2022 ජනවාරි 15 වන සෙනසුරාදා

නැති මඟුලක් නැත ලෝකෙම එහි ඇත

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 100

ඔන්න සුදා අරගෙන ආවා ටිකක් විතර Professional Y Trend එකක්. සීන් එක ටිකක් විතර අධ්‍යාපනිකයි හරිය. ඒ නිසා ඔන්න පැංචෝ පැංචියෝ අද සාවධානව අහගෙන ඉන්න ඕනෑ කතාව. මචාලා දන්න විදිහට අධ්‍යාපනයේ කෑලි දෙකක් තියෙනවා, විධිමත් අධ්‍යාපනය සහ අවිධිමත් අධ්‍යාපනය කියලා. හැබැයි ඔය කොයි එකෙනුත් කරන්නේ දැනුම ලබා දෙන එක තමා වස්තුලාට. හරි.. කතාව සරල කරන්නම්කෝ. අද අපි කතා කරන්නේ අවිධිමත් ගණයට වැටෙන Digital යුගයේ ප්‍රධානතම අධ්‍යාපන මෙවලම, නැතිනම් Digital යුගයේ විශාලම අධ්‍යාපනය සම්බන්ධ Y Trend එක ගැන.

එහෙනම් අද කතාව YouTube ගැනයි.

අඩේ ආ යූ කිඩින් මී.. අච්චර බරට ටෝක් කරේ YouTube ගැන කතා කරන්නද ඩෝ 

ඩෝන්ට් මිස් අන්ටස්ටෑන්ට් බ්‍රෝ. මේක වෙනම සීන් එකක්.. පොඩ්ඩක් කාම් ඩවුන් වෙලා අහගෙන ඉඳපන්කෝ, අඩේ

ඔව්.. YouTube ගැන මේක ටිකක් විතර වෙනස් සුන්දරා. 2010 විතර වෙනකල් ලෝකයේ දැනුම සම්බන්ධව තිබුණේ වෙනම ක්‍රියාවලියක්. හැබැයි පහුගිය දශකය ඇතුළේ ඒ ක්‍රියාවලිය උඩු යටිකුරු වුණා. මේ වෙද්දී ලෝකයේ තියෙන ඕනෑම දැනුමක් සයිබර් ලෝකය ඇතුළේ ඔයාලට හොයාගන්න පුළුවන්. Google, Yahoo වගේ සෙයුම් පද්ධති ඔස්සේ තමා මේ වැඩේ ආරම්භ වුණේ. ඒ වුණත් මුලදී ලොකු ගැටලුවක් ආවා. යම් විෂයක් සම්බන්ධයෙන් නව දැනුමක් ඔය වෙබ් අඩවි හරහා ලබාගන්න පුළුවන් වුණත් ඒක තේරුම් ගන්න සහ ප්‍රායෝගිකව කරන්න ලේසි වුණේ නෑ. ඒත් තවදුරටත් ඒ කතාව එහෙම නෙවෙයි. හේතුව YouTube අධ්‍යාපනික මෙවලමක් විදිහට භාවිත වීම.

චුට්ටක් තේරුණාට අඩේ ඔළුව බරවෙන සීන් එකක් තියෙන්නේ නේද? හරි එහෙනම් සරල උදාහරණයක් දෙන්නම් වස්තුලාට. පොඩ්ඩක් කාල තරණය කරලා අවුරුදු විස්සක් විතර ආපස්සට යමු. සූප ශාස්ත්‍රය ඒ කියන්නේ මචෝ ඔය කෑම බීම ජාති හදන සීන් එක. හැමෝම හදන්නේ තමන් දන්න කෑම ජාති ටික විතරයි. අලුත් වට්ටෝරු එකක් හොයාගෙන හදන්න කාටවත් ලේසි වුණේ නෑ. ඔන්න මේ කාලේ ආවා සූප ශාස්ත්‍රය සම්බන්ධ පොත පත. එතකොට පත්තරවලත් ඒවා පළවුණා. ඔන්න සුදාට මතක ඇති. හැබැයි ඔය වට්ටෝරු බලාගත්තාට කෑම හදන්න ලේසි නෑ. ඔන්න ආවා Cookery Class සංස්කෘතිය. හැබැයි ඉතින් එහෙම සල්ලි දීලා උයන්න ඉගෙන ගන්න හැමෝටම බෑ.

ඊට පස්සේ ආවා රෑපවාහිනියෙන් උයන්න උගන්වන යුගය. වැඩේ මරු. හැබැයි අපිට ඕනෑ ඒවා නෙවෙයි එයාලට ඕනෑ ඒවා උගන්වන්නේ. සුදාලට මතක ඇති අර සරණිය, මේ මැඳුර කිය කියා ඒවා පටන් ගත්තේ. තාමත් ඒවා තියෙනවා ඉතින්. ඒත් ඊට පස්සේ Digital යුගයේ ආරම්භයත් එක්ක ඕනෑම වට්ටෝරුවක් හොයාගන්න Search කරන්න පුළුවන්කම කස්ටියට ලැබුණා. English පුළුවන් නම් Google එකෙන් ඕනෑ රටක වට්ටෝරුවක් හොයාගන්න පුළුවන්. ඒත් ඒක හදන්න ලේසි නෑ. ඒකට ප්‍රායෝගික දැනුම ඕනෑ. ඔන්න ඔතනදී තමයි YouTube ඉස්සරහට එන්නේ.

අවශ්‍ය කළමනා ටිකයි පහසුකම් ටිකයි ස්මාර්ට් ෆෝන් එකකුයි දත්තයි තිබුණොත් ලෝකේ ඕනෑම කෑම වට්ටෝරුවක් පැංචොන්ට පැංචියොන්ට හදන්න පුළුවන් දැන්. උදාහරණය දිග වුණා. හැබැයි අපි කියන්න උත්සාහ කරපු දේ A to Z මචන්ලට තේරෙන්න ඇති. Cookery වලට විතරක් නෙවෙයි සංගීත කලාව, කාර්මික ශිල්පය වගේ ගොඩක් විෂයන්ට ලොකුම පාසල තමයි YouTube කියන්නේ. වැඩේ කියන්නේ මේ දැනුම අපිම තමයි හොයාගෙන යන්න ඕනෑ. හැබැයි මෙතැනදී විශ්වසනීය බව සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඒ YouTube දැනුම බොහොම පරිස්සමට භාවිත කරන්න ඕනෑ දෙයක් මචෝ.

විශේෂයෙන්ම තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් YouTube දැනුම කියන්නේ දැන් පට්ට Y Trend එකක්. දැන් අවුරුදු හයකට හතකට කලින් මැජික් වගේ වෙලා තිබුණු පරිගණක මෘදුකාංග දැන් ඕනෑම කෙනෙකුට හරිම සරලව YouTube එකෙන් ඉගෙන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට සරලව කිව්වොත් Photoshop, Adobe Primo Pro, After Effect වගේ Software දැන ඉගෙන ගන්න. ඒක පට්ට ලේසි වැඩක්. ඕනෑම භාෂාවකින් දැන් මේ සම්බන්ධ පාඩම් ටියුටෝරියල් තියෙනවා. මීට කාලෙකට කලින් මේ දේවල් ඉගෙන ගන්න ලංකාවේ නම් හරි ක්‍රමයක් තිබුණේ නෑ. සමහර දේවල්වලට causes තිබුණත් ඒවාට විශාල මුදලක් අය කළා.

ඉතින් සුදාලට පැහැදිලි ඇති YouTube කියන්නේ විනෝදාස්වාදයම විතරක් නෙවෙයි වස්තු. අපි දකිනවාට වඩා ගැඹුරක් මේක ඇතුළේ හොයාගෙන යන්න පුළුවන්. ඉගෙන ගන්න නෙවෙයි උගන්වලා උපයන්නත් අවස්ථාවක් මේක ඇතුළේ තියෙනවා. හැබැයි මෙතැනදී YouTube හරහා දැනුම හොයාගෙන යන අයට පොඩි අනතුරු ඇඟවීමක් කරනවා නැවත නැවත. මොකද මචෝ ඔයාට මුණගැහෙන්නේ හරිම දැනුම ද කියලා සහතික කර ගන්න මේ Digital අවකාශය ඇතුළේ ලේසි නෑ. ඒ වගේම දැනුම මේ අවකාශය ඇතුළේ ප්‍රමිතියෙන් තොරව විකුණන්න පුළුවන් වෙළෙඳ භාණ්ඩයක්.

ඒ නිසා සුදාලා YouTube වගේ Digital වේදිකාවක දැනුම හොයාගෙන යනවා නම් එක මූලාශ්‍රයක් මත යැපෙන්න එපා. ගොඩක් මූලාශ්‍ර මත එකම දේ හොයලා අවසානයේ සිහිබුද්ධියෙන් හරිම දේ තෝරාගන්න. ඉවසීම, උනන්දුව, කැපවීම නැතුව මේක කරන්න බෑ. කොහොමත් අධ්‍යාපනයට ඔය තුන අනිවාර්යයෙන්ම ඕනෑ මචෝ. අපි මේ කතාව කිව්වේ හදිසියේම අපි කියන නිසා කවුරු හරි YouTube දැනුම හොයාගෙන ගිහිල්ලා අතරමං වුණොත් කියලා හීනියට බයක් දැනුණු හින්දා.
කොහොම වුණත් දැන් දැනුම සොයා යෑමේ ලෝකයේ අංක එකේ Y Trend එක YouTube. ඒ නිසා නිකම් ආතල් ගන්නවා වෙනුවට කැමති නම් සුදාලට පුළුවන් YouTube දැනුම හොයාගන්න. අවසානයේ පුංචි Tip එකක් දෙන්නම්. පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්න ආසා වුණු, ඒත් බැරිවුණු විෂයක් පිළිබඳ YouTube එකේ හොයලා Video  දෙකක් බලන්න. ඊට පස්සේ වෙන දේ පිස්සුවක් හරිය. 

එහෙනම් ලබන සතියේ හම්බවෙමු..! 

► නිසල්