2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

කොන්දේසි විරහිත ලොව එකම ආදරය!

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 53

මට හිතෙන්නේ අනික් හැම ආදරයක්ම මනින්න පුළුවන් අම්මාගේ ආදරය හැර... අනික් හැම ආදරයකටම උපමාවක් තියෙනවා අම්මාගේ ආදරයට හැර... අනික් හැම ආදරයකටම කොන්දේසියක් තියෙනවා අම්මාගේ ආදරයට හැර... මම මේ අම්මා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා වෙච්ච අම්මලා ගැන...

එහෙම අම්මා කෙනෙක්ගේ ආදරය, බැඳීම කියන්නේ දිගක් පළලක් නැති අනන්තයක්... අනික් හැම ආදරයකටම යම් කොන්දේසියක් තිබුණත් ඒ ආදරයට කොන්දේසියක් නෑ... කොන්දේසි විරහිතව ආපිට කිසිවක්ම නොඉල්ලමින් බෝධිසත්ත්ව පාරමිතාවක් පූරණය කරනවා වගේ දරුවෙකුට ආදරය කරන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක් වෙච්ච අම්මා කෙනෙකුට පුළුවන්...

ඒ ආදරය උපමා කරන්න මේ ලෝකයේ තියෙන ලස්සනම උපමාව තමයි සඳ එළිය... සඳ එළිය කියන්නේ දිව්‍යමයභාවය තරම් නිර්මල දෙයක්... කිසිම දෙයකින් සඳ එළිය කිළිටි වෙන්නෙ නෑ... එය හරිම අචින්ත්‍යයයි... ඒ වගේම නොකිළිටියි අම්මාගේ ආදරය... පුදුමාකාර අනුහසකින් සිරුරේ රුහිරය කිරට හරවන්න පුළුවන් වෙන කිසිවකට නෙවෙයි අම්මාගේ ආදරයට.

එහෙම ආදරයක් ගැන Penguin හින්දී චිත්‍රපටයේ කතා කරනවා. ඇයගේ පුතු කිසිවෙකු විසින් පැහැර ගන්නවා... එය සිදුවෙන්නේ ඉතාමත් ගුප්ත විදිහට... ඒ වෙද්දිත් ඇය තවත් දරු ගැබක් දරාගෙන ඉන්න ගැබිනියක්... ඇය තනියම තම පුතු සොයාගෙන යනවා. අවසානයේ අනපේක්ෂිත මොහොතක එක් රාත්‍රියක ඇයට තම පුතු හමුවෙනවා. ඒත් ඇයට හමුවෙන්නේ ඇයත් සමඟ සිටි දඟකාර ස්වභාවික දරුවා නෙවෙයි. හරිම ගුප්ත නිහඬ දරුවෙක්. ඇය ඒ දරුවාව මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා... ඒ අතර ඇය හැමදාම වගේ දකින හීනයක් තියෙනවා. ඒ එකම හීනයක්. ඇගේ පුතුත් සයිරන් කියන ඇගේ බල්ලාත් අසාමාන්‍ය ගුප්ත මිනිසෙකුගේ භාරයට නතුවන අයුරු තමයි ඒ හීනයෙන් ඇය දකින්නේ. ඒ මිනිසා අද්භූත ලෙස මතුවන්නේ දිය දෙබෑ කරගෙන.

ඇගේ පුතු දෙවැනි වරටත් අතුරුදන් වෙනවා... මේ සියල්ල පිටුපස සිටින්නෙ කවුද? ඒ සිටින පුද්ගලයා සොයා යෑමේ කතන්දරය තමයි මේ චිත්‍රපටයට ප්‍රස්තුත වෙන්නේ. අවසානයේ ඇය තම පුතු යොමුකළ මනෝ වෛද්‍යවරයා කියන්නෙත් දරුවන් සහ මිනිසුන් අසාමාන්‍ය ලෙස ඝාතනය කරන නරුම පුද්ගලයෙක්. ඇය ඉතා සූක්ෂම ලෙස එක් දැරියක් අතුරුදන්වීම හඹා ගොස් තමා ඒ වෛද්‍යවරයා කවුද යන්න අනාවරණය කර ගන්නවා. ඇය ඒ නරුම වෛද්‍ය ඝාතකයා නීතියට කොටු කර දෙනවා. එහෙත් ඇගේ පුතු පැහැරගන්නේ ඒ පුද්ගලයා නොවන බව අනාවරණය වෙද්දි ඇය පුදුමාකාර තිගැස්මකට ලක්වෙනවා. දරුවෙක් ලැබෙන්න ඇති කුසේ බරත් උහුලාගෙන ඇය තම පුතු පැහැරගත් පැහැරගන්නා සොයාගෙන යනවා...

අවසානයේ ඒ පුතු පැහැරගන්නේ ඇගේ ළඟම මිතුරියක්. ඇය පාපොච්චාරණය කරනවා ඇයි එහෙම කළේ කියලා. ඇගේ මව්පියන් ඇයට කුඩා වියේ සිටම කියනවා අර පුතුගේ අම්මා වගේ හැදෙන්න කියලා... තම මව්පියන් විසින් අගයන ඇයට - ඇය ඊර්ෂ්‍යා කරනවා. ඇය හිතනවා ඇයට රිදවන්න. ඒ රිදවන්න සොයාගන්න හොඳම තුරුම්පුව තමයි ඇගේ දරුවා. ඒ සියල්ල පාපොච්චාරණය කරමින් අවසානයේ ඇය සියදිවි නසා ගන්නවා...

මේ චිත්‍රපටය පුරාම කියන්නේ අම්මා කෙනෙක්ගේ ආදරයේ අසීමිත සීමා මායිම් රහිත බව... මුදු ළතෙත් ගුණය... ඒ වගේම කොයිතරම් එඩිතර නිර්භීත බවක් අම්මා කෙනෙක්ගේ ළය ලෙය ගැඹුරෙහි සැඟවී තියෙනවාද යන වග...
ඒ පුදුමාකාරය තුළ අපිට ගෙනියමින් සුන්දර අවසානයක් සමඟ ඒ චිත්‍රපටය නිමා වෙනවා... ඇගේ පුතු පුරුදු ස්වභාවික දරුවා ලෙසින්ම යළි විකසිත වෙද්දි ඇගේ කුස හොත් දරු පැටියාත් මෙලොව දකිනවා.

ලස්සන අවසානයක්! ආදරණීය අවසානයක්! අම්මාගේ ආදරය හරි සුන්දර කියැවීමක්!

I සංජු