2022 ජනවාරි 01 වන සෙනසුරාදා

නොකළ වැරදි වලට නම් වන්දි ගෙවන්නේ නැහැ... - දිනෙත් ද සිල්වා

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 105

දිනෙත්ට පුංචි කාලෙට යන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලේටද?

එහෙම පුංචි කාලේට යන්නට අවස්ථාවක් ලැබුණොත් මම මගේ පාසල් කාලයේ සාමාන්‍ය පෙළ කරපු කාලයට යන්න ආසා කරනවා. මම ඉගෙන ගත්තේ කොළඹ තර්ස්ටන් විදුහලේ. පාසලේදී මම දක්ෂ රගර් ක්‍රීඩකයෙක්. නමුත් අවාසනාවන්ත විදිහට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලත් එක්ක පැවැති රගර් තරගයකදී මට ලොකු අනතුරක් සිදුවුණා. ඒ අනතුරෙන් බෙල්ලට ලොකු අනතුරක් සිදුවුණා. ජීවිත අවදානමක් පවා වෙන්න බොහෝ ඉඩ තිබුණා. අනතුරෙන් පස්සේ මට රගර් ක්‍රීඩාවෙන් සමුගන්න පවා සිදුවුණා. ඒක මගේ ජීවිතේ ලෝකු දුකක් ඇතිවුණා. එහෙම නොවුණා නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමට වුණත් බැඳෙන්න ඉඩ තිබුණා. මම ගැන පාසැල වගේම මගෙන් ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මගේ ජීවිතේ තිබුණ ඒ සිහිනය අනතුර නිසා කැඩුණා. ආයේ පුංචි කාලේට යන්න තියෙනවා නම් ඒ නතර වුණ තැනින් ආයෙත් මම පටන් ගන්නවා.

නොහිතුව වෙලාවක කලාව ඔයාව ප්‍රතික්ෂේප කරනවා. එහෙම වුණොත්?

එහෙම වුණොත් මම ඒක ආදරයෙන් බාරගන්නවා. මම රංගන ශිල්පියෙක් වෙන්නට හීන මවාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට ඒ රංගන ශිල්පියාව ප්‍රතික්ෂේප වීම ගැන ලොකු දුකක් ඇතිවෙන එකක් නැහැ. උසස් අධ්‍යාපනය කරන්න එංගලන්තයේ හිටපු කෙනෙක්. ලංකාවට ආපු මම වෘත්තීමය නිරෑපණ ශිල්පියෙක් විදිහට කටයුතු කළා. නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළට යද්දී මට රංගන ශිල්පියෙක් විදිහටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. රංගන ශිල්පියෙක් නොවුණා නම් මම ඉගෙන ගත්තු උපාධිය හරහා පෞද්ගලික අංශය යම් නිලයන් දරණ කෙනෙක් වේවි. ඒ නිසා රංගන ශිල්පියෙක් විදිහට ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් මට දුකක් ඇතිවෙන එකක් නැහැ.

නොකළ වරදකට දිනෙත්ට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

සමහරවිට ඒක ජීවිතේ නරක කාලයේදී සිදුවෙච්චි දෙයක් වෙන්තත් ඇති. මම ඒ එනදේට මුහුණ දෙනවා. හැබැයි ඒ නොකළ වරද සම්බන්ධයෙන් මම මගේ නිවැරදිභාවය ඔප්පු කරන්න මහන්සි ගන්නවා. නීතිමය පැත්තෙන් හෝ ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. සත්‍ය කවදා හෝ ජයගන්න බව මම විශ්වාස කරනවා. ජීවිතේට එන හැම කම්කටොලුවලට මම අභියෝගාත්මකව මුහුණ දෙන කෙනෙක්.

දේශපාලනයට එන්නට අවස්ථාවක් වගේම ආරාධානාවකුත් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

මම වෘත්තිමය නළුවෙක් වගේම මිනිසුන්ට ආදරය කරන, ගෞරව කරන කෙනෙක්. මෙතෙක් කල් මම කරපු චරිත හරහා මිනිසුන්ට යම් පණිවිඩයක් ගෙන ගියා. ඒ නිසා දේශපාලනයට යොමුවුණොත් මම සැබැවින්ම මිනිසුන්ට වැඩකරන දේශපාලනඥයෙක් වෙනවා. මගේ කලාව වෙනුවෙන්, මිනිසුන් වෙනුවෙන් මගෙන් විය යුතු යුතුකම මගේ හිතට එකඟව කරනවාය කියන විශ්වාසය මට තියෙනවා. එහෙම නොවුණොත් මම ඒ දේශපාලනයෙන් ඈත් වෙනවා.

හිතපු නැති මොහොතක දිනෙත්ට කෝටි ගණනාවක දිනුමක් ලැබෙනවා. එහෙම වුණොත් ඒ මුදලට මොකද කරන්නේ?

මම මගේ පෞද්ගලික ජීවිතේ වගේම මගේ සහෝදරයන්ට, මගේ මිතුරන්ට මා අවට ඉන්න අයට කරන්න තියෙන දේවල් ටිකක් තිබෙනවා. අද කාලේ පවතින ප්‍රශ්නත් එක්ක මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමාරැවෙන්. ඒ නිසා මට ලැබෙන ඒ ධනයෙන් එක්තරා කොටසක් ඔවුන් වෙනුවෙන් අනිවාර්යයෙන් වෙන් කරනවා. මිනිසුන්ට උදව් කරන්නට ආගමික කටයුතුවලට ඒ මුදලින් කොටසක් මම වෙන් කරනවා.

දිනෙත්ට අධ්‍යක්ෂණයට පිවිසෙන්නට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් ඒකට යොමුවෙනවාද?

ඔව්. මගේ ඉදිරි ජීවිතේ අධ්‍යක්ෂණයට යොමුවෙන්නට ආසාවකුත් තියෙනවා. මගේ හිතේ මම ඇඳගත්තු නිර්මාණ කිහිපයක්ම තියෙනවා. ඉදිරියේදී කරන්නට මගේ අතින් ලියවුණු නිර්මාණ කිහිපයක්ම තියෙනවා. ඒ නිර්මාණවලට මම දායකත්වය දීලා හොඳ නිර්මාණයක් මේ ක්ෂේත්‍රයට ලබලා දෙන්න බොහෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා.

කලාවට අමතරව වෙන ක්ෂේත්‍රයක යම් විෂයක් ගැන ඉගෙන ගන්න දිනෙත්ට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් හදාරණ විෂය මොකක්ද?

මනෝවිද්‍යා මම බොහෝම ආසා විෂයක්. පාසැල් කාලේ මම මනෝ විද්‍යාත්මක පොත පත කියෙව්වා. අදටත් කියවනවා. රංගන ක්ෂේත්‍රයට විතරක් නොවේ. සාමාන්‍ය ජීවිතේ මිනිසුන් හඳුනා ගැනීමටත් ඒ විෂය ගොඩක් උදව් වුණා. ඒ නිසා ඒ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කරන්න මම කැමැතියි.

ඉතාමත් හොඳ නිර්මාණයක ඉතාමත් හොඳ චරිතයක් කරන්න දිනෙත්ට අවස්ථාව ලැබෙනවා. හැබැයි ඒක අඩු බජට් එකක්. එහෙම වුණොත් ඒක බාරගන්නවාද?

මම අනිවාර්යයෙන්ම බාරගන්නවා. මම කරපු සමහර නිර්මාණ මුදල් ගැන හිතන්නේවත් නැතිව චරිතය හොඳ නිසාම බාරගත්තු ඒවායි. මට ඒ නිර්මාණය ඔස්සේ යම්කිසි පණිවිඩයක් මට කළ හැකියි තියෙන විශ්වාස තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම ඒ චරිතය බාරගන්නවා. ඒ නිසා චරිතය හොඳ නම්, මට යම් පණිවිඩයක් ඒ හරහා මිනිසුන්ට දෙන්නට නැතිනම් දෙපාරක් නොහිතාම මම ඒ චරතිය බාරගන්නවා.

අද රටේ පවතින තත්ත්වය හමුවේ බොහෝ තරුණ තරුණියන් විදෙස් රටවලට රුකියා සඳහා යනවා. දිනෙත්ටත් විදෙස් රටක ඉතා ඉහළ වැටුපකට හොඳ රස්සාවකට ආරාධනා ලැබෙනවා. එහෙම වුණොත් විදෙස් ගත වෙනවා?

එහෙම වුණොත් බොහෝ වෙලාවට මම කෙටි කාලයකට විදෙස් ගත වේවි. ඒක මට මානුෂිකව සහ ආර්ථිකමය සැනසිලිදායක අවස්ථාවක් වේවි. ජීවිතේ එකම දේ එකම කාලේ එකම විදිහට වෙනවාට වඩා ජීවිතේ වෙනසක් ඕනවෙනවා. ඒ නිසා මම අලුත් ජීවිතයක්, නැවුම් කාලයක් වෙනුවෙන් ඒ ආරාධනාව බාරගනීවි. එහෙම ගිහින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙලා මම නැවත පැමිණිලා මේ කලා ක්ෂේත්‍රයේ නියැලේවි.

 දිශානි ජයමාලි