2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

දුරකථනය අරගන්න රිලවා පස්සේ එලෙව්වා

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 82

මේ සති අන්තයේ My Travel සමඟ කතා කරන්න අප සමඟ එකතු වන්නේ ඔබ අප කවුරුත් දන්නා රංගන ශිල්පියෙකු වන පසිඳු විතානගේ (නාඩගම්කාරයෝ කිරිපුතා) 

පසිඳු.. මේ දවස්වල අලුත් තොරතුරු?

මේ දවස්වල කොරෝනා ප්‍රශ්නත් එක්කම නාඩගම්කාරයෝ සහ අලුත් නාට්‍ය කිහිපයක වැඩ පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ටිකක් කාර්යබහුලව ඉන්නවා. 

ඔබ Travel කියන දෙයට ආසා කරන කෙනෙක්ද?

අනිවාර්යයෙන්ම මම Travel වලට ගොඩක් ආසා කරන කෙනෙක්. මම ගොඩක් වෙලාවට ඒකාකාරී ජීවිතයෙන් මිදිලා ඉන්න ගොඩක් කැමතියි. එහෙම ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න Travel කියන දේ ගොඩක් අවශ්‍ය වෙනවා. 

ඔබ කුඩා කාලයේ සිට Travel කරන කෙනෙක්ද?

මෙහෙමයි. පොඩි කාලයේ ඉඳන්ම Travel කළා. නමුත් මම විනෝදාංශයක් විදිහට Travel කරන්න ගත්තෙ මෑත කාලයේදී. මොකද කුඩා කාලයේ අපිට හිතුමතේ Travel කරන්න අමාරුයි. දැන් තමයි හරියට Travel කියන දේ මම කරන්න පටන් අරගෙන තියෙන්නෙ. කොහොමත් මම සතියකට වගේ සැරයක් කොහේ හරි ඇවිදින්න යන්න කාලය වෙන්කර ගන්නවා. 

ඔබ වැඩිපුර Travel කරන්න කැමති මොන වගේ පරිසරවලද?

මම ගොඩක් කැමතියි කඳුකර පරිසරවල ඇවිදින්න. නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ පරිසරවල Travel කරන්න මම ගොඩක් කැමතියි. ඒ විතරක් නෙමෙයි. මම තව දේකට කැමතියි. ඒ තමා විවිධ ජන වර්ග ජීවත් වන ප්‍රදේශවල සතියක් දෙකක් වගේ කාලයක් ගත කරන්න. 

මේ වනතුරු ඔබ කරපු Travel වලින් ඔබේ හිතට දැනිච්චම තැනක් තියෙනවද?

මේ ළඟදි මගේ යාළුවෝ කිහිප දෙනෙක් සමඟ මම ගියා පොළොන්නරුවේ. දවස් තුනක් වගේ කාලයක් අපි එහෙ ගත කළා. ගොඩක් තැන්වල ඇවිද්දා. ඒ ගමන මගේ හිතට ගොඩක් දැනුණෙ මගේ හොඳම යාළුවෝ කිහිප දෙනෙක් සමඟ ගිය නිසායි. 

ඒ ගමනෙදි ඔබට සිදුවූ අමතක නොවන සිදුවීම් ඇති නේද?

අමතක නොවන සිදුවීම්නම් ගොඩක් තිබුණා. නමුත් ඒ අතරින් හොඳම සිදුවීම තමයි මගේ දුරකථනය නැතිවෙච්ච එක. අපි කට්ටිය සෆාරි රථයක තමයි ඒ ගමන ගියේ. ගල් විහාරය ළඟ පොඩ්ඩක් වාහනය නවත්තලා අපි කට්ටිය කෑම කන්න එළියට බැස්සා. මම මගේ දුරකථනය අපි ගිය රථයේ තියලයි ගියේ. කොහොම හරි අපි කෑම කාලා නැවත වාහනයට එනකොට මගේ දුරකථනය වාහනය තුළ තිබුණේ නෑ. ටිකක් හොයලා බලනකොට ඒ අවට හිටපු රිලවෙක් ළඟ මගේ දුරකථනය තිබුණා. ඊටපස්සෙ ඒ රිලවගෙන් දුරකථනය ගන්න අපි මාර කට්ටක් කෑවෙ. ඌගෙ පස්සෙන් එලවනවා. ඌ අපි පස්සෙනුත් එලෙව්වා. ඒත් දුරකථනයට හානි වෙන්නෙ නැතිව ඒක ඒ රිලවාගෙන් අරගන්න බැරිවුණා. කොහොම හරි රිලවා දුරකථනය මීටර් විස්සක් විතර උස ගහක ඉඳන් බිමට දැම්මා. ඒ දානකොටත් දුරකථනය කැඩිලා ඉවරයි. ඔන්න ඔය සිදුවීම මට කවදාවත් අමතක වෙන්නෙ නම් නෑ. 

ඒ ගමනෙදි ඔබත් සමඟ ගිය යාළුවො ගැනත් කියමුකො?

එයාලා මගේ හොඳම යාළුවෝ කිහිප දෙනෙක්. එයාලා තමයි රවීන් සහ ඉෂාන්. අපි ඉෂාන්ට ආදරේට කියන්නෙ %කිච්චා^ කියලා. තව අපිත් එක්ක ගියා ශානි කියලා ගැහැනු ළමයෙක්. අපි කට්ටිය තමා ඒ ගමන ගියේ. 

පසිඳු.. ඔබ විදෙස් සංචාර එහෙම කරපු කෙනෙක්ද?

ඔව්. මම එකපාරක් ඉන්දියා සංචාරයක යෙදුණා. නමුත් මම ආසාවෙන් ඉන්නවා ඉදිරියේදි විදෙස් සංචාර කිහිපයකටම සහභාගි වෙන්න. 

ඔබ Travel කියන දේ දකින්නෙ මොන විදිහටද?

මගේ මතය නම් කෙනෙකුට Travel කියන දේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක්. එකදිගට වැඩ කරලා කරලා විවේකයක් ගන්න Travel කියන දේ කරනවානම් ඒ ජීවිතය හරි සුන්දර ජවෙනවා කියලයි මම හිතන්නෙ. තව දෙයක් තමයි විවිධ පරිසරවල මිනිසුන් ඇසුරු කිරීම තුළින් අපේ ජීවිතයට වෙනස් අත්දැකීම් ලබාගන්නත් පුළුවන්. 

ඔබ ජීවිතයට නොගියපු නමුත් කවදා හෝ දවසක යනවාමයි කියලා හීන දකින තැනක් තියෙනවද?

මම පොඩි කාලෙ ඉඳන් හරි ආසාවෙන් ඉන්න තැනක් තියෙනවා. ඒ තමයි බැකින්හම් පැලස් එක ඇතුළෙ තියෙන කලා කෘති මගේ ඇස් දෙකෙන්ම දැකගන්න. කවදා හෝ දවසක ඒ හීනය මම සැබෑ කර ගන්නවා. 

ඔබ වගේ Travel කරන අයට සහ Travel කරන්න ඉන්න අයට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද?

මම කියන්නෙ Travel කරන එක ඇත්තටම හොඳ දෙයක්. හැබැයි අපි කරන Travel එක ආරක්ෂාකාරීව සහ තවත් කෙනෙකුට ඒ තැන දැකබලා ගැනීමට පුළුවන් විදිහට ඒ තැන ආරක්ෂා කරන ගමන් ඇවිදින්න කියලයි මම සියලු දෙනාගෙන් ඉල්ලන්නෙ. ඒ වගේ පරිසරයට ආදරය කරන්න. පරිසරයට හානි නොකර ඒ දේවල් රසවිඳින්න කියලා මම කියනවා.