙන් ඉගෙනගත් දරුවන් පමණක්ද?

නැහැ. මෙම ප්‍රසංගයේදී මගේ දරුවන්ට අමතරව මගේ හදවතට ඉතා සමීප ගායක ගායිකාවන් කිහිප දෙනකුත් එම ප්‍රසංගය තවත් වර්ණවත් කරන්න මාත් සමඟ සූදානමින් ඉන්නවා. භාතිය සන්තුෂ්, රෑකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, රයිනි ගුණතිලක, චිත්‍රාල් සෝමපාල, වින්ඩි ගුණතිලක, සනුක වික්‍රමසිංහ, මිහිඳු ආරියරත්න, රිද්ම, ෆැලන්ඩ් ඇන්ඩ්‍රියා, රන්දීර්, කාංචනා අනුරාධි, ලහිරු පෙරේරා සහ ඉන්ෆිනිටි සංගීත කණ්ඩායමත් මේ ප්‍රසංගයට එකතු වෙනවා. ඒ වගේම මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කිහිප දෙනෙක්ම මේ වෙද්දි නාලිකාවල තිබුණු සංගීත තරගවලින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ දරුවනුත් මේ ප්‍රසංගයට සම්බන්ධ වෙනවා.

පෙබරවාරි විසිදෙවැනිදා මේ ප්‍රසංගයේදි ඔබේ අලුත් ගීතය එළිදක්වනවා කියලයි ආරංචිය?

ඔව්.. එදාට මගේ පෞද්ගලික වෙබ්අඩවිය සහ Umara Music Studio පාසලේ වෙබ්අඩවිය එළිදක්වන්න නියමිතයි. ඒ වගේම එදාට මගේ අලුත්ම ගීතය සහ එහි වීඩියෝව එළිදක්වන්නත් සූදානමින් ඉන්නවා. මේ ගීතයේ අපි සතුට ගැන කතා කරනවා. ජීවිතේ මොන ප්‍රශ්න ආවත් සතුටින්, ඒ එන ප්‍රශ්නවලට කෙසේ හෝ මුහුණදීලා ඉදිරියට යන්න කියලයි මේ ගීතයෙන් කියන්නේ.

රෑ තාරුකා ගීතයේ වීඩියෝවත් ටිකක් වෙනස්?

ඔව්... මේකෙ වීඩියෝ එක කරන්න ගොඩක් මහන්සි වුණා. දවස් හතක් පමණ අපි රූගත කළා. මුහුදේ තමයි වැඩිපුරම රූගත කරන්න තිබුණේ. මට වැඩිය පීනන්නත් බැහැ. හැබැයි මුහුදේ යට සහ පිහිනුම් තටාකයක් යට ඉඳන් තමයි මම ගීතය ගායනා කළේ. ඉතාම අමාරු වීඩියෝවක්. වෙනස්ම අත්දැකීමක්. මම හිතන විදිහට ලංකාවේ ප්‍රථම වතාවට ගායිකාවක් කරපු අභියෝගාත්මක වීඩියෝවක්. ලොකු අවදානමක් ගත්තා. ඒ දවස් ටිකේ කාලගුණ තත්ත්වය වුණත් එතරම් යහපත් වුණේ නැහැ. මහ වැස්සෙත් අපි රෑගත කිරීම් කළා. ලංකාවේ තියෙන සුන්දරත්වය ඉස්මතු කරලා පෙන්නන්න අපි උත්සාහ කළා. මගේ ජීවිතේ මේක විශේෂ ගීතයක් වගේම විශේෂ වීඩියෝවක්.

උමාරා.. ගායිකාවක් වීම, ඔයා පුංචි කාලේ දැකපු හීනයක්ද?

මට අවුරුදු දෙකහමාර තුන වෙද්දි මට ගායිකාවක් වෙන්න ඕනෙ කියලා මම කිව්වා. ඒ මගේ හීනය ගැන මගේ දෙමව්පියන් දැනගෙන හිටියා වගේම ඒ වෙනුවෙන් මාව උනන්දු කළා. අපේ දෙමව්පියන් පුංචි කාලේ ඉඳන් අපේ හැකියාවන්ට නිදහස දුන්නා. කිසිමදේකට තහංචි දැම්මේ නැහැ. ඒ වගේම ඉගෙනීමත් අනිවාර් යෙන්ම කළ යුතු වුණා වගේම සංගීතය පැත්තටත් යොමු කළා. මගේ අම්මා තමයි මට ඉන්න ලොකුම හයිය. අපේ දක්ෂතා මුලින්ම දැක්කේ අම්මයි. අපි පුංචි කාලේ යුරෝපයේ හැදුණේ. අපේ ඥාති සහෝදර සහෝදරියන් එක්ක එකට හැදුණේ. ඒ කාලේ අපිට කිරි බෝතලේ දීලා අම්මා තාත්තා සංගීත පුහුණුවීම් කළා. අම්මා ඇඳගෙන හිටපු විදිහ, මේක්අප් දාන විදිහ, සපත්තු පළදින විදිහ සහ ගායනා කරන විදිහ අද වගේ මට මතකයි. ඒ හැමදේම දකිද්දි මට වාව් කියලයි හිතුණා. මට මගේ සංගීත ගමන යන්න මගේ දෙමව්පියෝ, අයියලා දෙන්නා, නංගි ලොකු සහයෝගයක් දුන්නා. ඒ අයගේ සහයෝගය නැත්නම් අද මම මෙතන නැහැ. ඒ වගේම මගේ ආදරණීය සැමියා සහ මගේ පුතාවත් ආදරයෙන් මතක් කරනවා. මගේ සැමියා හැම මොහොතකම &ඔයාට මේක කරන්න පුළුවන්* කියලා මාව ධෛර්යමත් කරනවා. අද මගේ ලොකුම හයිය ඔවුන්. මම කාලයක් හොංකොංවල හිටියේ. අදටත් මගේ සැමියා සහ පුතා ඉන්නේ එහෙයි. අවුරුදු දෙකකින් මට ඔවුන්ව දකින්න ලැබුණේ නැහැ. නමුත් මේ හැම වැඩකදිම එයාලා මාව ධෛර්යමත් කරනවා. ඔහුගේ ශක්තිය නිසා මගේ වැඩ කටයුතු නිදහසේ කරගෙන යනවා. මම අවුරුදු හතක් හෙංකොංවල සංගීතය ඉගෙන ගත්තා.

උමාරා සහ උමාරියා එක්ක එකතුවෙලා ගීතයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

අපි එකතුවෙලා වස්සානේ ඇල්බම් එකට ගීතයක් කළා. ආයෙත් කරන්න ඕනෙ. නමුත් නංගි මට වඩා කාර්යබහුලයි. ඇය ඉන්දියානු සංගීත ලේබලයකට අත්සන් කරලා තියෙනවා. ඒ නිසා එයා මේ දවස්වල හරිම කාර්යබහුලයි. නංගි ගැන මට ගොඩක් ආඩම්බරයි. 

අද මේ ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ?

මට ඒක වචනයෙන් කියන්න තේරෙන්නෙ නැහැ. ගායිකාවක් විදිහට මේ ගෙවන ජීවිතේ ගැන මම ගොඩක් සතුටු වෙනවා. එදත් අදත් තාමත් මට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම මම හරි ආදරෙයි. මම වැටුණත් මාව ඉදිරියට ගන්න පිරිසක් ඉන්නවා. ඒක තමයි මගේ සාර්ථකත්වය වෙන්නෙ.

 දිශානි ජයමාලි

සේයාරුව - සුමුදු හේවාපතිරණ