2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

දකුණේ ඇවිදින්න මාර ආසයි

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 110

අද මගේ තේරීම ඉෂාර මධුෂාන් සමඟයි. ඉෂාර කියනවාට වඩා දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ රදීශ් කිව්වොත්නම් ඔයාලට ඉෂාරව මතක් වේවි. සංයුක්ත ගණිත ගුරැවරයෙක් වන ඉෂාරගේ තේරීම ගැන අපි ටිකක් අහලා බලමු.

කොවිඩ් කාලයේදී වැඩිපුරම හිත ගියේ?

කොවිඩ් කාලයේදී වැඩිපුරම හිත ගියේ මම කරන පන්තිවලට තමයි. මම සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින නංගිලා මල්ලිලාට ගණිත විෂය, උසස් පෙළ සඳහා පෙනී සිටින නංගිලා මල්ලිලාට සංයුක්ත ගණිතය උගන්වනවා. ඒ නිසා කොවිඩ් කාලයේදී online ක්‍රමයට ඒ විෂයන් මම ඉගැන්වුවා. ඊට අමතරව %දෙවැනි ඉනිම^ රෑගත කිරීම් කරන කාලයේදී ඒ වැඩවලටත් සම්බන්ධ වුණා. ඉතින් එහෙම තමයි කාලය ගෙවුණේ. අදටත් හරිම පරිස්සමින් ඒ වැඩවලට සහභාගි වෙනවා.

ජීවිතේ ආයෙ ආයෙත් අහන්න කැමති ගීතය?

මම ගීත බොහොමයකම කැමතියි. ඒ අතරින් නිලාන් ප්‍රනාන්දු ගායනා කරන යන්නම් ඔබ ගාවින් ගීතයට මම ගොඩක් කැමතියි. ඒකෙ රෑප රචනාවට ඉන්නෙත් මමයි.

යන්නම් ඔබ ගාවින් මං
ඉන්නෑ කරදරයක් වෙලා
සත්තයි මං දිව්රන්නම්
යනවා ඔබෙන් ඈත්වෙලා

යාළුවන් මුණගැහුණාම වැඩිපුරම කතා කරන්නෙ?

අම්මෝ.. එහෙම කතා කරන්න එක මාතෘකාවක් නැහැ. ඉස්කෝලෙ යාළුවෝ මුණගැහුණාම ඒ කාලේ ගැන කතා කරනවා. කොවිඩ් කාලය ගැන කතා කරනවා. එක එක කාලවලදි එක එක තැන්වලදි අපි කතා කරන මාතෘකා වෙනස් වෙනවා. කොවිඩ් නිසා යාළුවොත් එක්ක එකතුවෙලා හුඟ දවසකින් අපිට ට්‍රිප් එකක් යන්නත් බැරි වුණා. ඒ නිසා ඔය ට්‍රිප් එකක් යන්න පුළුවන් වෙන්නෙ කවද්ද කියලත් කතා වෙනවා.

පුංචි කාලයට යන්න ඇත්නම් යන්න ආසා කරන්නෙ?

මම හරි ආසයි මගේ සාමාන්‍ය පෙළ පන්තිවල ඉගෙන ගත්ත කාලයට යන්න. පාසලේදි මම වැඩිපුරම මුල්තැන දුන්නේ මගේ අධ්‍යාපනයටයි. මට පුංචි කාලේ ඉඳන් හොඳට ඉගෙනගෙන ජීවිතය දිනන්න ඕන වුණා. ඒ ඉලක්කයත් එක්ක තමයි පාසලේදි මම අධ්‍යාපන කටයුතු කළේ. බාහිර ක්‍රියාකාරකම්වලට යොමු වුණත් පාසලේදි මුල්තැන දුන්නෙ අධ්‍යාපනයටයි.

ආසා කරන ක්‍රීඩාව?

මම ක්‍රිකට් සෙල්ලම් කරන්න හරි ආසයි. පාසලේදිත් මම ක්‍රිකට් සෙල්ලම් කළා. දැනටත් යාළුවෝ එකතු වුණාම අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා.

ආසා කරන වාහනය?

මම BMWi8 වාහනයට හරි ආසයි.

කැමතිම පර්ෆියුම් එක?

එහෙම විශේෂ පර්ෆියුම් වර්ගයක් මම පාවිච්චි කරන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් මම පර්ෆියුම් පාවිච්චි කරන්න වැඩි කැමැත්තක් දක්වන්නෙ නැහැ.

ලංකාවේ ආයෙ ආයෙත් යන්න ආසා කරන තැන?

මම වැඩිපුරම කැමති දකුණු පළාතේ ඇවිදින්න යන්න. හික්කඩුව, මාතර යන්න ආසයි. මුහුදු වෙරළේ නාන්න යන්නත් මම හරි ආසයි. කොවිඩ් එන්න පෙරනම් අපි යාළුවෝ සෙට් එක ගාල්ල, පොල්හේන එහෙම යනවා. කොවිඩ් නිසා ඒ ඇවිදින්න යන්න තියෙන අවස්ථා නැති වුණා.

කෙනෙකුට තෑග්ගක් තෝරද්දි හිත වැඩිපුරම යන්නෙ?

ඒකනම් ඒ තෑග්ග දෙන කෙනා අනුව වෙනස් වෙනවා. මම ඒ කෙනා ආසා කරන දේවල් ගැන දන්නවානම් ඒ ආසා කරන තෑග්ගක් අරගෙන දෙනවා. එහෙම දන්නෙ නැති කෙනෙකුට තෑග්ගක් තෝරද්දිනම් ටිකක් ප්‍රශ්නයක් තමයි. ඒ වගේ වෙලාවට මගේ හිත ගිය තෑග්ගක් හරි වවුචරයක් හරි තෑගි දෙනවා.

කාගෙන් හරි තෑග්ගක් ලැබෙනවානම් ආසා කරන්නෙ?

මම සපත්තුවලටයි ටීෂර්ට්වලටයි හරි කැමතියි. ඉතින් මම ගැන දන්න අය වැඩිපුරම තෑගි දෙන්නෙ ඒවා තමයි.

කොච්චර කෑවත් එපාවෙන්නෙ නැත්තෙ?

අයිස්ක්‍රීම් කොච්චර කෑවත් එපාවෙන්නෙ නැහැ.

ජීවත් වෙන්න කැමති?

මගේ පාඩුවේ නිදහසේ සරලව කාටවත් කරදරයක් නැතිව මේ ගෙවන ජීවිතයට මම කැමතියි. 

 දිශානි