2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

ඛාන් හින්දා තැනක් හදාගත්තා - කාංචනා ඛාන්

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 193

කාංචනා.... මේ දවස්වල මොනවද කරන්නේ?

මේ දවස්වල ලාල් ප්‍රියදේව මහතා අධ්‍යක්ෂණය කරන, සුනිල් ටී. මහතා නිෂ්පාදනය කරන ඒක පුදුම කතාවක් චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. මේ වෙද්දී රූගත කිරීම් බොහෝ දුරට අවසන් කරලයි තියෙන්නේ. සංස්කරණ කටයුතු සිදුවෙමින් පවතිනවා. ලබන අවුරුද්දේ මුල් කාලයේදී විතර මේ චිත්‍රපටය තිරගත වෙන්නට අවස්ථාව උදාවේවියැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ චිත්‍රපටයේ මම උප ප්‍රධාන චරිතයක් රඟපෑවා.

මේ කාංචනාගේ පළමු සිනමා නිර්මාණයද?

නැහැ. මේ මගේ දෙවැනි සිනමා පටයයි. පළමු චිත්‍රපටයේ මම බොහෝම පොඩි චරිතයක් කළේ. නමුත් ඒක මට ලොකු අත්දැකීමක් වුණා... ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් යටතේ කරපු සූර්යා චිත්‍රපටයෙන් මම බොහෝ දෑ ඉගෙන ගත්තා.

නිළියක් වෙන්න කාංචනා පුංචි කාලේ ඉඳන් ආසා කළාද?

අම්මෝ ඔව්... පුංචි කාලේ ඉඳන් දැකපු හීනය තමයි මේ. ළදරු පාසැල් යන කාලේ ඉඳන්ම නර්තනයට ගොඩක් ආසයි. ගොඩක් දක්ෂයි. ගෙදර ඉඳිද්දීත් රෑපවාහිනිය, බලමින් මම තනියම නැටුවා. කාමරේට වෙලා දොර වහගෙන මම එක එක්කෙනාගේ චරිත අනුව රඟපෑවා. අම්මාගේ ලිප්ස්ටික් ගාගෙන, අම්මගේ සපත්තු දාගෙන ලොකු සායක් ඔළුවේ වටේ කොණ්ඩේ වගේ ඔතාගෙන මම විවිධ චරිත තනියම රඟපෑවා. මගේ අම්මගේ මල්ලි ඇවිත් මේ රඟපෑම් දිහා ජනේලයෙන් බලාගෙන හිටියා. මගේ යාළුවෝ එක්ක ඩෙක්ස් පුටු එකට තියලා ඒවා උඩ නැගලා නාට්‍ය කළා. ඒ තිබුණ ආසාව ලොකු වෙද්දිත් අඩුවුණේ නැහැ. පාසලේදීත් හැම බාහිර ක්‍රියාකාරකමකටම මම සම්බන්ධ වුණා... සමස්ත ලංකා නාට්‍ය තරගවලට සහභාගිවෙලා ජයග්‍රහණය පවා ලබාගත්තා. කුඩා කාලයේදී සිටම මම රූපවාහිනි වෙළඳ දැන්වීම්වලට සහභාගි වුණා.

කාංචනා ඛාන් කියන්නේ සැබෑ නමද?

නැහැ... මගේ ඇත්ත නම පොල්වත්තේ දෝන කාංචනා ජයලත්. මම වසර ගණනාවක්ම නර්තනය හැදෑරුවා. නර්තන පන්ති තුනකට සහභාගි වුණා. මේ පන්තිවලදී මට යාළුවෝ කණ්ඩායමක් හිටියා. ඒ අය මගේ කාංචනා නම කෙටි කරලා ඛාන් කියලා කතා කළා. ඔය කාලයේදී අපි හින්දි චිත්‍රපට බලන ලොකු පිස්සුවක් තිබුණා. ඒ නළු නිළියන් රඟපාන, ඇවිදින විදිහ අපි අනුකරණය කළා. ඒ නිසා මේ ඛාන් කියන නමට මාත් ආසා කළා. මම කාංචනා ඛාන් විදිහට මගේ මුහුණු පොතේ පාවිච්චි කළා. ඒ නිසාම මගේ නම ගොඩාක් විශේෂ වුණා. ඒක මම දැන් මගේ නම විදිහට පාවිච්චි කරනවා.

එහෙම නම වෙනස් කරනවාට ගෙදරින් අකමැති වුණේ නැද්ද?

මුල් කාලයේදී නම් කට්ටිය එක එක දේවල් කිව්වා. මේ නම අපිට ගැලපෙන්නේ නැහැනේ. ඔයාගේ වාසගම පාවිච්චි කරන්න* කියලාත් කිව්වා. මම අභියෝගවලට බය නැහැ. මම අනිත් අය නොකරන දේවල් කරන්න කැමැති කෙනෙක්. මේ ක්ෂේත්‍රයේ හෝ වෙනත් තැනක මගේ නම භාවිත කරලයි ඉදිරියට ආවේ. වෙන වෙන දේවල්වලින් ක්ෂේත්‍රයේ තැන හදාගන්න මම මහන්සි වුණේ නැහැ. මම මගේ දක්ෂතාත් එක්ක මේ නමින් බොහෝම හෙමින් ගමනක් ආපු කෙනෙක්.

කාංචනාගේ අක්කාත් කලාකාරියක්. ඇගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඔව්. මගේ අක්කා මනීෂා නාමල්ගම. මම රෑපවාහිනී වෙළඳ දැන්වීම් කරද්දී අක්කා රඟපෑවේ නැහැ. ඒ වෙද්දි අක්කා රුකියාවක් කරමිනුයි හිටියේ. මම සාමාන්‍ය පෙළ කරලා නර්තනය කරද්දී අක්කා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. මේ වෙද්දී අක්කත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා. අක්කාගෙන් මට ලොකු සහයෝගයක් තිබෙනවා. මගේ අඩුපාඩු පෙන්වලා දෙනවා. හැබැයි කිසිම දවසක, කිසිම වැඩකදී මම අක්කාගේ නම පාවිච්චි කරලා අක්කා හරහාවත්, නිර්මාණවලට සම්බන්ධ වෙලා නැහැ. පුංචි කාලේ ඉඳන්ම රූපවාහිනියේ විවිධ වැඩසටහන්වලට මම සහභාගි වුණා. ගෙදරින් වුණත් සමහර දවස්වලට බැණුම් අහපු දවස් පවා තිබුණා. හැබැයි ක්ෂේත්‍රයට තිබුණු ආසාව නිසාම යාළුවෝ එක්ක ඒවාට සම්බන්ධ වුණා. ඒ නිසාම මගේ නෑදෑයෝ පවා කොච්චර කළත් මෙයා යන එක නතර කරන්නේ නැහැනේ. මෙයා මෙතනට ගිහින්ම තමයි නතර වෙන්නේ කියලා කිව්වා. මුලින් නම් අක්කාත් නංගි නම වෙනස් කරමු කියලා කිව්වා. හැබැයි දැන්නම් එහෙම නම වෙනස් කරන්න කියලා කවුරුත් කියන්නේ නැහැ.

කාංචනාගේ මුල්ම ටෙලිනාට්‍ය රංගනය මොකක්ද?

මුලින්ම රඟපෑවේ අරුණ ධනංජිත් අය්යා අධ්‍යක්ෂණය කළ දාස්පෙතියා නාට්‍යයේ මුතූ කියන ගැමි ගැහැනු ළමයෙක්ගේ චරිතයක්. නමුත් තවමත් ඒ නාට්‍ය විකාශනය වුණේ නැහැ. ඊටපස්සේ රොෂාන් කුරුප්පු අයියාගේ නිරාවරණය නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මම රඟපෑ, මුලින්ම විකාශනය වුණු නාට්‍ය වෙන්නේ ඒකයි.

කාංචනාගේ ඊළඟ බලාපොරොත්තු මොනවාද?

මේ වෙද්දී චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ චරිත දෙකම අභියෝගාත්මක චරිත දෙකක්. කොහොමටත් වෙනස් විදිහේ අභියෝගාත්මක චරිත කරන්න මම හරි කැමැතියි. මේ වෙනවිටත් මම ඒ ලැබුණ චරිත දෙක වෙනුවෙන් කැපවෙලයි ඉන්නේ. චරිතයක් ලැබුණට පස්සේ මම ඒ චරිතයට අනුව හැඩගැහෙන්න උත්සාහ ගන්නවා. මේතාක් මම රඟපෑ චරිත ගැන වුණත් මට තියෙන්නේ ලොකු සතුටක්.

 ► දිශානි

සේයාරූ - සුමුදු හේවාපතිරණ