2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

සෝබනේට උදව් කරන පුරාජේරු පප්පලා

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 112

“දකුණු අතින් යමක් දෙන කොට වම් අතවත් ඒ ගැන දැනගන්න ඕනේ නෑ” කෙනෙක්ට කරන උදව්වක් උපකාරයක් කළයුතු ආකාරය සම්බන්ධව ලස්සන ආත්තෝපදේශයකින් තමා අද කතාව පටන් ගන්නේ. මොචෝ අද ටිකක් විතර වෙනස් Y Trend එකක් තමා අද අරගෙන ආවේ. ඒ නිසා සීන් කෝන් එක කලබලයක් නැතිව හිමීට ගලපන්නම්.

අපි අද කතා කරන්නේ යූටියුබ් එකේ තියෙන එක්තරා වීඩියෝ විශේෂයක් සම්බන්ධව. මිනිසුන් පුදුම කිරීමට උදව් කිරීම, උදව් කිරීම සඳහා උදව් කිරීම, ජනප්‍රියත්වය සඳහා උදව් කිරීම් තමා මේ වීඩියෝවල වැඩි හරියක් තියෙන්නේ. මේක Trend එකක්. අපේ රටේ නම් වැඩේ සිද්ධ වෙනවා බොහොම අඩුයි. අපරදිග යුරෝපයේ සහ ඇමරිකාවේ මේ වීඩියෝ වර්ග අතිශය ජනප්‍රියයි. කොහොම වුණත් මේ වීඩියෝ එකක් බලලා නතර කරන්න හිතෙන ජාතිය වීඩියෝ නම් නෙවෙයි මචෝ. බැලුවොත් ඇබ්බැහි වෙන සුලුයි. සීන් එක උදාහරණ දෙක තුනක් දීලා ගලපන්නම්.

අපේ සුදාලා මේ වෙද්දී දැකලා ඇති අපි මේ කියන සීන් එක. පොඩ්ඩක් මතක් කරලා බලන්න YouTube එක පැත්තේ කැරකෙන කොට මේ වගේ, Video දැකලා තියනවාද? කෙනෙක් වයර් තියෙන හෑන්ඩ් ෆ්‍රී එකක් කනේ ගහගෙන සිංදුවක් අහනවා. එයා ඉන්නේ පොදු ස්ථානයක. ඒ කියන්නේ මචෝ පාක් එකක බංකුවක නැත්නම් පුස්තකාලයක, බස් නැවතුමක වගේ තැනක. ඔන්න කතුරක් අතින් ගත්තු කෙනෙක් හිමීට මෙයා ළඟට ඇවිල්ලා. එකපාරට අර හෑන්ඩ් ෆී එකේ වයර් එක කපලා දුවනවා. වැඩේ කවුරු හරි දුර ඉඳලා වීඩියෝ කරනවා. ඊට පස්සේ කතුරෙන් වයර් එක කපපු කෙනා එනවා. ඇවිල්ලා අරයට Bluetooth airpods එකක් දෙනවා. ඒ කියන්නේ වයර් තියෙන් හෑන්ඩ් ෆ්‍රී එකට වඩා හොඳ සුපිරි එකක් තමා මෙතැනදී දෙන්නේ.

මේ වගේ සිද්ධි ගණනක් එකතුකරලා තමා මචෝ අපි මේ කියන ජාතියේ වීඩියෝ එකක් හැදෙන්නේ. එක එක අයගේ ප්‍රතිචාර එකින් එකට වෙනස්. ඒ නිසා මේ වගේ වීඩියෝ බලා ගෙන ඉන්න ආසයි. සමහරු පාරේ ඉන්න මිනිස්සුන්ගේ Smart Phone පොළොවේ ගහලා ඒ අයට Apple Phone New Version එකක් එයාට දෙනවා. මේවා වගේ වීඩියෝවලට Views මිලියන ගණන් වලින් තියෙන්නේ මචෝ. එක අතකට මේ වැඩේ කරන්නෙ Trending වෙන්න බලාපොරොත්තුවෙන්ම තමයි. හැබැයි මේ වීඩියෝ ඔස්සේ කාට හරි දෙයක් ලැබෙනවා. ඒ නිසා youtube යූටියුබ් එකේ ප්‍රසිද්ධ ෆෑන්ක් වීඩියෝවලට වඩා මේවා ජනප්‍රියයි.

අපේ ලංකාවේ යාචකයෝ කියලා ජාතියක් ඉන්නවානේ මචෝ. යුරෝපය ඇමරිකාවේ එයාලට කියන්නෙ homeless people කියලා. පාරක් අයිනේ කොළයක් එල්ලාගෙන පොඩි බෝඩ් ලෑල්ලක උදව් කරන්න කියලා ලියලා පැත්තකින් තියාගෙන මෙයාලා ඉන්නවා සුදාලා ෆිල්ම් එකක හරි දැකලා ඇති. මේ අයත් මේ ජාතියේ වීඩියෝවල ලොකු ඉලක්කයක්. මේ වගේ අයට ගිහිල්ලා ලොකු මුදල් ප්‍රමාණයක් ලබාදෙන වීඩියෝ නැත්නම් සුපිරි කෑම වේලක් ලබාදෙන වීඩියෝ දහස් ගාණක් මේ වෙද්දී යූටියුබ් එකේ තියෙනවා. එහෙම දේවල් දෙද්දී මේ අසරණ මිනිස්සුන්ගෙ රියැක්ෂන් එක තමයි හැමෝම බලන්න උනන්දු වෙන්නේ.

පොඩ්ඩක් හොයලා බැලුවම තේරෙනවා මචෝ මේ වගේ වීඩියෝ කරන්නේ කරන තරම් සල්ලි තියෙන අය. නැත්තං YouTube එකෙන් මේ වැඩෙන් හොඳටම උපයන්න පුළුවන් කියලා හිතන අය. සමහරු වෙන්නම ඇත්තටම උදව් කරද්දී උදව්ව ලබන කෙනාගෙ මූණ blur කරලා පෙන්නන්න. ඒ අතර සමහරු අමු අමුවේ සම්පූර්ණයෙන්ම සිදුවීම වීඩියෝ කරලා. ඒක නෙවෙයි සුපිරිම වැඩේ. සම්පුර්ණ සිදුවීම බොරුවට හදලා ඒක වීඩියෝ කරලා අපිව රවට්ටන කට්ටියත් සීන් එකේ ඉන්නවා. ඒ කියන්නේ ඔක්කොම නළුවෝ. මේ වගේ video සම්බන්ධව ලෝකෙ මත ගොඩක් තියෙනවා. සමහරුන් මේවට බොහොම කැමති ඒ වගේම තවත් අය මේවා බොහොම තදින් විවේචනය කරනවා.

අපි සීන් එක පටන් පටන් ගනිද්දිම කතාවක් කිව්වා. “දකුණු අතින් යමක් දෙනකොට වම් අතවත් ඒ ගැන දැනගන්න ඕනේ නෑ” මෙන්න මේ ආකල්පය ඉන්න අය තමයි මේ වැඩේ බොහොම දරුණු විදියට විවේචනය කරන්නේ. ඒගොල්ලො කියන විදියට ඇත්තටම මේ වීඩියෝ කෙරුවාව සන්දර්ශනයක් විතරයි. මේ වැඩේ ඇතුළෙ මිනිස්සුන්ට උදව් කිරීම කියන උවමනාවක් නෑ. ඒ නිසා මේ වගේ video වීඩියෝ කරන කට්ටියගේ වැරදියි කට්ටියගේ වැරදි අඩුපාඩු හොයලා ඒවා ගැන වීඩියෝ කරන අයත් ඉන්නවා.

මේ වීඩියෝ හොඳයි කියලා පෙනෙන්න ඒ කියන්නේ වෙනම කතාවක්. මේ වගේ වීඩියෝ හරහා කෙනෙක්ට උදව් කරන්න මිනිස්සුන්ව දිරිගැන්වෙනවා කියලා ඔවුන් කියනවා. ඒ වගේම කාට හරි උදව්වක් මෙය හරහා සිද්ධවෙන නිසා බොරුවට මේ ගැන විවේචන කරලා වැඩක් නැහැයි කියලා මතයක් ඉදිරිපත් වෙනවා. මේ වගේ වීඩියෝවල කමෙන්ට් තීරුවට ගියොතින් අපි කියන මේ දේවල් සුදාලා හොඳට බලාගන්න පුළුවන්. වාද විවාද මතවාද ඕනතරම් ඒ වගේ තියෙනවා. කොහොම වුණත් සද්භාවයෙන් මේ වගේ වැඩකරන අය නැහැයි කියලා අපිට කියන්න බෑ. ඒ වගේම මේ වැඩේ කරන්න හැමෝම සද්භාවයෙන් මේ වැඩේ කරනවා කියලත් අපිට කියන්න බෑ. ඒත් එක දෙයක් බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. මේ වීඩියෝවලට නම් යූටියුබ් එකේ විශාල වටිනාකමක් ලැබෙනවා.

අපිට මේක එච්චර  හුරුපුරුදු  නෑ. මෙහෙයුම ලොකු trend එකක් ලෝකේ තියනවද කියලත් අපේ සමහරු දන්නේ නැතුව ඇති. මොකද ලංකාවෙ මේ සීන් එක ඇත්තේම ඇත්තෙම නැතිතරම්. අපි දැක්කා YouTube channel දෙක තුනක් මේ වගේ වැඩකරන්න උත්සහ කරනවා. නමුත් වැඩේ ඉස්සරහට ඇදගෙන යන්න ලංකාවේ කාටවත් බැරිවුණා. ඒකට හේතුව නම් සුදෝ අපේ රටේ සමාජ සංස්කෘතික පදනම. හැබැයි මේ වෙද්දී ඉන්දියාවේ නම් මේ නැගලා යනවා. ඇමරිකානු ආභාෂය අරගත්තු ඉන්දියානු යූටියුබ් චැනල් ගොඩක් මේ වැඩේට අතගහලා ඉන්නේ. ඉන්දියාවේ ඇති නැති පරතරය හින්දම මේ වැඩේ තවදුරටත් Trend වේවී කියලා තමා අපිට නම් හිතෙන්නේ. ඉතින් මේ සීන් එක පිළිබඳ සුදා රටක් යූටියුබ් එකේ ෆේස්බුක් එකේ පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. ඇත්තටම අපි කිව්වට සීන් කෝන් එක හරියටම තේරුම් ගන්න වීඩියෝ 4ක් 5ක් වත් බලන්න වෙනවා.

ඔන්න ඔහොමයි අද කතා. මුලින්ම කිව්වනේ අද සීන් එක වෙනස්. ආපු නම් මදි වගේ. කොහොම වුණත් අවසානයේදී කියන්න වෙන්නේ දුන් දේ සුවඳයි කෑ දේ ගඳයි කියලා කියමනකුත් තියනවානේ අපේ අතර. ඒ නිසා කාට හරි යමක් ලබාදෙන එක බොහෝම හොඳයි. ඒත් මුලින් කිව්ව වගේ අපි යමක් ලබාදෙන්න ඕන පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී.