2022 ජනවාරි 22 වන සෙනසුරාදා

වැහි ඔරුවෙන් අතීතයට ආච්චිගේ මතක ළඟට...

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 114

වැස්ස, රාත්‍රිය හිරිකඩ මතක මාවතේ දුර ගමනක් යන්න මට අත වැනුවා. ඉස්තෝපුවට  මම ඇවිදගෙන ආවේ ඉබේටම වගේ. පුටුවේ දිග ඇදුණාම පපුවට හීනියට දැනුණු සීතල හිරකඩ පාර ම්ම්ම්.. පපුවේ වම් පැත්තේ ඇතුළටම දැනෙනවා. වැස්ස ගැන අමුතුවෙන් මොකටද කවි ලියන්නේ.. වැස්සම කවියක්නේ.. මම පොඩ්ඩක් ඇස් දෙක වහගත්තා. එකම තාලයක් වැස්සට තියෙන්නේ. ඒත් ගස්වලට වැහි බින්දු වැටෙද්දී, පොළොවට වැහි බින්දු වැටෙද්දී, හැමදේටම වඩා වහළයට වැහි බින්දු වැටෙද්දී එක එක ශබ්ද ඇහෙනවා. හරියට එකම සින්දුවක් කටහඬවල් ගොඩකින් කියනවා වගේ. 

වැස්සක් එක්ක හිමිහිට හමන හීතල සුළඟට තියෙන්නේ අමුතුම ආත්මයක්. මට ඒක දැනුණේ පුංචි සුලං කැරැල්ලක් මගේ කකුල් දෙකේ එතෙද්දී... ටක්ගාලා කකුල් දෙක මම පුටුව උඩට ගත්තා. ඒ සුළඟට මගේ අකමැත්තක් නෑ. ආසයි.. ලෝබයි. ඒත්, අනේ මන්දා මම දැන් පුටුව උඩ බක තපස් ඉරියව්වේන්. ඇස් දෙක ඇරලා බැලුවාම අහස දිහා මේ වරුසාවේ මෙච්චර එළියක් මේ අහසට කොහෙන්ද කියලා මට හිතුණා. සමහරවිට පෝය ළඟ නිසා වෙන්න ඇති.

හොඳ හුස්මක් පපුව පිරෙන්න ඇදගත්තා. හම්ම්ම්... නාස් පුඬුවලට හීන් සීතලක් දීලා පපුවේ පහළටම පාවෙලා ගියපු ඒ හුස්මේ නිමල සුනිමල බව මගේ ඇතුළේ ඉන්න කවුද උරාගත්තා. අන්තිමට ඒක බර සුසුමක්, යන්තම් රස්නෙට පිටවුණු... ම්ම්.. වැස්ස උඹ පුදුමයි. අහස උඹ ඊටත් පුදුමයි. එක පාර ආපූ සුලං පාරක් හිරිකඩ පාරක් එක්ක මාව පහුකරගෙන ගියා. ඔන්න අකුණක්.

වැස්ස අස්සේ අහස ගැන කතාවක් හිතට ආවේ. අහස තරම් විස්මිත දෙයක් තවත් මේ ලෝකේ නෑ. හිරු, සඳු, තරු, වලාකුළු හැමදේම තියෙන්නේ අහසේ. ඒත් සමහරු කියනවා අහස හරිම හිස්ලු. අනේ මන්දා... මට නම් හිතෙන්නේ අහස එක්ක බැලුවාම අපි තමයි හිස්. අන්න අන්න අහසේ ඈත විදුලි රේඛා. ආ ඔය තමා විජ්ජු ලතා. ඉතින් ඒවත් තියෙන්නේ අහසේ නේද? මේ වැස්ස කඩාගෙන වැටෙන්නෙත් අහසෙන්. මේ සුළඟ හමන්නෙත් අහසෙන්. ම්ම්ම්.. සීතයි. මට හිතෙනවා අහස හිස් කියන්න ඔක්කොම එක්ක තරහ වෙන්න.

මේක මහ වැස්සක් නම් නෙවෙයි. සින්දුවක් වගේ තාලයක් තියෙන කවියක් වගේ විරිතක් තියෙන ආදරණීය වැස්සක්. ඒත් අකුණු ගහනවා.. විදුලි කොටනවා. පුදුමයි ඇත්තට පුදුමයි. මහ වැස්සේ විතරක් නෙවෙයි මහා අකුණු පුපුරන්නේ. ඒත් අපි හිතන්නේ මහ වැස්සේ තමා මහ අකුණු පුපුරන්න ඕන කියලා. ම්ම්ම් නැද්ද? ඇත්තටම අපි ලෝකය දකින්නේ අපිට ඕනෑ හැටියට. ඒත් ලෝකයේ හැටි ඊට වඩා වෙනස්. හිත දුවනවා හතර අතේ. ආයේ ඇස් දෙක වහගන්නවා. කටඬවල් ගොඩක් තියෙන මේ වැස්සේ තනුව තේරැම් ගන්න මම උත්සාහ කරනවා. ඇත්තටම වෙලාව යනවා තේරෙන්නේ නෑ. හෙට උදේ හිස බර වෙයි. පීනස තද වෙයි. පපුවට හරිම සීතයි. ඒත් කොහොමද මේ මොහොත මම අතහරින්නේ.

මෙහෙම වහිනකොට අම්මා කියපු පරණ කතාවක් මට මතක් වෙනවා. "ඈත කොහාට හරි තදට වහිනවා ඇති" ම්ම්... අදත් එහෙම වෙන්න ඇති. මේ වැස්ස මුහුද පැත්තෙන් ආපු වැස්සක් නම් නෙවෙයි. ගොඩින් ආපු වැස්සක්. ඉස්සර ආච්චිලාගේ කාලේ මේ වගේ වැහිවලට එයාලා බය නෑලු. වැස්සේ වුණත් වත්තේ වැටෙන දෙල් පොල් අහුලන්න යනවලු. ඔන්න මේ හිරිකඩ මතක මාවතේ දුර ගමනක් එක්කගෙන යන්න හදන්නේ. ඉස්සර ආච්චි කියන විදිහට මහ වැසිවලට ගමේ හිතවත් අය එක ගෙදරකට වෙලා දෙල් තම්බලා පොල් දාලා ලුණු මිරිසක් හදාගෙන කනවලු. ඔන්න මගේ කටට කෙල උනනවා. රස්නෙට දෙල් ටිකක් කන්න තිබුණා නම් කොහොමද? ඒ කාලේ අදට වඩා ලස්සන ඇතිනේ.

ඔන්න මම හිමිහිට අතීතයට ඇදිලා යනවා. වැස්ස එක්ක ඉස්සර දවස් කොහොම වෙන්න ඇතිද? විදුලිය නැති, කටුමැටි ගෙවල් පැට්‍රික් මැක්ස් චිමිනි ලාම්පු, කුප්පි ලාම්පුවලින් එළිය වෙලා. ආච්චි සීයා කියපු කතා එක්ක ඒ මැවෙන චිත්ත රූප මේ සීතලට බොඳ වෙනවා. ඒත් ඒවා විස්තර කරන්න බැරි තරම් සුන්දරයි. අව්‍යාජයි. අපිට කොහෙද එහෙම වාසනාවක්. සරල අව්‍යාජ ජීවිතය අපිට ගොඩක් දුරයි. ම්ම්ම්.. එත් එක අතකට මට හිතෙනවා මම නම් යන්තම් හරි ඒ ජීවිතය හොයාගෙන. 

මම තවත් දුරට අතීතයට ඇදිලා යනවා. ආච්චි කියනවා ඒ කාලේ ආච්චිගේ තාත්තාට තිබුණලු ඔරුවක්. හවස මුහුදු ගියාම එන්නේ පාන්දරලු. මහ වැස්සක් වැස්සම ආච්චියි ආච්චිගේ සහෝදරයොයි අම්මායි බය වෙලා ඇහැරගෙන ඉන්නවලු. මට ඒ දර්ශනය දැන් පේනවා. සිනමා පටයක් වගේ. ඇත්තටම මේ වගේ වැස්සක් මතකවලින් එහාට කාල තරණය කරන්නත් අපූරු යාත්‍රාවක්. දැන් නම් පැය ගාණක් ගෙවිලා ගිහිල්ලා. වැස්ස පායලා. මම තාමත් පුටුව උඩ බක තපස් ඉරියව්වේන්. අතහැරලා යන්න ලෝබයි.

වැස්ස එක්ක ආපු අමුතුම සීතල එක්ක මෙතනට ආපු මම අදත් සුපුරුදු විදිහට ඉස්තොප්පුවේ පුටුව උඩ තනියම. හිතන්න තව දේවල් දාහක් තිබුණත් විඳින්න තියෙන්නේ මේ සීත රාත්‍රියේ අපූර්වත්වයම විතරයි. මගේ හිත මිතුරු පළඟැටියෝ ආයේ සංගීතය සාජ්ජයක් දාලා. ඇළ පැත්තෙන් මැඬි රෑනක් වැස්සේ ගීතයට අලුත් තනුවක් දානවා සතුටින්. ම්ම්ම්... අහගෙන ඉන්න.

ඉතින් දැන් සීතල වුණාට වැස්සත් නෑ සුළඟත් නෑ. ඇත්තටම වැස්සට පස්සේ රාත්‍රිය තරමක් නිශ්චලයි. මැඬියන්ගේ සින්දු නම් ඉවරවෙන පාටක් නෑ. අම්මා කියන්නේ උන්ට ‘ගගරු’ කියලා. උන් ටිකක් ලොකුයිලු. හොඳට හුස්මක් පපුව පිරෙන්න ඇදගත්තම දැනෙන්නේ අමුතුම හැඟීමක්. ඒක අකුරු කරන්න නම් බෑ. කණාමැදිරියෝ දෙතුන් දෙනෙක් විදුලි එළිය නොවැටෙන වත්තේ අඳුරු තැන්වලින් මතුවෙනවා. මඩ වුණු මිඳුලට බහින්න ආසයි. ඒත් දැන් ගොඩක් රූ වෙලා. ම්ම්ම්... මේ තමා රාත්‍රිය. මම ආදරය කරන රාත්‍රිය. එහෙනම් නිශාචර මම නවතිනවා.

I නිසල්