2022 ජනවාරි 29 වන සෙනසුරාදා

ජීවිතය අත්නොහැර ප්‍රශ්නය අපට කියන්න...

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 1499

අපායක ඉපදුණු මට පිරිමි එපා

මගේ පවුලේ මායි අක්කායි විතරයි හිටියේ. අම්මයි තාත්තායි දෙන්නම ගෙදරින් ගියාට පස්සේ අපේ ජීවිතේ ගිනි ගොඩක් වුණා. අක්කාට කරන්න පුළුවන් හැමදේම අක්කා මට කළා. ළඟට අරන් ජීවිතේ ගැන කියාදෙන්න මට කවුරුත් ඉඳලා නෑ. අට වසරේදී මා වැඩිවියට පත් වෙන්නේ ගුරුවරුත්  දැනගෙනයි.  වුණේ මොකක්ද කියලා නොදන්න මට එදා ගොඩක් ඇඬුණා. මගේ තනිය නැති කරන්න මට අවුරුදු 19දී අක්කා බැඳලා අපේ ගෙදර නතර වුණා. කසාද බැන්ද අක්කාටවත් ගේ ඇතුළේ ළමිස්සියක් ඉන්නවා කියලා ටිකෙන් ටික අමතක වුණා. බැඳලා වැඩිකල් යන්න කලින් අක්කාගෙ පවුලත් ගිනි ගොඩක් වුණා. පෝසත් වැදගත් කියලා හිතාගෙන බැන්දාට පුස් හට්ටියක් කියලා ටිකෙන් ටික තේරුම් යද්දී අක්කාට වඩා හොඳ ජීවිතයක් මට ලැබෙයි කියලා එක වහලෙ යට ඉඳන් මට එයා වෛර කරන්න ගත්තා. මොන දේ වුණත් අක්කා ඉන්නවානෙ කියලා හිතාගෙන හිටපු මට අක්කාත් නැතිවේගන යනවා කියලා දැනෙද්දී මට මේ ජීවිතේ එපා වුණා. ගෙදර හැමෝගෙන්ම මම සමච්චලයට ලක් වෙද්දී අක්කාගෙ මනුස්සයා සැරින් සැරේ දොර රෙද්දෙන් බලන්න ගත්තා. ඒ මනුස්සයාගේ අණසකට මාව යටත් කරගන්න හදද්දී මට පිරිමි එපා වුණා. මගේ ආරක්ෂාව මට සැනසීමක් වෙයි කියලා මම ගෙදරින් පිටවෙලා ටික දවසකට යාළුවකුගෙ ගෙදර ගියා. මට ආයෙ ගෙදර යන්න බෑ. හැමදාම  මෙහෙ ඉන්නත් බෑ. මට මේ අපායෙන් ගොඩ එන්න විසඳුමක් දෙන්න.

නදීෂා - සියඹලාණ්ඩුව 

පිළිතුර

පුද්ගලයාගෙන් පුද්ගලයාට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න වෙනස්. ඔබට ජීවිතයේ ගැටලු සහ අභියෝග රාශියක් ඇති බව පෙනෙනවා. එම අභියෝග ශක්තිමත්ව සහ බුද්ධිමත්ව මුහුණදිය යුතුයි. මවුපිය සෙනෙහස නොමැතිව අභියෝගයන්ට මුහුණ දෙමින් ඔබ මෙතෙක් ආ ගමන පිළිබඳ සතුටු ‍වෙන්න. ඔබ වැඩිදුරටත් අධ්‍යාපනය හදාරනවාද යන්න මෙහි සඳහන්ව නොමැති බැවින් එසේ නොවන්නේ නම් වෘත්තීය පුහුණුවකට හෝ රැකියාවක් සඳහා යොමුවන්න. නේවාසිකව සිට කළහැකි රැකියාවක් සඳහා විශ්සනීය මාර්ගයක් හරහා යොමුවීමට හැකි නම් එය වඩාත් සුදුසු වනු ඇත. ඔබ දැනුම් තේරුම් ඇති වයසක සිටින බැවින් තමාගේ ආරක්ෂාව සහ ගෞරවය සම්බන්ධයෙන් සැලකිලිමත් ‍වෙන්න. ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ඉලක්ක ගොඩනගා ගනිමින්  දුක් පීඩන අමතක කර ශක්තිමත් දියණියක් ලෙස කටයුතු කරන්න.

රස්සාවක් කරන්න බයයි

මට වයස අවුරුදු 24යි. උසස්පෙළ විභාගය දක්වා මා අධ්‍යාපනය හදාරා තියෙනවා. අපේ ගෙදර ඉන්නේ අම්මායි, තාත්තායි නංගිලා දෙන්නයි මමයි. ලොකු නංගි පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. මං තවමත් රැකියාවක් කරන්නේ නැහැ. ඒකට හේතුව මට රැකියාවකට යන්න බයයි. තවමත් මට රැකියාවක් ගැන අත්දැකීමක් නැහැ. ලොකු නංගීත් රැකියාවක් කරන නිසා මම ගෙදරටවෙලා තාත්තාගෙන් කකා බිබී ඉන්නවා කියලා මවුපියෝත් නෑදෑයොත් මට එක එක කතා කියනවා. මේ වෙද්දි මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. මට රැකියාවකට යන්න වුවමනාව තිබුණත් ඒ දේට මම හරි බයයි. රැකියා අවස්ථා කිහිපයක්ම ලැබුණත් මම මොකක්හරි හේතුවක් කියලා ඒ එකකටවත් ගියේ නැහැ. ගෙදරින් හැමතිස්සේම බනින නිසා දවල් වරුවම මම යාළුවෝ එක්ක කාලය ගතකරන්න දැන් පුරුදුවෙලා ඉන්නවා. රැකියාවක් කරන්න තියෙන බය නිසා මගේ අනාගතය ගැනත් මට වෙලාවකට බය හිතෙනවා. මට මෙයට විසඳුමක් දෙන්න. 

සඳුන් - රාගම

පිළිතුර

රැකියාවක් කිරීම නිසි වයසට එඹීමත් සමඟ ඕනෑම අයකුට පොදු සාමාන්‍ය දෙයක්.ඔබ අවුරුදු 24ක තරුණයෙක්. ඔබත් අන් අය සේ එම සාමාන්‍ය අවස්ථාවට මුහුණ දීමට මනස සකස් කරගත යුතු වෙනවා. තරුණ වියේ සිටින ඔබ වැනි කෙනකුගෙන්  මවුපියන් ඇතුළු සමාජය එය බලාපොරොත්තු වෙනවා. ජීවිතයේ ඔබ මුහුණ දුන් අනෙකුත් සතුටුදායක අවස්ථා සේම එම අවස්ථාවත් ජීවිතයේ නව ඇරඹුමක් සේ සලකා එයට සතුටෙන් මුහුණ දීමට වගේම ඒ හරහා ඔබේ ජීවිතයට නවතාවක් ලබාදීමට අධිෂ්ඨානයෙන් සූදානම් ‍ෙවන්න. රැකියාවක් නොකිරීමෙන් ඔබට ලැබී ඇති පීඩනය අවාසිය ඔබ දන්නවා. රැකියාවක් කිරීමෙන් ලැබෙන වාසිදායක තත්ත්ව සමාජ පිළිගැනීම සම්බන්ධව සිතන්න. රැකියාවකට යාම සෑම තරුණයකුටම අවශ්‍ය සාමාන්‍ය ජීවන සිදුවීමක් සේ සලකා සතුටින් එම අවස්ථාවට මුහුණ දීමට සූදානම් වන්න. තවදුරටත් ඔබට තනිව මෙම ගැටලුව විසඳාගත නොහැකිනම් මනෝවිද්‍යා උපදේශනයේ සහාය ලබාගත හැකිය.

(මෙහි කතාවල එන නම් ගම් මන‍ඃකල්පිත බව සලකන්න.) 

 

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රැකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 
‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන