2022 ජනවාරි 01 වන සෙනසුරාදා

එහෙන් මෙහෙන් චිත්‍රපටය ආවෝ

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

සිනමා විචාර ගැන Y Trend එකක් ලිව්වොත්, මේ මොනවද බ්‍රෝ ආ යූ කිඩින් මී කියලා සුදාල අහන්න ඉඩ තියෙනවා. ඒත් අද අපි කතාකරන්න ලෑස්ති වෙන්නේ එහෙම සීන් එකක් තමයි. මේක මේ දවස්වල Digital ලෝකේ පට්ට Trend එකක්. හැබැයි මේ සීන් එක හඳුන්වන්න සිනමා විචාර වගේ වචනයක් පොඩ්ඩක් බර වැඩියි සුන්දරා. එහෙනම් සරලවම කියන්නම්. අද ස්ටෝරිය YouTube Movie Reviews ගැන.

YouTube කියලා කියන්නේ මහා මුහුද වගේ විශාල Digital platform එකක්. එතකොට මචෝ අපි මේ කතාකරන්න යන්නේ ඒ මුහුදෙ ඉන්න එක්තරා කුඩා මාළු විශේෂයක් ගැන. අපි එහෙම උදාහරණයක් මුලින්ම කිව්වේ යූ ටියුබ් එක ඇතුළේ තියෙන වීඩියෝ කන්දරාව දිහා බැලුවම YouTube Movie Reviews කියන්න පුංචි සීන් කෝන් එකක් කියලා පැහැදිලි කරන්න. පුදපු ගමන් කාපි යකා වගේ පටන් ගත්ත තැනම අමුවෙන් සීන් එක කතා කරන්නෙ නැතුව පොඩි මනෝ පාරක් ගහලා Entry point එකක් හොයාගමු. එහෙම හොඳයි නේද වස්තුලා.

සිනමා ශාලාවන්වලට ගිහිල්ලා ෆිල්ම් බලන පිස්සුව, ඒව ගැන ගෙදර, ඔෆීස් එකේ මඟතොටේ කතාකරන පිස්සුව, අපේ රටේ තිබුණ 70, 80 දශකවල අපේ රටේ සැරට තිබුණා. ඒ වගේම සිනමා විචාර ලියන අය සිනමා පටවල ගුණදොස් කියන්න විද්වතුන් ඒ කාලේ ගොඩක් හිටියා. සිනමා විචාර කියන්නෙත් එක්තරා කලාවක්. ඉතින් මේ ඉම කතාකරන වෙලාව නෙවෙයි. කොහොම හරි සිනමා ගැන කතා කිරීමට ලෝකයට වගේම අපිටත් අලුත් දෙයක් නෙවෙයි. හැමදාම සාමන්‍ය මිනිස්සු සිනමාව ගැන කතා කළේ ඒ ඒ අයට තේරෙන විදියට. අන්න ඒ නිසා මුළුමනින් අපි තේරුම් ගන්න Movie Review - සිනමා සමාලෝචන කියන සීන් එක කාලෙක ඉඳන් අපි අතර තිබුණයි කියන එක.

ඔන්න 80,90 දශකවල ඉපදුණු අයට පුංචි සීන්කෝන් එකක් මතක් කරන්නම්. ඉස්කෝලේ හය හතේ පන්තිවලට එනකොට ලංකාවේ සිනමා කර්මාන්තයේ කඩන් වැටිලා තිබුණෙ මචෝ. ඒ නිසා රූපවාහිනිය ගෙදරට ඇවිල්ලා හින්දි චිත්‍රපටය ඉංග්‍රීසි චිත්‍රපට බලන්න මිනිස්සු පෙළඹිලා තිබුණා. චුට්ටක් මතක් කරගන්නකෝ මචාලා ගෙදරදි චිත්‍රපට බලලා යාළුවන්ට ඒ කතා කියන අය ඉස්කෝලේ කාලේ හිටියා නේද? සමහරවිට ඔයත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් එහෙම කතාවක් අනිවාර් යෙන් අහලා තියෙන්නෙ. සිරාවට කියන්නේ මතු ඒ කාලයේ එක එක පට්ට අමුතු සිරා අත්දැකීමක්.

ලංකාවේ YouTube ඒකේ Movie reviews දැක්කම පුංචි කාලේ අහපු චිත්‍රපට කතන්දර මතක් වෙනවා. අපි මුලින්ම බලමු ලංකාවේ YouTube Movie Reviews කියන Y Trend එකේ තත්ත්වය. Movie Reviews Videos කරන සැලකිය යුතු YouTube channel ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. අපි නිකම් හොයලා බලපු විදියට මේවගේ තියෙන වීඩියෝ වර්ග තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි වීඩියෝ වර්ගයෙන් කෙරෙන්නේ චිත්‍රපටයේ කතාව නොකියා චිත්‍රපටය පිළිබඳව සහ ඊට පසුබිම් වුණු කාරණා සම්බන්ධ සාකච්ඡා කිරීම. දෙවැනි වීඩියෝ වර්ගයෙන් පළවෙනි වැඩේ කරන ගමන්ම චිත්‍රපටයේ Story එකත් කියනවා. එතකොට මචෝ අපේ වර්ග කිරීමට අනුව තුන්වැනි වර්ගයේ වීඩියෝවල කරන්නේ Only චිත්‍රපටයේ Storyය කියන එක විතරයි.

සිරාවට අපිට හිතෙන විදිහට ලෝකෙටත් මේ වරද කිරීම සාධාරණයි කියලා කියන්න පුළුවන්. කොහොම වුණත් ලංකාවේ බහුතරයක් තියෙන්නේ අපි ඔය කිව්ව දෙවැනි වර්ගයේ videos තමා. විනාඩි 10ත් 25ත් අතර කාලයක් ගන්න මේ වීඩියෝ ඇතුළෙ චිත්‍රපටයක් නොබලා එකේ කතාව අහලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන්. මේවට අයත් වීඩියෝවලදී චිත්‍රපටයෙ කතාව කියන නිසා Spoiler alert එකක් දානවා. ඒ කියන්නේ මචෝ මෙහෙම සීන්කෝන් එකක්. කවුරුහරි මේ චිත්‍රපටය බලලාම රසවිඳින්න හිතාගෙන ඉන්නවා නම් මේ වීඩියෝ එක නරඹන්න එපා කියලා පැහැදිලි අනතුරු ඇඟවීමක් මෙතැනදී සිද්ධ වෙනවා. ලංකාවේ වගේම ලෝකේ YouTube Movie Reviews සම්බන්ධව තියෙන ආචාර ධර්මයක් වගේ තමයි ඒ අනතුරු ඇඟවීම.

එතකොට ඔය පළවෙනි සහ තුන්වැනි වර්ගයට අයත් වීඩියෝස් වුණත් යූටියුබ් එකේ සෑහෙන්න තියෙනවා. කතාව කියන්නෙ නැතුව Review එකක් කරන එක තමයි ගොඩාක් දෙනෙක් හිතන විදියට Professional වැඩේ. ඒ වුණාට එහෙම Videos කරන්න ලේසි නෑ. හැබැයි ඒ විදියෙ Reviews කරන ලෝක ප්‍රසිද්ධ Youtubers ලා ඉන්නවා. ඒ වගේම අර අපි කිව්ව දෙවැනි වර්ගයට අයත් වීඩියෝ කරන ඉතාම ජනප්‍රිය අයත් ඉන්නවා. මචෝ මං මේ කියන්නෙ ලංකාවෙ නෙවෙයි ලෝක මට්ටමින්. ලංකාවෙ නම් එහෙම අංක එකේ ජනප්‍රිය චරිතයක් කියලා කියන්න කෙනෙක් නෑ. කිහිප දෙනෙක්ම මේ වැඩේ කරනවා. එයාලට සාමාන්‍ය මට්ටමේ හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම මූණ පෙන්නන්නෙ නැතුව වගේම මූණ පෙන්නලාත් වැඩේ කරන කට්ටිය සීන් එකේ ඉන්නවා.

ලෝකෙ සෑහෙන්න කාලෙකින් අමු YouTube movie reviews තිබ්බට ලංකාවේ මේක ජනප්‍රිය දෙයක් බවට පත්වුණේ වසංගත සමයේ. කවුරුත් ගෙවල්වල හිටපු නිසා YouTube එක පැත්තෙ වැඩිපුර කරක් ගැහුවානේ. Movie reviews වලට වැඩි ආකර්ෂණයක් ලැබුණා ඒ කාලේ. කොහොම වුණත් ලංකාවේ සිංහලෙන් කරන Movie reviews වන අපිට ගොඩක් වෙලාවට හම්බවෙන්නේ එක්කම විදිහෙ සිනමාපට. ඒ කියන්නේ මචෝ අද්භූත, අපරාධ, විද්‍යා ප්‍රබන්ධ ඔන්න ඔය කැටගරි තුනේ චිත්‍රපට තමයි ලංකාවේ අය වැඩිපුර Review කරන්නේ.

කොහොම වුණත් අපි මේ ගැන හොයලා බලපු විදිහට සුපිරියටම වැඩකරන professionals ලා දෙතුන් දෙනෙක් ලංකාවේ. එහෙම කියන්න හේතුවක් තියෙනවා. මේ දෙතුන් දෙනාගෙන් කෙනෙක් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් Review කරනවා කියලා හිතන්නකෝ. අදාළ විද්‍යාත්මක කාරණා යම් පරිමාවකට තමන්ගේ Review එක ඇතුළේ සාකච්ඡා කරනවා. ගොඩක් වෙලාවට ඩීටේල්වයිස් මෙයාලා කරන පැහැදිලි කිරීම් මරු. සමහරක් වෙලාවට ලෝකෙ අංක එකේ Review කෙනෙක් එක්ක සංසන්දනය කරාම භාෂාව විතරයි වෙනස් කියලා හිතෙන මට්ටමේ කිහිපදෙනෙක් ලංකාවෙ ඉන්නවා. හැබැයි අමතක කරන්න එපා ලංකාවෙ ඇතුළෙ සිනමා විචාරකයන් ලෙස තමන්ව හඳුන්වා ගන්න අය නෙවෙයි මේ වැඩේ කරන්නේ.

තවදුරටත් ලංකාවේ සිනමා විචාරයන් කෙරෙන්නේ ඉස්සර වගේම පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය භාවිත කරමින්. අපි මේ කතා කරන්නෙ Movie reviews සහ සිනමා විචාර කියලා කියන්නෙ පැහැදිලිවම දෙකක් කියලා කියන්න ඕනෑ. ඒත් අකමැත්තෙන් වුණත් කියන්න වෙන දේ තමයි ලංකාවේ සිනමාව වගේම විචාර කලාවක් ලෝකෙට සාපේක්ෂව යාවත්කාලීන වෙලා නම් නෑ. එනිසා මේ ඩිජිටල් Digital platform එකක් ඇතුළේ ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ කිහිප දෙනෙක් කරන්න Movie reviews සීන්කෝන් එක අපිට නම් පට්ට. අඩුපාඩු තිබුණත් මොකෝ සිනමාවත් එක්ක යාවත්කාලීන වන අපේ පරම්පරාවට මේ Trend එක හොඳ ආරම්භයක්.

එය නම් මචෝ අදට කතාව ඇති. යූටියුබ් පැත්තෙ කරක් ගහන ගමන් වෙලාවක් ලැබුණොත් Sinhala Movie Reviews පැත්තෙ ගිහින් බලන්න. අපි අද කතාකරපු සීන්කෝන් එක අගමුල සහිතව පැහැදිලි කරගන්න සුදාලාට පුළුවන් වෙයි. ජය වේවා !

► නිසල්