2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

වාර දෙසීයක් සත්‍යයේ ගීතයේ අත්වැල් ඇල්ලූ නවා

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 88

අප කවුරුත් මෙලොව ජනිත වන්නේ බලාපොරොත්තු, සිහින රැසක් දෑතෙහි ගුලි කරගෙනය. ජීවත් වීම යනු අප ලබන නිවැරදි මඟපෙන්වීම්, ගුරුහරුකම් ඔස්සේ මෙම සිහින එකිනෙක සැබෑකර ගන්නට උත්සාහ කිරීමයි. ඇතැම් සිහින සැබෑකර ගන්නා අපට තවත් සිහින සැබෑකර ගැනීමට ඉඩ නොලැබෙන අවස්ථා ද බොහෝය. එහෙත් සියල්ල දරාගනිමින් අපි ජීවිතය විඳින්නෙමු. ඒ අතර සැබෑ වූ සිහින ගැන උදම් අනන්නටත්, සැබෑ නොවුණු සිහින ගැන කාට හෝ චෝදනා කිරීමටත් බොහෝ අය පෙළඹෙන අයුරු බොහෝවිට අපට දැකිය හැක. එහෙත් සමහර අවස්ථාවල ලැබුණු දේ ගැන උදම් අනන්නේද නැති, නොලද දේ ගැන කිසිවකුට චෝදනා කරන්නේද නැති මැදහත්ව ජීවිතය දෙස බලන මිනිසුන් ද අපට හමුවේ. අද හදසර අපේ කතාබහ සංගීත ලෝකය තුළ ඉතා දිගු ගමනක් බර අඩි තබමින් ඇවිද ආ එවන් සොඳුරු නිර්මාණවේදියකු සමඟයි. ඔහු සංගීතවේදී කලාසූරී නවරත්න ගමගේය.

ඉතා කුඩා වියේදීම ජීවිතයේ වගකීම් පිළිබඳව ඔහුට දැනුණේ පවුලේ වැඩිමහල් දරුවා වීම නිසාමය. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ පාඬිගමගේ විල්සන් හා ගෘහණියක වූ සීලවතී යන ආදරණීය දෙමව්පියන් තම දරුවන් රුකගෙන ජීවිතය ඉදිරියට රැගෙන යාමට දරණ වෙහෙස ඔහුට ක්‍රමක්‍රමයෙන් අවබෝධ වන්නට විය. කොතරම් කරදර, බාධක තිබුණද තම දෙමව්පියන් ඉතා ත්‍යාගශීලී, කරුණාවන්ත අය වූ බවත් එම ගති ස්වභාවයන් තම ජීවිතය හැඩගස්වා ගන්නට මහත් සේ ඉවහල් වූ බවත් නවරත්න ගමගේ සංගීතවේදියා අද ද සිහිපත් කරන්නේ සෙනෙහසිනි.

මම ඉපදුණේ බොහොම සුන්දර වටපිටාවක. ගංගොඩවිල, නුගේගොඩ, පැඟිරිවත්ත, රත්තනපිටිය ආදී ප්‍රදේශවලින් සැදි කෝට්ටේ නගරයේ එවක පැවතුණේ ඉතා අගනා සංස්කෘතික වටපිටාවක්. සිංහල, දෙමළ, මුස්ලිම් යනාදී විවිධත්වයෙන් යුත් මේ සංස්කෘතික පරිසරය තුළ ජීවිතය විඳීමේ කලාව මට හසුවුණා. මෙන්න මේ රසිකත්වය තමා අද මාව මෙතරම් දුරකට රුගෙන ආවේ.තම ගමන ගැන ඔහු සිහි කරයි.

ඔහුගේ නිවස වටා සිනමාහල් තුනක් පිහිටා තිබුණු අතර නිරන්තරයෙන් සංගීත ප්‍රසංග, නාට්‍ය යනාදිය ද මේ පරිසරය තුළ පැවැත්විණ. එමෙන්ම ඒ දිනවල මළගෙදරට, මඟුල් ගෙදරට, පින්කම් ගෙදරට ආදියට සියලු දෙනාම සහභාගිවීමේ ප්‍රවණතාවක් ද පැවතිණ. මේ සියල්ල තුළ ඔහු ජීවිතය පිළිබඳ මනා අධ්‍යයනයක නිරත විය.
ඔහු පාසල් සමිති සමාගම්වලට ඉදිරිපත් වී ගීත ගායනා කළේය. පණ්ඩිත් අමරදේවයන්ගේ, ආචාර්ය නන්දා මාලනීගේ ගී ඒ අතර ප්‍රමුඛ විය. එහෙත් ඔහුට පාසලේදී සංගීත විෂය හැදෑරීමට අවස්ථාවක් නොවීය. විශ්වවිද්‍යාල වරම් පළමුවර අහිමිවීම තුළ යළිත් වතාවක් උත්සාහ කිරීමට පවුලේ ආර්ථිකය ඉඩ ලබා නොදුන් වග ඔහු සිහිපත් කරන්නේ කම්පාවකින්දැයි සිතුණ ද එම බාධකය ඔහුගේ ගමනට කිසිදු බාධාවක් නොවූ වග අද ඔහුම පසක් කොට ඇත. නැවත වරක් උසස් පෙළ ලිවීම පසෙකලා ඔහු රුකියාවක් සොයා ගත්තේය.

මම උසස් පෙළ කරන්න ගියේ සුභද්‍රාරාම පිරිවෙනට. ඒ පසුබිමත් එක්ක හොඳ සාහිත්‍යමය වටපිටාවක් තිබුණු නිසා උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලයකට ගිහින් හොඳින් අධ්‍යාපනය ලබන්න මගේ ලොකු ආසාවක් තිබුණා. ඒත් ඒ කාලය වනවිට තිබුණු ආර්ථික ගැටලුත් එක්ක මට ඒ ආසාව ඉටුකර ගන්න හැකි වුණේ නැහැ. ඒ කාලේ ලොකු ඉල්ලුමක් තිබුණු රුකියා අංශයක් තමයි ඉංජිනේරු අංශය. ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ පුහුණුවකින් පසු මම ඒ අංශයෙන් රුකියාවක් සොයා ගත්තා. කොළඹ කොමර්ෂල් ඉංජිනේරු ආයතනයේ යාන්ත්‍රික අංශයේ රුකියාව තුළින් මම වෙනත් ගමනක් ගියා. මොකද පවුලට බරක් නොවීම තමයි මගේ එකම අරමුණ වුණේ.ඔහු සිහිපත් කරයි.

මේ කාලයේ මුදල් ටිකක් අතට ලැබෙන විට මගේ සිත යට තිබුණු කලා හිත අවදි වුණා. ඉතින් මම වේදිකා නාට්‍ය සංගීතවත් කරමින් යළි මගේ හිත තුළ තිබූ රසිකත්වයට ඉඩක් ලබා දෙන්න උත්සාහ කළා.

මේ කාලය වනවිට ඔහු දේවගේ නම් සංගීත ගුරුවරයා ‍වෙත සංගීතය ඉගෙන ගැනීමට ගිය අතර එතුමා එස්රාජයක් ද රුගෙන පුහුණුවට සම්බන්ධ වන ලෙස දැන්වීය. එතුමා ද ඒ වෙනුවෙන් ඔහුට උදව් කිරීමට ඉදිරිපත් විය. මේ අතර බී. වික්ටර් පෙරේරා ගුරුතුමා ගැන ද ඔහුට දැනගන්නට ලැබී තිබුණි. වාදනය, ඉගෙනීම පසෙකලා ගායනය ඉගෙනීම හොඳ යැයි සිතූ ඔහු එතුමා ළඟ අධ්‍යාපනය හැදෑරීම ආරම්භ කළේය. එය තම ජීවිතයට හිමි වූ විශාල භාග්‍යයක් බව ඔහු පවසයි. ශාස්ත්‍රීය පදනම තුළ සවිමත් අඩිතාලමක් මත දිගු ගමනක් යාමට ඔහුට ඉඩ සැලසුවේ එතුමාගේ ඉගැන්වීම බව නවරත්න ගමගේ මහතා පවසන්නේ හදවතින්මය.

නාට්‍ය සංගීතයට ඇළුම් කිරීමත් සමඟ ඔහු ඒ හා බැඳුණු බොහෝ දේ කියවන්නට, ඇසුරු කරන්නට විය. සිංහල ගැමි නාටකය කියවන විට ඔහුට නාඩගම් ගී පිළිබඳව දැඩි රුචියක් ඇතිවිය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළ B ශ්‍රේණියේ නාට්‍ය ගීත ගායකයකු ලෙස සමත් වූ ඔහු ටික කලකින් මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සෙවණට යොමු විය. දිනක් කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය පුහුණුවක් නැරඹීමට එන ලෙස ඔහුට දැනුම් දීමක් විය. එහිදී ඔහු ගීතයක් ගැයීමට ඉඩක් ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස භව කඩතුරාව නාට්‍යයට ඔහුට සම්බන්ධ වීමට ඉඩ ලැබුණි. ඉන් පසු මනමේ, සිංහබාහු, ලෝමහංස, පේමතෝ ජායතී සෝකෝ යනාදී නාට්‍යවලට පුහුණුවීම් සඳහා පැමිණෙන ලෙස සරච්චන්ද්‍රයන් ඔහුට දැනුම් දුන් අතර වසර හතක කාලයක් මහැදුරුතුමන් සෙවණේ ජීවිතය, කලාව ඉගෙන ගන්නට නවරත්න ගමගේට ඉඩ ලැබුණි.

ආචාර්ය නන්දා මාලනීගේ හමුවීමද තම ජීවිතයට ලැබුණු අනගි අවස්ථාවක් බව ඔහු සිහි කරයි. කීර්ති පැස්කුවල් නම් ප්‍රවීණ ගායන ශිල්පියා හරහා ඔහුට එම අවස්ථාව හිමිවිය. ගායනයට, වාදනයට කැමති මේ තරුණයාට අවස්ථාවක් දෙන ලෙස කීර්ති පැස්කුවල් ලියූ ලිපියක් රුගෙන නන්දා මාලනිය හමුවීමට ගිය ඔහුට හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සත්‍යයේ ගීතය නැරඹීමට අවස්ථාවක් ලැබුණි.

සවස 3.30 දර්ශනය රසවිඳින ලෙස ඔහුට නන්දා මාලනිය පැවසූ අතර එය අවසන් වූ පසු ඔහුට මහඟු අවස්ථාවක් උදා විය. සවස 6.30ට දර්ශනය ආරම්භ වන්නට පෙර යම් විවේක කාලයක් විය. එතැන රෝහණ වීරසිංහ, කලණි පෙරේරා, එච්.එම්. ජයවර්ධන, ඩී.ඩී. ගුණසේන, තිස්සසිරි පෙරේරා, සේන වීරසේකර යන දැවැන්තයන් පිරිසක්ම වූහ. මෙහිදී ඔහු නන්දා මාලනිය හමුවී තමන් ආ කාරණය පවසා මට 3.30 බලන්න කිව්වා..*යි යනුවෙන් පැවසූ විට නන්දා මාලනිය රෝහණ වීරසිංහයන් දෙසට හැරී මෙයාගේ කටහඬ බලමුකියා පැවසුවාය. රෝහණ වීරසිංහයන් සර්පිනාව වැයූ අතර පෙරදා මහ රූ මා සිහිලැල් උරමඬලේගීතය ද එහි සංගීත ඛණ්ඩ ද ඔහු ගායනා කළේය. වෙලාව සවස 6ට පමණ විය. හරි හරි.. ඔයාට පුළුවන් ලෑස්ති වෙන්න 6.30ටඒ නන්දා මාලනියගේ තෝරාගැනීම විය. සත්‍යයේ ගීතය ප්‍රසංගයේ වාර දෙසීයක පමණ ඔහු අත්වැල් ගායනයෙන් දායක විය. පසු කලෙක චිත්‍රපට හා ටෙලිනාට්‍ය වෙනුවෙන් නන්දා මාලනිය හට ඔහු ගීත ගණනාවක් නිර්මාණය කළේය. ඒ හමුවද තම නිර්මාණ ජීවිතයේ සුවිශේෂී කඩඉමක් බව පවසන ඔහු හදසර හා මේ කතාබහට එක්වන විටද සිටියේ ආචාර්ය නන්දා මාලනියන් සමඟ ගීත පටිගත කිරීමක යෙදෙමිනි. සම්මානනීය සංගීතවේදියකු වන නවරත්න ගමගේ වේදිකාවේ දැවැන්ත නිර්මාණ රුසකටම තම සංගීත නිර්මාණ දායකත්වය ලබාදුන් සංගීතඥයෙකි. ආර්.ආර්. සමරකෝන්ගේ කපුටුවෝ, ජයලත් මනෝරත්නයන්ගේ ලෝකය තනි යායක්, කනේරු මල් ආදී නිර්මාණ ඒ අතර වේ. ජාත්‍යන්තර සම්මාන දිනූ ඉනෝකා සත්‍යාංගනීගේ සුළං කිරිල්ලී, කඳපොළ කුමාරතුංගගේ අම්මාවරුනේ, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ උප්පලවණ්නා වැනි චිත්‍රපට සේම සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ ආදරණීය වස්සානය ආදී සිනමා නිර්මාණ ද ඔහුගේ සංගීත චාරිකාව තුළ අප දුටු අපූරු නිර්මාණය. සුදත් රෝහණගේ ස්වයංජාත, අශෝක හඳගමගේ සින්තටික් සිහින සේම, සඳගලතැන්න, කටුඉඹුල, රෝද හතරේ මනමාලයා ආදී ටෙලිනාට්‍ය විශාල සංඛ්‍යාවක සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ද නවරත්න ගමගේය.

1994 දී හොඳම වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන දිනාගත් නවරත්න ගමගේ ඉන් පසු සුමති, රයිගම්, රෑපවාහිනී රාජ්‍ය සම්මාන මෙන්ම සරසවිය, සිග්නික් වැනි සිනමා සම්මාන උළෙලවලදී තම සංගීතමය හැකියාවන් වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. එමෙන්ම 2007 වසරේදී කලාවේ උන්නතිය වෙනුවෙන් කළ කැපකිරීම් වෙනුවෙන් ඔහු බුන්කා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

මෙරට බොහෝ ගායක ගායිකාවන්ට නිර්ලෝභීව තම අතහිත ලබාදෙන නවරත්න ගමගේ නවා ලෙසින් ක්ෂේත්‍රයේ කාගේත් ආදරය දිනූ සංගීතවේදියෙකි. ප්‍රීති ජයසේකර සමඟ විවාහ වූ ඔහුට මුදිත හා මාධව නමින් පුතුන් දෙදෙනෙකි.

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් ඉටු කරන සොඳුරු නිර්මාණවේදියකු වන නවරත්න ගමගේ මහතාට තම සහජ සංගීත කුසලතාව තුළින් තවත් දශක ගණනාවක් අප සවන් පිනවීමට හැකියාව ලැබේවා යැයි හදසර අප සුබ පැතුම් එක් කරනුයේ සැබෑම සෙනෙහසිනි.  

► මොනිකා සේරසිංහ

සේයාරූ - සුමුදු හේවාපතිරණ