2022 ජනවාරි 29 වන සෙනසුරාදා

මහර - වැලිකඩ හිරේ තපින්නත් මට සිද්ධ වුණා

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:02 178

- දිමංක වෙල්ලාලගේ

වෙරළ අයිනේ කෙළිදෙළෙන් කල් ගෙවන කුඩා කොළුවන් රංචුවකි. වෙරළට එන රළ පෙළ සමඟ පොර බදමින් සිනහවෙන් කල් ගෙවන මේ කොළු රුළේ සිටි එක් කොළු ගැටයෙකුයි අද අපේ කථා නායකයා. එක් ගීතයකින්ම ඉතා කෙටි කලකින් රටම හඳුනන ගායකයකු බවට පත් වූ ඔහු නමින් දිමංක වෙල්ලාලගේ.

මවත් පියාත් තම බාල සොහොයුරාත් සමඟ හික්කඩුව ප්‍රදේශයේ ජීවත් වූ දිමංකට කුඩා කලදී යහළුවන් විශාල පිරිසක් සිටියා. වෙරළබඩ පරිසරයක ජීවත් වූ නිරන්තරයෙන් විනෝද සාද යහළුවන් ඇසුර සමඟ සිටි දිමංක වයස අවුරුදු 18ක් පමණ වනතෙක්ම තම ජීවිතය පිළිබඳව එතරම් සිහින දුටුව අයෙකු වූයේ නැහැ. යුද හමුදාවේ සරඹ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඔහුගේ පියාත්, නිවෙසේ රැඳෙමින් දරුවන් රැක බලාගත් මවත්, තම එකම බාල සොහොයුරාත් සමඟ කුඩා කාලය සතුටින් ගත කරන්නට දිමංකට හැකි වූවා. හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඔහු පාසලේ සංගීතයට, ගායනයට දක්ෂතා දැක්වූවා. “මම සාමාන්‍යයෙන් පාසලේ ගණන් කාරයෙක් නෙවෙයි. ගණිතය හැර අනෙකුත් සියලු විෂයයන්ට මම ආසාවෙන් සම්බන්ධ වුණා. පාඩම් කරන වැඩවලදී පාඩම් කර හොඳින් මතක තබාගන්න මට හැකිවුණා. ඒ වගේම පාසලේ ගායනා තරගවලටත් මම සම්බන්ධ වුණා.“ ඔහු පාසල් කාලය සිහිපත් කරයි.

“ඇත්තටම කිව්වොත් මට අනාගතය ගැන ලොකු සැලසුම් බලාපොරොත්තු තිබුණෙත් නැහැ. මම ක්‍රිස්තියානි පසුබිමක කෙනෙක්. අපි කොහොමත් යාළුවෝ ටික නිතරම සාදවලට සම්බන්ධ වෙවී හරිම සැහැල්ලුවෙන් සිටියේ. හැබැයි වයස අවුරුදු 18ක් විතර වනවිට ජීවිතය කුමක්ද, කළයුතු කුමක්ද කියන දේවල් මට වැටහෙමින් තිබුණා.”

දිමංක තම 18 වැනි වියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වුණා. තලාතුඔය ශිල්ප සහ සාම්පූර්හි පැරකුම්භා යන නාවික පුහුණු කඳවුරුවලදී තම පුහුණුව ලැබූ ඔහු පුහුණුව නිමාකරන්නේ විශිෂ්ඨතම ආධුනික නැවියා ලෙස ඉතා දැඩි කැප කිරීමකින්. ලද එම පුහුණුව තුළ ඔහු ජීවිතයට එක්කරගත් දේ බොහෝය. එහෙම් පුහුණුව අවසන ට්‍රම්පට් ලෙස නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමේ සේවය කළ ඔහු ටික කලකින් ඉන් ඉවත් වන්නට තීරණය කරනවා.

“කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ තරම් කැපවීමෙන් හොඳ පුහුණුවක් ලබලා විශිෂ්ට සෙබළා හැටියට සේවයට එක්වෙලා ඇයි සේවයෙන් ඉවත් වෙන්නෙ කියලා. අනිත් අතට මගේ තීරණවලට වෙන කාගෙන්වත් උපදෙස් ලැබෙනවාට මම කැමැති වුණෙත් නැහැ. මට සේවයෙන් ඉවත්වෙන්න ඕන කියලා හිතුණා. මම ඉවත් වුණා. හැබැයි ටික කලකදී මම ආයෙත් නාවික හමුදාව සමඟ එක්වෙනවා. මගේ දෙමව්පියන්, හිතවතුන් ගොඩක් අය එතැනදී සතුටුවෙන්න ඇති. ඒත් ඒ සතුට එයාලට එතරම් කාලයක් විඳින්න් ලැබුණේ නැහැ. මොකද මම ආයෙමත් නාවික හමුදාවෙන් ඉවත් වුණා. හේතුව තමයි මේ වනවිටත් මම කලාවට සංගීතයට එක්වන වගට තීරණයකට එළඹ සිටීම.” දිමංක ඉතා සැහැල්ලුවෙන් අතීත මතක සිහි කරයි.

නාවික හමුදාවෙන් නොපැමිණි නාවිකයෙකු හෝ ඉවත්වූ පළමු අවස්ථාවේ සේම දෙවැනි අවස්ථාවේදීද ජීවිතය පිළිබඳ වඩා නිවැරදි ලෙස හඳුනාගැනීමට හැකිවූ බව ඔහු කියයි. “පුදුම දුෂ්කර කාලයක්. මම පෞද්ගලික සමාගමක ආරක්ෂක නිලධාරියකු ලෙස වසර එකහමාරක් විතර සේවය කළා. ජීවිතේ තරුණ කාලය කියන්නෙ හොඳට කාලා බීල ඉන්න ඕන කාලයක්නේ. ඒ කාලේ ඉතින් පාන් ගෙඩියක් දෙකක් කන්න ඕන. ඒත් මට උදේට හම්බවුණේ පාන් කාලයි පරිප්පු හොදියි. පුදුම විදියේ දුක් කරදරවලට මට මුහුණ දෙන්න වුණා. ඒත් ඒ මම ගත්ත තීරණය නිසා ඒවා මම ලොකු ඉවසීමකින් දරාගත්තා. ඒ වගේම දෙවැනි වතාවේ නතර වුණාම නැවත මට නාවික හමුදාවට බාරවෙන්න සිද්ධ වුණා. ඒ වතාවේ මට බන්ධනාගාරගත වෙන්න පවා සිදුවුණා. මහර සහ වැලිකඩ බන්ධනාගාරවල තමයි මම හිටියේ. එතැනදී මේ ලෝකයේ තවත් එක් සමාජ කොටසක් ගැන මට තේරුම් ගන්න පුළුවන් වුණා. ඇත්තටම මම ජීවිතය. යථාර්ථය මිනිසුන් ගැන බොහෝ දේ එහිදී දැනගත්තා. මේ සියලුම වේදනාත්මක කාලයන්හිදී මගේ ජීවිතයට ආදරය සෙනෙහස නොඅඩුව ලබාදුන්න මගේ චින්තියා හැමවෙලාවෙම මුළු හදවතින්ම මගේ ළඟ හිටියා. ඔයාට පුළුවන්, අපි අලුත් ගමනක් යමු කියලා එයා මාව දිරිමත් කළා. ඒ වගේම මගේ පවුලේ අය. එයාලාගේ ආදරය නිසා මම ආයෙ ඉපදුණා.” 

තම ආදරණීය බිරිඳ, එකල පෙම්වතිය පිළිබඳවත් පවුල පිළිබඳවත් දැඩි සෙනෙහසකින් දිමංක කියයි. සැබෑ ආදරයකට කෙනෙකුගේ ජීවිතය ලස්සන කරන්නට, දිනවන්නට කොයිතරම් හැකියාවක් ඇත්දැයි අද වනවිට දිමංක දෙස බැලූ විට පෙනී යයි.
එම කාලය වනවිට ඔහු ඉතා සීරුවෙන් තම සංගීත චාරිකාව අරඹන්නට උත්සාහ කරමින් සිටියේය. ඔහුගේ සංගීත ලෝකයේ මඟ පෙන්වන්නා වූයේ අප රටේ මෙන්ම ජාත්‍යන්තරයේද නිර්මාණ රුසක් කළ ප්‍රවීණ සංගීතවේදී රාජ් තිල්ලියම්පල විය. සජිත් වී. චතුරංග විසින් රචනාකොට රාජ් සංගීත නිර්මාණය කළ “නිදුකින් ඉනු මැන” ගීතය මෙරට සංගීත රසකාමීන් අතර එක රැයකින් ජනප්‍රිය විය. ඔහුට එම ආරම්භය සැබෑම වාසනාවක් විය. එතැන් පටන් මෙරට ප්‍රසංග වේදිකාව සඳහා ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් සඳහා හා දිමංක වෙත ආරාධනා ගලා එන්නට විය.

“මගේ ජීවිතය අද යම් සාර්ථකත්වයක් ලබා තියෙනවාද? ඒ සියල්ලට ළංවන්නට මට මඟ පෙන්වූවන් අතර රාජ් අයියා ඉදිරියෙන්ම ඉන්නවා. හරිම හිත හොඳ මිනිසෙක්. ඒ වගේම මගේ චින්තියා, අම්මා, තාත්තා, සහෝදරයා ඒ අයට මම හදවතින්ම ස්තූතිවන්ත වනවා.” දිමංක පවසන්නේ අතීතය ඉතා හොඳින්ම මතකයේ තබාගෙනය. ඕනෑම ක්ෂේත්‍රයක ස්ථාපිතව ඉදිරියට යන්නට එම ගුණය ඕනෑ කෙනෙකුට කොතරම් නම් ඉවහල් වන්නේද?

ජනප්‍රියත්වය සමඟ ඔහු වෙත බොහෝ දේ හිමිවිය. එකල ඔහුට ඔහුව අහිමිවූ වග ඔහු අදටත් සිහි කරන්නේ වේදනාවෙනි. ඒ සමඟ ජීවිතයේ වඩාත් සුවිශේෂ වූ පුද්ගලයා වූ ආදරණීය බිරිඳගේ සිතට දැඩි වේදනාවක් හිමිකර දුන් එම කාලය ගැන තමන් අද වනවිට හොඳින්ම තේරුම් ගත් වග ඔහු පවසයි. ජනප්‍රියත්වය හා මුදල් සමඟ ඔහුට ළංවූ විවිධ සම්බන්ධතාවයන් නිසාවෙන් තම බිරිඳ හා පවුල නොසලකා හරිමින් ඔවුන්ට දුක් වේදනා හිමිකරදීම තරම් වෙනත් වරදක් නොවන බවයි ඔහු කියන්නේ. ජීවිතයත් සාර්ථකත්වයට ගෙනයාම සේම විනාශ කර දැමීම සඳහා ජනප්‍රියත්වය හේතුවිය හැකිබව තේරුම්ගත් තමන් ඒ සියල්ලෙන් ඈත්ව සිය බිරිඳ හා කුඩා දියණිය සමඟ ජීවිතය ගෙවන වග කියන්නේ සතුටිනි. වැරදීම් නොවීම සිදු නොවන්නකි. අප කවුරු අතිනුත් දැන හෝ නොදැන වැරදි සිදුවිය හැක. එහෙත් වඩාත් වැදගත් වන්නේ වරද තේරුම් ගත් සැණින් එය නිවැරදි කිරීමය. නැතිනම් සමාව ඉල්ලීමය. එමෙන්ම යළි එවන් වරදක් සිදු නොවීමට වග බලා ගැනීමය. එවිට අපට මෙන්ම අපගේ ආදර්ණීයයන්ටද සතුටින් ජීවත්වීමට ඉඩ ලබාගත හැකිය.

දිමංක වෙල්ලාලගේ යනු වත්මන් ගායන ශිල්පීන් අතර තම නාමය ජනප්‍රියත්වයේ ඉහළටම රැගෙන ගිය ගායන ශිල්පියෙකි. එහෙත් ඔහු එයින් තම අතීතය අමතක නොකර තමනට මඟ පෙන්වූවන්ට කෘතවේදී වෙමින් තම ගමන යන්නෙකි. තව තවත් හරවත් ගී නිර්මාණ ජනගත කරන්නට ඔහුට ඉඩ ලැබේවා කියා හදසර අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙතෙක් ආ ගමන තුළ ලබාගත් අත්දැකීම් සමඟ හෙට කලා ලෝකයට එළඹෙන අය වෙනුවෙන් කළ හැකි හොඳම ප්‍රකාශය කුමක්දැයි ඇසූ විට ඔහු දුන්නේ කදිම පිළිතුරකි. “අඩුවෙන් කතා කරන්න. වැඩියෙන් වැඩ කරන්න” යනුවෙනි. එය කලා ක්ෂේත්‍රය තුළ පමණක් නොව සමස්ත සමාජය තුළම ක්‍රියාත්මක විය යුතු දෙයකි. එවිට අපේ රටේ හෙට දවසද යහපත් කර ගැනීමට අපට හැකිවනු ඇත. දිමංක යනු කිතුණු බැතිමතෙකි. ජේසුස් වහන්සේගේ ජීවන දර්ශනය තම ජීවිතයට ඉතා මැනවින් මඟ පෙන්වන වග ඔහු කියයි. ඉවසීම, කරුණාව යනාදී ගුණ දහම් සමඟ මොලොව ඕනෑම කෙනෙකුට තම ජීවිතය හැඩගස්වා ගැනීමෙන් ලද හැකි වටිනාකම් ඉතා ඉහළ වග ඔහු නිරන්තරයෙන් පවසයි. වසර කිහිපයක් තුළ ආ මේ ගමන තුළ තමා ඉතා සතුටින් වග ඔහු පවසයි.

හික්කඩුවේ සිට නාවික හමුදාවේ පුහුණුවට තාත්තා සමඟ ගිය දිමංක එකල ජීවිතය ගැන කිසිදු පැහැදිලි අවබෝධයක් නොතිබූ තරුණයෙකි. එදා තාත්තා තමා පුහුණුවට භාරදී ආපසු යනවිට ජීවිතයේ අරුත ඔහුට මනාව වැටහුණු බවයි දිමංක පවසන්නේ. වසර 18ක් තමා රැක බලාගත් තාත්තා සය මාසික පුහුණුවකට තමන් ඇතුළත් කොට ආපසු යනවිට ඉතා දැඩි වේදනාවක් ඇතිවූ තමන්ට මෙතෙක් කල් තමා ජීවිතයේ කළේ කුමක්දැයි සිතෙන්නට පටන්ගෙන ඇත. එතුළින් ඔහු තමන් යා යුතු අරමුණ, ඉලක්ක පිළිබඳව තේරුම් ගැනීම ඇරඹීය. වැටෙමින්, නැඟිටිමින් යන මේ ගමන තුළ ලද සියල්ලට ආදරයෙන් සතුටින් කතා කරන දිමංක වෙල්ලාලගේ හෙට දවස තවත් සුන්දර කරගන්නට හැකිවේවායි අප ප්‍රාර්ථනා කරමු.

 මොනිකා සේරසිංහ

සේයාරූ I අන්තර්ජාලයෙන්