2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

ඒ් ගීතය ගයද්දි වැදි රජුටත් ඇඬුණා...

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 153

නියඟෙක දැවෙන කුඹුරකි මම බොල් වූව
පෙමකය බාල විය පා දීගෙක ආව
චිතකය දැවී අළු වූවත් ඇස් ගාව
මතකය මගේ සුවඳයි ඔය හිත් ලෑව

බැද්ද කොටා ගිනි ලෑ දැලි හේන්වල
පුසුඹ දුන්න කුරහන් මල සේම නුඹ
සද්දන්තයන් බිඳගෙන එන කැලෑවල
දමනය කරන මත්තරයක් වුණේ නුඹ

නුඹ නෑ යකුන් හා එක්වූ මුඩුම දින
සිහිකර අදත් අටපිරිකර පුදමි මම
අගමෙහෙසිය නොවී මතු යම් දිනෙක නුඹ
නිවනට බණක් දෙසපන් මේ සසර ඉම

දඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ ඌරුවරියගේ හීන්මැණිකා කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය දිනක මිය ගියාය. මෙම මියයාමත් සමඟ ඇය කෙරෙහි වන්නිල ඇත්තන්ගේ සිත තුළ ඇතිවූ ප්‍රේමය හා ඒ විරහව පිළිබඳ ලියැවුණු අපූරු ගීතයක් පසුගියදා ඌරුවරිගයේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් දඹානේදී එළිදැක්වීය. එය “නියඟෙක දැවෙන කුඹුරකි මම” ලෙසින් නම් කර තිබේ. මෙම ගිතය පදරචනා කොට ඇත්තේ ඉන්ද්‍රානි කාන්ති මහත්මිය වන අතර ගී තනු සහ සංගීතය නාලක අංජන කුමාරගෙනි. සුරංජන් මහේෂ් අබේසිංහ ගීතයට ගායනයෙන් දායක වන අතර ප්‍රථම වරට වන්නිල ඇත්තන් මෙම ගීතය තම ගම් පියසේදී අසා සිටියේ දෑස්වල කඳුළු පුරවාගෙනය.

“මම මගේ මුහුණුපොත හරහා නිතරම කවි ලියනවා. හීන්මැණිකාගේ මරණය පිළිබඳව රූපවාහිනියෙන් පෙන්නුවා. වන්නිල ඇත්තෝ මෘත ශරීරාගාරයේ ඇතුළේ ඉඳන් තම ආදරණීය බිරිඳගේ දේහය දැකලා දුක්මුසු මුහුණින් එළියට එන දර්ශනය මගේ සිත දැඩි ලෙස කම්පා කළා. එදා මට පුදුම දුකක් ඇතිවුණා. ඒ දෙන්නා කොච්චර ආදරෙන් ඉන්න ඇතිද කියලා මට සිතුණා. ඒක පුදුමාකාර වේදනාවක්. ඇය වනයේ රැජන. ආදිවාසීන් කියන්නෙ මේ රටේ මුල් අයිතිකරුවන්. එහෙව් ඉතිහාසයක් සහ උරුමයක් ඇති ආදිවාසීන් මෙහෙම ඉන්න ඕන පිරිසක්දැයි මට සිතුණා. ඒ හැමදේම මට සිතුණා. ඒ ඔස්සේ මට මේ ගැන කවියක් ලියන්න සිතුණා.” යැයි ඒ ගී පද ලියූ ඉන්ද්‍රානි කාන්ති මහත්මිය දේශයට පැවසුවාය.

ඇය හීන්මැණිකා ගැන කවියක් ලියන්න පටන් ගත්තාය. පද පේළි හතරකට සීමාකොට ලිවීමට සිතා ඇරඹූ කවිය ලියා හමාර කරන්නට බැරි තරමට සිතේ ඇතිවුණු වේදනාකාරී සිතුවිල්ලෙන් ඇය ලියාගෙන ගියාය. එය කවියකට සීමා වූයේ නැත. විනාඩි කිහිපයක් ඇතුළත වන්නිල ඇත්තන්ගේ සිතේ තම වියෝවට පත් බිරිඳ කෙරෙහි ඇතිවුණු ප්‍රේමය, වේදනාකාරී වෙන්වීම පිළිබඳව වූ පද පෙළක් එම සුදු කොළයේ ලියැවිණි. එය කවියකට සීමා නොවීය.

“මම පුත්තලමේ කෙනෙක්. මම ජීවත් වූයේ අතිශය දුෂ්කර පරිසරයක. කුඹුරු කොටලා ජීවත් වන මිනිසුන්ගේ සිරුරු අව්වට වේළිලා. පුත්තලම අහස යට ඉපදුණු මට මහියංගණයේ අහස යට ජීවත් වුණු මිනිසුන්ගේ දුක ගැන ඇත්තටම අමුතුවෙන් පරීක්ෂණ කරලා හොයන්න දෙයක් තිබුණේ නැහැ. අපි එකම අහස යට ඉන්න මිනිස්සු. ඔවුන්ගේ දුක මට හොඳට දැනෙනවා. ඒ හැම දෙයක් එක්කම කවියක් ලියන්න හදපු මට කවි පෙළක් ලියැවුණා. මේ නිසාම මේ ලියවුණු දේ ගීතයක් කරන්න මට ඕන වුණා. ඒ වෙනුවෙන් නාලක අංජන කුමාර සර් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඔහු ඉතා දක්ෂ සංගීතවේදියෙක්. මම ලියපු කවිය ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකර ඔහු අපූරු ගීතයකට ගී තනු සහ සංගීතය කරලා දුන්නා. නාලක සර් මගෙන් මුදලක්වත් නොගෙන මේ පද පේළියට අපූරු ගීතයක් බවට පත් කළා.” ඉන්ද්‍රානි කාන්ති මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

තමන් අතින් ලියැවුණු පද පේළියට තම මුහුණුපොත හා සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්ද්‍රානිට බොහෝ පැසසුම් ලැබුණි. එම ප්‍රතිචාර ද සමඟ මෙය ගීතයක් බවට පරිවර්තනය කිරීමට ඇය අදිටන් කර ගත්තාය. මෙම ගීතය ගායනා කරන්නේ සුරංජන් මහේෂ් අබේසිංහයි. ඉන්ද්‍රානිගේ ඥාති පුතකු ද වන සුරංජන් මෙම ගීතයට සාධාරණයක් කර ඇතැයි ඔහුගේ ගායනය මනාව කියා පායි. පුත්තලම ප්‍රදේශයේ ජීවත් වන සුරංජන්ට සංගීතය පිළිබඳ හැකියාවක් පැවතියද අවස්ථාවක් නොලැබිණි. එහෙත් කවදා හෝ තම සහෝදරියගේ පුතණුවන්ගේ කටහඬින් ගීතයක් ඇසීමේ ආසාවක් ඉන්ද්‍රානිට තිබිණි. මේ පලදැරුවේ එම බලාපොරොත්තුවයි.

පසුගිය දිනෙක ඉන්ද්‍රානි ඇතුළු පිරිස දඹාන ගම් පියසේ ජීවත් වන ඌරුවරිගයේ වන්නිල ඇත්තන්ට මෙම ගීතය ඇතුළත් සී.ඩී. පටය පිළිගන්වා ගීතය ප්‍රථම වතාවට ජනගත කළෝය. ගීතය මුල්ම වරට අසද්දී වන්නිල ඇත්තන්ගේ දෑස්වල කඳුළු පිරී තිබුණි. ඔහුට තම ආදරණීය හීන්මැණිකාව මතකයට නැගුණි. ජීවත් වන්නට, ආදිවාසීන් සමඟ තම පරපුර රැකගැනීමට අනේකවිධ මහන්සියක කැපවීමක යෙදෙන තමාගේ සවියට හීන්මැණිකා අද ඔහු ළඟ නැත.

“අද වෙනකොටත් මගේ පපුව ගිනි ගන්නවා වගේ පත්තු වෙනවා. මම ඒ වෙලාවේ නායකයා හැටියට හිත ගලක් වගේ තද කරගෙන පාලනය කරගෙන තමයි ජීවත් වුණේ. අදටත් එහෙමයි. මගේ බිරිඳ සැප්තැම්බර් මාසේ හතරවැනිදා රෑ 7.20ට මියයන විට මේ රටේ විශාල පිරිසක් මට කතා කළා. ලෝකය පුරා විශාල පිරිසක් මට කතා කළා. ඒ දුක ඒ අයත් බෙදාගත්තා. මට පුදුමත් හිතෙනවා. මගේ බිරිඳ ජීවත්වෙලා හිටපු කාලයේ වැඩිය සමාජයට ගිහින් වැඩිය මිනිසුන් එක්ක කතාබහ කරපු, හිනා වුණු කෙනෙක් නෙමෙයි. ඇය පාඩුවේ ජීවත් වුණා. මගේ ඉතා සමීප කෙනකුට පමණයි ඇයගේ ඡායාරූපයක් හරි ගන්න අවසරය ලැබුණේ. ඇය මියගිය පසුවයි මට තේරුණේ ඇය පිළිබඳව මේ රටේ මිනිස්සු, මේ ලෝකයේ මිනිස්සු කොච්චර නම් විමසිල්ලෙන් සිටියාද කියලා. රටේ බොහෝ දෙනා ඇය වෙනුවෙන් දාන දී පින් අනුමෝදන් කළා. අපේ පරම්පරාවේ නායකයා හැටියට මට මිනිසුන් දක්වන ගරු කිරීම ඇයටත් දැක්වුවා කියලා මට හිතෙනවා. ඒ වගේම මගේ පරම්පරාවේ මගේ බිරිඳ මියයන්නට පෙර මගේ අම්මා, මගේ තාත්තා මියගියා. මගේ පියා මියගිය අවස්ථාවේදී දින හතරට ලක්ෂ හතරක් පමණ දේහයට ගෞරව කරන්න, දැකබලා ගන්න මේ ගම්මානයට පැමිණියා. අම්මා මියගිය අවස්ථාවේත් පැමිණියා. හැබැයි මේ වගේ සිද්ධියක් නම් වුණේ නැහැ. මගේ පියා තිසාහාමිලා ඇත්තෝ ලෝකප්‍රකට නායකයෙක්. මගේ පියා නැතිවුණාට පසුව කවුරුත් යළි එතුමා මතක් කරන්න, දාන දෙන්න, පින් අනුමෝදන් කරන්න කටයුතු කළේ නැහැ. හැබැයි මගේ බිරිඳ මියගිය ගියාට පසුවත් මේ රටේ බොහෝ දෙනා අදටත් ඇය වෙනුවෙන් පින් අනුමෝදන් කරනවා.” යැයි විශ්වකීර්ති වනස්පති ආදිවාසී නායක වන්නිල ඇත්තෝ මෙම ගීතය අසා අවසානයේ සඳහන් කළේය.

I දිශානි ජයමාලි
සේයාරූ I අන්තර්ජාලයෙන්