2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

ආදරය දැෙනන තැන යන්න... නැවතී ඉන්න

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 79

ආදරය දැනෙන තැන්වල සහේතුකව හෝ අහේතුකව අපි නවතිනවා. ආදරය දැනෙන තැන් අපිට දැනෙනවා. ආදරය කියන්නේ මහා පුදුමාකාර හැඟීමක්. ආදරය කියන්නේ ධනාත්මක වෛසරයක් වගේ, පරාර්ථකාමී විදිහට බාරගන්න දරාගන්න විඳගන්න පුළුවන්නම්..

ඒ බැඳීම හරි අමුතුයි. ජීවිතය දැනෙන වෙන බැඳීමක් මම හිතන්නේ ආදරයක් ළඟදි ඇරෙන්න වෙන හැඟීමක් ළඟදි නොදැනෙන තරම්. 
මට එහෙම හිතුණෙ පහේලි චිත්‍රපටය බලද්දි. ඒක මහ අමුතුම ආදර කතාවක්. ආදරය විඳින වියේදිම ජීවිතය අත්හැර යන අය ඉන්නවා. මට හිතෙන්නේ ඒ අය මරණයෙන් පසුවත් ආදරයම හොයනවා. එහෙම ආදරය හොයන සුන්දර භූතයෙක් මනමාලියක් වෙලා යන සොඳුරු තරුණියක් පිටුපස එනවා. ඇයට ලැබෙන්නේ ඇය බලාපොරොත්තු වුණු විදිහෙ ආදරණීය සැමියෙක් නෙවෙයි. විවාහයට පසුදාම ඔහු යනවා තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න නගරයෙන් පිට. එහෙම ගියාම ආයෙත් ඔහු එන්නේ තව දුර කාලයක් ගිහින්. ඔහුගේ ජීවිතය ඒ ව්‍යාපාර මිසක් ආදරය නෙවෙයි. ඒත් ඇයට ඕනෑ ස්වාමියකුගේ ආදරය රුකවරණය. ඒ හිස්තැනට ඇගේ ස්වාමියාගේම වේෂයක් අරගෙන එන්නේ අර භූතයා. අවසානයේදි ඇය දැනගන්නවා මේ තමන්ගේ සැමියා නෙවෙයි කියලා. එහෙත් ඒ කිසිවකුට ඒ ආදරය වෙනස් කරන්න බැරි වෙනවා. ඒ අවසානය කොයි තරම් සුන්දරද කියනවනම් ඔහු අවසානයේදි ඇගේ සැමියාගේ සිතට ඇතුළු වෙනවා. භෞතිකව ඇගේ සැබෑ ස්වාමියාගේ හදවත තුළ හැසිරෙන්නේ ඒ ආදරණීය භූත සැමියා.

මේ කතාව යථාර්ථය හා කොයි තරම් දුරට අවසඟව යනවද කියලා ඔබට හිතෙන්න පුළුවන්. එවැනි කතාවක් කවදාවත් හැබෑ ලෝකයේ සිදුවෙනවද නැද්ද කියලා ඔබ තර්ක කරන්න පුළුවන්. මට ඕනෑ ඒ යථාර්ථය ගැන ඔයත් එක්ක කතා කරන්න නෙවෙයි. ඒත් ගැහැනියක් හෝ පිරිමියෙක් ආදරය කියන හැඟීම ළඟ කොයි තරම්නම් සංවේදීද කියන කාරණාව ගැන කතා කරන්න.

ජීවිතය කියන්නේ භෞතික සාධක මත විතරක්ම ගොඩනැගුණු දෙයක් නෙවෙයි. මිනිසුන්ගේ අවශ්‍යතා, කෑම බීම, ඉන්න හිටින්න තැනක්, යන්න වාහනයක් විතරක් නෙවෙයි. අවශ්‍යතා කියන්නේ සමාජයීය අවශ්‍යතා, පුද්ගල අවශ්‍යතා වගේම මානසික අවශ්‍යතා. මට හිතෙන්නේ ජීවිතයක සාර්ථකත්වය, ජීවිතයක වින්දනය කියන්නේ මේ අවශ්‍යතා ත්‍රිත්වයම සම්පූර්ණ කර ගැනීම. අවශ්‍යතා මානව වර්ගයාගේ එක හා සමාන වෙන්න පුළුවන්. ඒත් වුවමනාවන් මිනිසුන්ගෙන් මිනිසුන්ට වෙනස් වෙනවා. වුවමනා මත ඉල්ලීම් වෙනස් වෙනවා. අවශ්‍යතා විශ්වරෑපී වුවමනා වුණත් වුවමනාවන්ගේ ස්වරෑපය වෙනස් වෙන්නේත් වුවමනා ගැටගැහෙන්නේත් ආධ්‍යාත්මික කැමැත්ත මත. ආදරය කියන කාරණයේදිත් එහෙමයි.
ඒත් හරිම ආදරණීය විදිහට ආදරය ඉල්ලා හිඳින මිනිස්සු, ආදරය භුක්ති විඳින්න කැමති මිනිස්සු ආදරය ගැටගහන්නේ භෞතික කාරණාත් එක්ක නෙවෙයි.

මේ ලෝකයේ හුඟාක් මිනිස්සු ළඟ තියෙන්නේ ඉල්ලීම්. ඒත් ඇයි මිනිස්සුන්ට බැරි ඉල්ලීම් වෙනුවට පිරිනැමීම් දෙන්න. ගනුදෙනු වෙනුවට පරිත්‍යාග බෙදාහදා ගැනීම් පුරුදු කරන්න.

කිසිදු බලාපොරොත්තුවකින් වියුක්තව දෙයක් දිය හැකිනම් එතන නිරවද්‍යයෙන්ම සතුට රඳා පවතීවි. ඒ තැන වේදනාවන්ගෙන් තොර වේවි.