2017 මැයි 06 වන සෙනසුරාදා

මම සංගීතයට හරිම අාසයි - ඒත් අපිට සංගීතය තහනම්

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133

සංගීතයෙන් “නිවන්” සොයන බිබිලදෙණියේ මහානාම පොඩි හාමුදුරුවෝ

ඔබ වහන්සේ සංගීතය ආශ්‍රයෙන් නිර්මාණ බිහිකරලා තියෙනවා. හාමුදුරුනමක් සහ සංගීතය අතර බැඳීමක් තියෙනවාද..?

මම සංගීතය ගොඩනැගීමේ ආයතන එක්ක සම්බන්ධ වෙලා නෑ. නමුත් සංගීතය කියන්නේ සෞන්දර්යාත්මක විෂයයක්. මම දකින සංගීතය මේ ඩොලැක්කි තබ්ලා වැනි වාද්‍ය භාණ්ඩ ගැන එහෙම නෙමේ. සංගීතය තිබෙන්නේ මේ ස්වභාව දහමේදී අපිට දැනෙන ශබ්ද තුළ. ඒ ශබ්ද අපේ මනසත් එක්කයි බැඳෙන්නේ. මිනිස්සු තමයි මේ ටික එකතු කරලා සංගීතය කියලා විෂයක් හදලා ඒක ඇහෙන්න සලස්වන්නේ. සංගීතය කියන්නේ පොදු දෙයක්. අපි හැමෝ තුළම ඒ සංගීතය බැඳිලා තියෙනවා.

ඔබ වහන්සේ සංගීතයට කිට්ටු වුණේ කුඩා කල පටන්ද...?

පුංචි කාලෙත් මම සංගීතයට සම්බන්ධයි. නමුත් මම භික්ෂූන් වහන්සේ කෙනෙක් වූවාට පසුව ඒ ඇලීම තවත් වැඩි වුණා.

පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි වැනි ස්වාමීන් වහන්සේලා ගීත නිර්මාණය කළ ස්වාමීන් වහන්සේලා. සංගීතය ස්වාමීන්වහන්සේලාට අකැපැයි කියලා කවුරු හරි කිව්වොත්....

අපේ විනය ශික්ෂාපදයක් තියෙනවනේ “නච්ච ගීත වාදිත” කියලා. මේ ශික්ෂාපදයත් එක්ක අතීතයේ ඉඳන්ම භික්ෂූන් වහන්සේලාට මේක හොඳ විදිහට භාවිත කරන්නේ කොහොමද කියන ගැටලුව තියෙනවා. මේ විෂයට විතරක් නෙමේ. තව විෂයයන්වලට ඒක එනවා. පෞද්ගලිකව මෙය විෂයයක් විදියට ඉගෙන ගත්තට සිවුරු දරන අපි මේක භාවිත කිරීමේදී පරිස්සම් වෙන්න ඕනේ.

හාමුදුරුවනේ බොහෝ දෙනා සංගීතය භාවිත කරන්නේ විනෝදාස්වාදය සඳහා නේද?

ඔව්.... ලෝකේ මිනිස්සුන්ගෙන් 99%ක්ම සංගීතය භාවිත කරන්නේ විනෝදාස්වාදය සඳහායි. නමුත් මේ හැම විනෝදාස්වාද විෂයයකම ආධ්‍යාත්මක පැත්තකුත් තියෙනවා. කාට හරි පුළුවන් නම් ඒ අධ්‍යාත්මික පැත්ත අවදි කරගෙන කාට හරි ප්‍රයෝජනවත් යමක් කරන්න ඒක ගිහිද පැවිදිද කියලා වෙනසක් නෑ.

ඔබ වහන්සේගේ නිර්මාණ ටෙලිනාට්‍ය හෝ සිනමා නිර්මාණවලටත් යොදාගත්තා නේද?

මගේ අවසරයක් නැතිව එක්තරා මාධ්‍ය ආයතනයක නිර්මාණයකට මගේ නිර්මාණයක් යොදාගත්ත අවස්ථාක් තිබුණා. පසුකාලයේදී මම නිර්මාණ කළා. ඒවාට මම මගේ සහයෝගය ලබාදුන්නා. දේවින්ද කෝංගහගේ මහත්තයාගේ “සසර වස්සාන” නම් ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණා. මේ දිනවල දේවින්ද කෝංගහගේ චිත්‍රපටයකටත් සම්බන්ධ වෙනවා. ඒකත් ඉතිහාසය ගැන කියවෙන කතාවක්. හැබැයි මට රුල්ලේ තියෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහසක් නෑ.

ඔබ වහන්සේ කළ නිර්මාණයන් අතරින් ඔබවහන්සේ වඩාත්ම කැමති නිර්මාණය මොකක්ද?

හැම නිර්මාණයක්ම කරන්නේ යම්කිසි හේතුවක් ඇතිවයි. මේ හැම නිර්මාණයකම වැදගත් මුලාශ්‍රයක් තියෙනවා. ඒ හැම නිර්මාණයකටම මම කැමතියි.

අලුතින් කළ නිර්මාණ එකතුවක් ඔබවහන්සේ සතුව පවතිනවා නේද?

ඔව්. කලින් කළ නිර්මාණ එකතුවක් අපි කලින් එළිදැක්වූවා. ඒක සී.ඩී. එකක්. මේ අවුරුද්දෙත් මම සංගීත එකතුවක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ වැඩකටයුතුවලට තමයි මේ දවස්වල මහන්සි වෙන්නේ....

ඒ මොනවගේ නිර්මාණ එකතුවක්ද?

අපි මේ පරිසරයෙන් ඉගෙන ගත්තු දේවල් බොහෝයි. ඒ මේක තනි මගේ වෑයමක් නෙවේ. නිර්මාණයක් කියන්නේ තනි වෑයමක් නෙමේ. මේ නිර්මාණ එකතුවේදී මම විතරයි භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් සම්බන්ධ වෙන්නේ. අනෙක් හැමෝම ගිහියෝ. හැබැයි අපි මේ වානිජ රැල්ලත් එක්ක යන පිරිසක් නෙමේ. නිර්මාණයක් බිහිවන්නේ මේ හැමෝගේම එකතුවෙනුයි. මෙහි අදහස මගේ.

කොපමණ නිර්මාණ සංඛ්‍යාවක් එහි ඇතුළත්ද?

නිර්මාණ එකොළහක් එහි තිබෙනවා. මාධ්‍ය මූලික කරගෙන නිර්මාණ කරගෙන එකතුවූවක් තමයි මේ. ඒකේ සින්දු නෑ. සංගීත ඛණ්ඩ විතරයි. මිනිස්සු ජීවිතේ විවිධ අවස්ථා අරගෙන සංගීත ඛණ්ඩ නිර්මාණ කරලා තියෙනවා. සංගීත භාණ්ඩ දහඅටක් අපි උපයෝගී කරගත්තා. ජීවිතේ තනිකම, ජීවිතේ මඟහැරුණ තැන් එක්ක මනස සංසුන් කරගන්නට මේ සංගීතය ඉවහල් වෙනවා.

වෙසක් පොහොය නිමිත්තෙන් ඔබවහන්සේ ගීතයක් නිර්මාණය කළා නේද?

ඔව්... වෙසක් පෝය නිමිත්තෙන් එක් ගීතයක් මම කළා. ඒක ලියුවේ සෝරත හාමුදුරුවෝ. මම සංගීතය කළා. ඒක ගායනා කරන්නේ ජගත් වික්‍රමසිංහ මහතායි.

සින්දුවලට මුහු වෙන්නෙත් පැවිදි ජීවිතයේ අත්දැකීම්ද?

මගේ ගම බිබිලාදෙණියේ. මම පැවිදි දිවියට ඇතුළත් වුණේ මට අවුරුදු දහයේදී. ඒ නිසා පැවිදි ජීවිතේ මම දැකපු අත්දැකීම් තමයි මම සංගීතයට උදවු කරගන්නේ. 

Text – Jayamali / PiC - Sumdu