2022 ජනවාරි 08 වන සෙනසුරාදා

ගින්නකට හරි පනින්න ලෑස්ති වෙච්ච කාෙලකුත් තිබුණා - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 155

කුඩා කල සිටම අප ජීවිතය දකින්නේ සිහින ඔස්සේය. බලාපොරොත්තු ඔස්සේය. ඒ සිහින හරි සුන්දරය. පිවිතුරුය. එදිනෙදා දකින මුණගැසෙන විවිධ චරිත ඔස්සේ අප දකින මේ සිහින විටෙක සැබෑවන අතර විටෙක සැබෑ නොවීමටද ඉඩ ඇත. මාතර රාහුල විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ සිටම ඔහුගේ සිතේ වැඩි ඉඩක් ලැබුණේ කෙඩෙට් නිලධාරියෙකුටය. ඔහු පාසලේදී විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී දක්ෂතා දැක්වූ අතර තූර්යවාදක කණ්ඩායම, කෙඩෙට් කණ්ඩායම තුළ කැපී පෙනෙන චරිතයක් විය. පාසලේ නාට්‍ය හා රංග කලාවද හදාළ ඔහුගේ සිත තුළ නළුවෙකු වීමේ කිසිදු සිහිනයක් නොවීය. විනයගරුක, ක්‍රියාශීලී කැඩෙට් නිලධාරියෙකු තුළින් ඔහු දුටුවේ අනාගත යුද හමුදා නිලධාරියකු වීමය. ඒ සිහිනය ඔහු සැබෑ කරගත්තේ මුළු රටක් ඔහු වැනි වීර පුතුන් ඉල්ලා සිටි අවධියකය. යුද්ධයේ බිහිසුණුම අවධියකදී එනම් 2003 වසරේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදා සේවයට එක්විය.

හමුදාවට යද්දී ගෙදරින් එපා කිව්වේ නැද්දැයි මා විමසුවේ පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය මවකට එය මහා කැපකිරීමක් වන බැවිනි. අපොයි නෑ. මේ රටේ අම්මලා තාත්තලා එහෙම හිතුවා නම් මේ රට ත්‍රස්තවාදීන් යටත් කරගන්නවානේ. අනික මම ඉපදෙන්න කලින් මගේ තාත්තා ධර්මදාස ලොකුහෙට්ටිආරච්චි ගැමුණු සේවා බලකායේ සේවය කරලා තියෙනවා. අනික කැඩේට් කරද්දී ඒ නිල ඇඳුමට, පුහුණුවට හරිම කැමැත්තක් ඇතිවුණා. ඒ දේවල් එක්ක මම යුද හමුදාවේ සේවයට එක්වුණා. ඇත්තටම යුද හමුදාව තුළ මම ලබාගත්ත පුහුණුව මට රඟපෑම තුළ රැඳී ඉන්න ලොකු ශක්තියක් වුණා. ඉවසීම, දරා ගැනීම, විනය, වෙලාවට වැඩි කිරීම මේ සියල්ල අද රංගනය තුළ ඉදිරි ගමනක් යාමට මට පුදුමාකාර ශක්තියක්. මේ වනවිට යුද හමුදාවෙන්, ඉවත්ව වෘත්තිමය රංගන ශිල්පියෙකු ලෙස සුවිසල් ප්‍රේක්ෂක ප්‍රතිචාර විචාරක ඇගයීම් ලබන ඔහු නමින් ඉසුරු ලොකුහෙට්ටිආරච්චිය.

අද හදසරට මගේ කතාව කියන්න එක්වන්නේ ඉසුරු.

යුද හමුදාවේ නිලධාරියකු ලෙස වසර ගණනාවක් යාපනය අර්ධද්වීපය තුළ රාජකාරි කළ ඉසුරු පසුකලෙක ඉන් ඉවත්ව රංගනයට අවතීර්ණ වුවද දිගු කාලයක් ඔහු ක්ෂේත්‍රයේ විවිධ අත්දැකීම් ලබමින් රංගනය පිළිබඳ හදාරමින් සිටියේය. බොහෝ දේ දරා ගනිමින් තමන්ට අවස්ථාවක් එනතුරු ඔහු බලා සිටියේය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා පාඨමාලාවේ පළමු කණ්ඩායමේ සාමාජිකයකු වූ ඉසුරු මහේන්ද්‍ර පෙරේරාගේ වැඩමුළු සමඟද සම්බන්ධ වී තම දක්ෂතා ඔප්නංවා ගැනීමට සමත්විය. පොළොවෙන් මතුවන මිණි කැටයක අගය දැනෙන්නේ එය මනා සේ කපා ඔප දැමූ විටය. ටෙලිනාට්‍ය 25කට වැඩි ගණනකට මෙන්ම චිත්‍රපට 20කට ආසන්න සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබාදීමෙන් ඔහු කොතරම් ඔපවැටුණු මැණිකක්දැයි ප්‍රේක්ෂකාගාරයට වටහා දීමට සමත්ව ඇත.

ඉසුරු රංගනයට අවතීර්ණ වූ කාලයේ කොයි විදියේ චරිතයක් කරන්නද ඔබට කැමැත්තක් තිබුණේ?

මට ඕන වුණේ දෙබස් තියෙන චරිතයක් කරන්න. මොකද දිගු කාලයක් මට ලැබුණේ අතිරේක චරිත. පසුබිමෙන් දර්ශනය වන චරිත සමහර විට දෙබස් තියෙනවා කියලා එන්න කියපු චරිතවලත් දෙබස් තිබුණේ නැහැ. මට ලොකු වේදනාවක් නොදැනුණා නොවේ. ඒත් මා සතුව තිබූ දරාගැනීමේ හැකියාව නිසා කවද හරි මලක් පිපෙනකම් මම ඉවසීමෙන් බලාගෙන හිටියා. 2009 වසරේදී චරිත් කොතලාවල අධ්‍යක්ෂණය කළ දෙන්නට දෙන්නා ටෙලිනාට්‍යයේ තමයි ඒ. සෙනඟ දෙසීයක් විතර මැද හිටගෙන අත්පොළසන් දෙන්න තමයි තිබුණේ. ඔහු පවසන්නේ උපේක්ෂාවෙනි. මට ප්‍රධාන චරිත කියන හීනයක් තිබුණේ නැහැ. අතිරේක චරිතවලට පෙනී හිටිය, සතුරා, මිතුරා, පාපැදිකරු වගේ චරිත කරපු මට ඕන වුණේම දෙබස් තියෙන චරිතයක් කරන්න. මට මේ හීනය හැබෑ කරගන්න පුළුවන් වුණේ අවුරුදු 03ක කාලයක් බොහොම ඉවසීමෙන් බලන් ඉඳලා නාලක වෙදමුල්ලගේ ගජමුතු නිසා. ඇත්තම කිව්වොත් මට දිගින් දිගටම කතා කළේ අත්පුඩි ගහන්න. බයිසිකල්වල නැගලා යන්න, ගුටිකන්න, වගේ ඒවට. එදා ගජමුතු එකේ තිබුණෙත් ඒ වගේ එකක්. කාර්යාලයක දර්ශනයක. එක ශිල්පියෙක් හිටියා ඔහුට හරියට දෙබස් කියගන්න බැරිව ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ වෙලාවේ නාලක අයියා මට කතා කරලා ඇහුවා මල්ලි ඔයාට මේ දෙබස් ටික කියලා මේක කරන්න පුළුවන්ද කියලා. මම පාසලේදී නාට්‍ය කරලා තිබුණ කෙනෙක් නිසා හා කියලා බාරගත්තා. ඇත්තටම නාලක අයියාට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට දුන්න ඒ අවස්ථාව ගැන. ඔහු අද ජීවතුන් අතර නෑ. පසුව මට විවිධ අවස්ථා ලැබුණා. චරිතයක නමින් ප්‍රේක්ෂකයින් මාව අඳුනාගත්තේ පියරත්න චරිතයෙන්. මලී ටෙලිනාට්‍යයට මාව තෝරාගත්තේ සම්මුඛ පරීක්ෂණයකින්. සුනන්ද සිල්වා සහ ජානක සිරිවර්ධන මහත්වරුන් තමා මාව තෝරා ගත්තේ. මට මේ ක්ෂේත්‍රයේ කිසිවක් දෝතට ලැබිලා නැහැ. මොකද මගේ තාත්තා නිෂ්පාදකවරයෙක්වත් අධ්‍යක්ෂවරයෙක්වත් නොවෙයිනේ. ගහකින් බිමට වැටුණ බීජයක් යහමින් පොළාව හඳුනගෙන පැළවුණාම අතුපතර විහිදන ශක්තිමත් ගහක් වෙනවා කියන එක මම විශ්වාස කරනවා. 

ඔහුට කිසිදු අමනාපයක් තරහක් නැත. ඔහුගෙ විශ්වාසය තුළ ඔහු ආ ගමන විශිෂ්ඨය.

ඉසුරු, ඔබ රංගන ශිල්පියකු වගේම හඬකැවීම් ශිල්පියකු ලෙසත් කටයුතු කරනවා නේද?

මම හඬකැවීම් ශිල්පියකු වශයෙන් ජනාදරය දිනූ චරිත කිහිපයක්ම තියෙනවා. සිරසේ තුසිත කරවිට සහ අතුල ජයසිංහ කියන නම් දෙක මම සිහි කරන්නේ ගොඩක් ආදරෙන්. මහගෙදර ටෙලිනාට්‍යයේ ජොයිදීප් තමයි මුලින්ම ප්‍රේක්ෂක කතාබහට ලක්වුණු චරිතයක් වුණේ. Boys of Flowers ටෙලි නාට්‍යයේ ගූ ජුන් පියෝ තමයි අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණේ. දැන්නම් රංගනයත් එක්ක හඬකැවීම්වලට ලැබෙන කාලය අඩුයි. මම මේ සියල්ලත් එක්ක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියටත් කටයුතු කරනවා. මෑතකදී, හිරු සහ ස්වර්ණවාහිනී නාලිකාවල නත්තල් වැඩසටහන් 02ක් ඉදිරිපත් කළා. ඊට අමතරව ඉතින් වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කළා.

මේ වෙද්දී ඔහු රඟපෑ චිත්‍රපට 8ක් පමණ තිරගත වී ඇති අතර තවත් 11ක් පමණ ඉදිරියේදී තිරගත වනු ඇත. 

මේ දිනවල උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ගිනිමල් පොකුරු සහ බෙනට් රත්නායක මහතාගේ කවුරුවත් දන්නෙ නෑ ඔස්සේ සිනමා ප්‍රේක්ෂකයා හමුවන ඉසුරු සිහින ගෙනෙන කුමාරියේ සහ රහයි ජීවිතේ නාට්‍යය තුළින් ටෙලි තිරයෙන් අපේ නිවසට පැමිණෙයි. 

සිනමාව තුළ දිගු ගමනක් යන්න ස්ථාවර වෙන්න මට ලොකු හීනයක් තියෙනවා. ඒත් පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වයත් එක්ක ඒ හීනය ඈතට යයිදෝ කියලත් හිතෙනවා. අප රට පමණක් නොව ලොවම වෙලාගෙන ඇති මේ ව්‍යසනයට රංගන ශිල්පියකු ලෙස ඉසුරු දකින හීනය ඈතට ගෙන යන්නට නොහැකි වේවායි අප පතමු. මන්ද ඔහුට සිනමාව තුළ විශාල වැඩකොටසක් කළ හැකි බව ඔහු පෙන්වා ඇති බැවිනි.

කවදා හරි මේ චරිතය මගේ වුණා නම් කියලා හිතුණ චරිතයක් ගැන ඇහුවොත්, මොකක්ද දෙන උත්තරය?

2 ග්ලැඩියේටර් චිත්‍රපටයේ Maximus චරිතය. Russell Crowe විසින් තමයි එය නිරෑපණය කළේ, අපේ සිනමාවේ නම් පුරහඳ කළුවර චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම මහතා නිරෑපණය කළ වන්නිහාමි චරිතය, භවදුක හා භවකර්ම චිත්‍රපටවල පේදුරු ලෙස ජැක්සන් ඇන්තනි මහතා කළ චරිත නිරෑපණය ඒවා අති විශිෂ්ඨයි. ඇත්තටම කිව්වොත් ජැක්සන් මහතා ඉපදිලා තියෙන්නෙම නළුවෙක් වෙන්න. ඒ විතරක් නෙවෙයි, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස් එයාලා කරට කර කළ රංගනයන් කොහොමද? යාළුවො, සහෝදරයො වගේ ඒත් ක්ෂේත්‍රයට එකතු කරපු දේවල් කොතරම්ද? ඒ කාලේ ලොකු තාක්ෂණයක් තිබුණේ නැහැ. ඒත් ඔවුන්ගේ කැපවීම කොයිතරම් විශිෂ්ඨද? අද ඉතින් ඔය ඔක්කොම දේවල් තිබිලත් එන නිර්මාණ කොහොමද?

මේ ගමන එද්දි හිත රිදුණු තැන් එහෙම ඇති. අමතක කරන්න බැරි? 

කලිනුත් කිව්වා වගේ මම හරි ආසාවෙන් හිටියේ දෙබසක් කියන්න තියෙන චරිතයක් කරන්න. ඒත් දෙබස් තියෙනවා කියලා එන්න කියලා එහෙම නැතිවුණ අවස්ථා ඕනතරම් තියෙනවා. හරිම දුක්බරයි. මොකද ඒ දවස්වල දෙබස් තියෙනවා කිව්වොත් ගින්නකට පනින්න වුණත් ලෑස්තියි. ඒත් හමුදාවෙන් ලැබුව පුහුණුව නිසාම ඒ දේවල් දරාගෙන කාටවත් ගැති නොවී ස්වාධීන මිනිසකු ලෙස ඉන්න මට හැකිවුණා.

මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබට අභියෝගාත්මක රංගනය හෝ රංගනයන් මොනවාද? කියලා අපි ඇහුවොත්?

ඇත්තටම හැම චරිතයක්ම අභියෝගයක්. ඒ අතරින් හුස්ම චිත්‍රපටයේ රංගනය ලොකු අභියෝගයක් වුණා. මොකද ඒක ලෝක සිනමාවේ ඔබ කලින් දුටු චරිතයක්. හැබැයි මම අද වෙනකම් ඒක නරඹලා නැහැ. ඉතින් මේ චරිතයට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඇගයීම වගේම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඇත්තෙන්ම ඒ රංගනය ඇගයීම වෙනුවෙන් මගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට මම ගෞරවයෙන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ගිනි අවි සහ ගිනි කෙළි හි රංගනය තමා මගේ රංගන ජීවිතයේ සන්ධිස්ථානය. එහි රෑගත කිරීම්වලදී මුහුණදුන් බිහිසුණු අනතුර නිසා මට වසර දෙකකට ආසන්න කාලයක් රංගනයෙන් ඈත්වෙලා එක් තැනකට වී ගතකරන්න සිද්ධ වුණා. ඒ වගේම මේ දිනවල සිරසේ විකාශනය වන සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන රහයි ජීවිතේ නාට්‍යයේ චරිතය. Kumbalangi Nights කියන අතිශය ජනප්‍රියත්වයට පත් මලයාලම් චිත්‍රපටයේ Fahath fasil කියන අති දක්ෂ රංගන ශිල්පියා කළ රංගනය තමා මම රහයි ජීවිතේ තුළ නිරෑපණය කරන්නේ. Fahath කියන්නේ නළු මැෂිමක්. පුදුම දක්ෂ රංගනයක්. ඉතින් මේ රංගනය මට පුදුමාකාර අභියෝගයක්. ඒක චිත්‍රපටයක්. හැබැයි මේක ටෙලිනාට්‍යයක්. ඉතින් ඇත්තටම හරිම දැවැන්ත අභියෝගයක්. මට මෙතෙක් ලැබුණ චරිත සියල්ලම එකිනෙකට වෙනස්. ඒකාකාරී චරිත, එකම රාමුවක චරිත මට ලැබිලා නැහැ. මේ ක්ෂේත්‍රයේ රුඳී ඉන්න මම කළ කැපවීමේ ප්‍රතිඵල තමයි ඒ. හැමදෙයක් වෙනුවෙන්ම මාව නිර්මාණවලට යොදාගන්න සියලුම අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට පිටපත් රචකයන්ට සහය අධ්‍යක්ෂවරුන්ට සහ අනෙකුත් සහය දුන් සැමටම මම හිස නමා මගේ ගෞරවය පුද කරනවා. ඉසුරු යනු කොතරම් නිහතමානී කෘතවේදී රංගන ශිල්පියෙක්ද කියා අපට දැනෙන්නේ එබැවිනි.

ඉසුරු, ඔබේ රංගනයට ලැබුණු ඇගයීම් සම්මාන ගැන කතා කළොත්, 

නැහැ. මට කිසිම සම්මානයක් ලැබිලා නැහැ. ජනප්‍රිය නළුවා වෙනුවෙන් නම් නිර්දේශ වුණා. වරෙක ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා පුරවැසි එකතුව ලබාදුන් 3CS ටෙලි සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස මාව සම්මානයට පාත්‍ර වුණා. ස්වාධීන රෑපවාහිනියෙන් විකාශය වූ පිනි ටෙලිනාට්‍යයේ සම්පතා බාප්පා චරිතය වෙනුවෙන් තමයි මේ සම්මානය ලැබුණේ. ඇත්තෙන්ම හොඳම සම්මානය ලබාදීම කොහොමද තෝරන්නේ කියලා මම හිතනවා. මොකද එක එක රංගන ශිල්පියා ගත්තාම ඔවුන්ගේ තියෙන්නේ විවිධ රංගනයන්. විවිධ චරිත. ඒක හරිම සාපේක්ෂයි. මම ක්‍රීඩා කරපු කෙනෙක්. හොඳම ක්‍රිකට් පිතිකරු, පන්දු යවන්නා තෝරන්නෙ ඔවුන්ගේ දක්ෂතාව සංඛ්‍යාත්මකව අරන් වසර පුරා රුස්කළ ලකුණුවල සාමාන්‍යය. දවසේ කඩුළු සංඛ්‍යාවේ සාමාන්‍යය මේ විදියට අරන්. එතකොට අපි රංගනය ගත්තොත් ඒකෙ කොහොමද හොඳම එක තෝරන්නෙ. ඒක අදාළ සම්මාන උළෙලේ විනිශ්චය මඩුල්ලට අනුව කරන තෝරා ගැනීමක් පමණයි. රංගනය කියන්නේ පුදුම සංකීර්ණ විෂයයක්. ඉතින් ජනප්‍රිය කියන එක තෝරන්න පුළුවන්. ඒක ජනතා ඡන්දයෙන්නේ. ඒත් හොඳම කියන එක ගැන මට තියෙන්නේ කොහොමද එහෙම තෝරා ගැනීමක් කරන්නේ කියන හැඟීම.

ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද ඔබ දකින්නේ.

 මම සතුටින් බාරගන්නවා. ඒවා නිසා මම හිස උදුම්මා ගන්නෙ නෑ. මට නම් මට වඩා හොඳ නළුවො ඉන්නවා. මම උද්දිකට ආසයි. බිමල් අයියා රඟපානවා බලන්න ආසයි. මම ඒවා විඳිනවා. ඉසුරුගේ කතාව අසා සිටිද්දී ඇත්තෙන්ම ඔහු සතුව ඇති සරල නිහතමානී ගුණය පැහැදිලිව පෙනේ.

දැන් ආදරය විඳිනවා නේද? 

ඔව් ඇත්තටම බොහොම සුන්දරව ආදරය විඳිනවා. මේ අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇය මේ ක්ෂේත්‍රයේ කෙනෙක්. 

ඔබට ජීවිතය දෙස හැරී බලද්දී දැන් මොකද හිතෙන්නෙ. 

ඇත්තටම සතුටක්. ඔයාට බැහැ. අනේ මල්ලි වද දෙන්න එපා. ඔයාට මේක බැහැ කියලා කියපු අවස්ථා අනන්තයි. ඒත් මම රංගනය හදාරමින් සියල්ල දරාගෙන ඉදිරියට ආවා. මේ වෙලාවේ ප්‍රසන්නජිත් අබේසූරිය මහතා ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. ඔහු තමයි වැඩිදුර රංගනය ගැන හදාරන්න අධ්‍යයනය කරන්න කියලා මට කියා දුන්නේ. මගේ අම්මා අශෝකා අලහප්පෙරුම, තාත්තා ධර්මදාස ලොකුහෙට්ටිආරච්චි. එකම අයියා ගයාන් එයාලා තමයි මගේ ජීවිතයේ ශක්තිය. මුලින්ම මාව පුළුල් තිරයේ දැකලා එයාලා සතුටු වුණ විදිය තමයි මගේ රංගනයෙන් මා ලද ඉහළම සතුට. අදටත් දවසේ වැඩ හමාර කරලා නින්දට යද්දී මට පුදුම සතුටක් දැනෙන්නේ. දෙවියනේ මේ ඔක්කොම කළේ මම නේද කියලා. මට ලොකු හීන නෑ. ඡන්දය ඉල්ලන්න, පාර්ලිමේන්තු යන්න, තව කෙනෙකුගේ දක්ෂතාව දියුණුව දැකලා ඊට වඩා ඉහළට යන්න මට කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඉසුරු කියන්නේ තිර හඬකිනි.

මනා හැදෑරීමකින් මුල මතකයේ තබාගෙන කිසිවකු නොරිදා ඔහු යන මේ ගමනට අපි ඉත සිතින් සුබපතමු. බොහෝ මිනිසුන් රෝස මල්වල කටු ඇතැයි චෝදනා කරද්දී තවත් මිනිසුන් කටු අතර රෝස මල් පිපීම ගැන සතුටට පත්වෙති. ස්තූතිවන්ත වෙති. ලොව සුන්දරත්වය දකින්නේ එවන් දෑස් හිමි මිනිසුන්ය. කිසිවෙකුට චෝදනා නොකර තම හැකියාව පිළිබඳ විශ්වාසයෙන් යන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ඔබට 2022 වසර සම්මානනීය වසරක් වේවායි හදසර අපි සුබ පතන්නෙමු.

► මොනිකා සේරසිංහ