2022 ජනවාරි 15 වන සෙනසුරාදා

සිහින අත්නොහරින සසර පියාපත්

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 76

ජීවිතය කියන්නෙ වෙලාවකට තනුවක් තාලයක් නැති ගීතයක් වගේ කියලා මට හිතෙනවා. ඒත් තනුවක්, තාලයක්, රිද්මයක් නැති ගීතයක් සේ දැනෙන මොහොතක වුණත් ඒ ගීතය අපි ගයනවා. අපිට හිමි ජීවිතවල රිද්මය හරි වෙනස්. එකම ගීතය වුණත් කවදාවත් එකම තාලයට ගායනා කරන්න අපට ලැබෙන්නෙ නම් නෑ. වරෙක මහා විලාපයක් වේදනාත්මක සංධ්වනියක් විදිහට දැනෙන ගීතය තවත් වෙලාවකදි අපට දැනෙන්නේ ඉතා ඉමිහිරි සොඳුරු සංධ්වනියක් විදිහට. ඒ ජීවිතයේ දුක්බර බව දරාගන්නම බැරි මොහොතක ඒ ගැයුම අතරමඟ නවත්වා ජීවිතය අත්හැර දාන අයත් ඉන්නවා.

ඒත් සංසාර වීදියෙන් වීදියට ඕනෑම දුකක්, සාංකාවක්, වේදනාවක් පපුවට තුරුලු කරගෙන ඒ ගීතය ගයන අය මේ ලෝකයේ ජීවත්වෙන අපරාජිතයන් විදිහට දකින්න මම කැමතියි.

සින්ඩරුල්ලා කියන හින්දී චිත්‍රපටයේදීත් හමුවෙනවා එහෙම යුවතියක් ගැන.. මේ සින්ඩරුල්ලා කතාව සපත්තුවක් නිසා වෙච්ච හදියක් ගැන කියවෙන අර නපුරු කුඩම්මාගෙයි එයාගේ දුවගෙයි අම්මා නැති දුවකගෙයි කතාව නොවෙයි. ඇය නිවෙසක මෙහෙකාරියක්.. ඒ තරුණ මෙහෙකාරිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රුවැත්තියක්. ඇය සිටින නිවසේ සිටින නපුරු හාම්පුතාගෙන් සහ ඇගේ දියණියගෙන් විඳින අනේක වද හිංසා ගැන තමයි මේ සින්ඩරුල්ලා කතාවේදි කතා කරන්නෙ. 

මේ තරුණ මෙහෙකාරිය දවසක් දකිනවා ලස්සන ළා නිල් පාට දිග ගවුමක්. ඒ ගවුම ඇයගේ ජීවිතයේ සුන්දරම සිහිනය සහ බලාපොරොත්තුව බවට පත්වෙනවා. ඇය සැමදාම ඒ ගවුම දිහා බලාගෙන යනවා. ඒත් ඒ සාප්පුවට ගොඩවෙන්නවත් ඒ සාප්පුවේ මුරකරු ඇයට ඉඩ දෙන්නෙ නෑ. ඒත් දවසක් ඇය ඒ එරෙහිවීම් මැදම ගිහින් ඒ ගවුම ඇඟිලි තුඩුවලින් අතගාලා බලනවා. ඒ තමා ඇගේ ආසාව. ඒ ගවුම අයිති කර ගැනීම තරම් සුන්දර සිහිනයක් බලාපොරොත්තුවක් ඇයට තවත් නැහැ. ඇය කල්පනා කරනවා කොහොමද මම මේ ගවුම මිලදී ගන්න මුදල් හොයාගන්නෙ කියලා. ඇයට ඉන්නවා පුංචි යාළුවෙක්. දවසක් ඒ පුංචි පිරිමි ළමයා ඇයව රෙදි මසන තැනකට එක්ක යනවා. ඇය කියනවා ඇය දුටු ඒ නිල් පාට ලස්සන ගවුම ගැන. ඒත් අවසානයේ ඔහු මසා දෙන්නෙ ඇගේ සිහිනයේ තියෙන අර ලස්සන ගවුම නෙවෙයි. ඇයට දැනෙන්නේ ඇය සැබෑවක් වෙනතුරු බලාගෙන සිටිය ඇගේ ලෝකයේ ලොකුම සිහිනය බිඳ වැටුණා වගේ හැඟීමක්. 

ඒත් ඇය ඒ සිහිනය අත්හරින්නෙ නැහැ. දවසක් ඇය අර පුංචි පිරිමි ළමයත් එක්ක යනවා දේවස්ථානයකට. ඇය දෙවියන් යදිමින් මට ඒ ගවුම මගේ කර ගන්න ලැබෙන්න කියලා දෙවියන්ට යාච්ඥා කරනවා. දේවස්ථානයෙන් එළියට එද්දි පියතුමෙක් හමුවෙන්න කාන්තාවක් ඇවිත්. ඇය රෝගියෙක් සුවපත් කරන්න අවශ්‍ය ලේ සොයනවා. ඇය ඉදිරිපත් වෙනවා ලේ පරිත්‍යාග කරන්න. ඒ වෙනුවෙන් ඒ කාන්තාව ඇයට මුදල් ලබා දෙද්දි ඇය ඒ මුදල්වලින් ගන්නෙ ගවුම මිලදී ගන්න අවශ්‍ය මුදල විතරයි.

එදා තරම් කාත් කවුරුත් නැති ඇය ජීවිතයේ සතුටු වූ දවසක් තවත් නැති තරම්. ඒත් එදායින් පසු උදාවන රාත්‍රියක් ඇය ජීවත්වෙන අවසන් රාත්‍රිය බවට පත්වෙනවා. ඇගේ හාම්පුතා ඇගේ දියණිය විවාහ කර ගනීවි යැයි බලාපොරොත්තුවෙන් සිටින කඩවසම් තරුණයාගේ සිත නතර වෙන්නේ මේ නිල් පාට ගවුම හැඳි මෙහෙකාරිය ළඟ. ඇය අනේක වද වේදනා, පහරකෑම් විඳ එදා රාත්‍රියේ නපුරු හාම්පුතා සහ ඇගේ දියණිය අතින් මරණයට පත්වෙනවා. ඒත් සැනසීමක් නැති ඇගේ ආත්මය ඔවුන් පසුපස හඹා යනවා. ඇය වැනිම තවත් ගැහැනියක් ඒ නපුරු අම්මාත් දුවත් පසුපස හඹා එනවා. ඔවුන්ගේ ඒ නපුරු අම්මාටත් දුවටත් කිසිම සමාවක් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.

සිත කියන්නෙ මේ ලෝකයේ තියෙන බලවත්ම ප්‍රපංචය කියලා හිතෙනවා. මරණයෙදිවත් අත්නොහරින ප්‍රබල හැඟීම් මිනිස්සු සසර සුවසැරිය පුරා රැගෙන යනවා. සින්ඩරුල්ලා තුළ කතා කරන්නෙත් ඒ ආත්මීය සැනසිල්ල හොයා යන ගැහැනියකගේ කතාව.

ජීවිතය කියන්නෙ මහ අමුතුම ගීතයක්. ඒ ගීතයේ ස්වරය, තනුව, තාලය කවදාවත් අපට තේරුම් ගන්න බැහැ කියලයි මට හිතෙන්නේ. ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒ ගීතයේ තාලය, ස්වරය, තනුව වෙනස් වෙන නිසා.

► සංජු