2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

මට සින්දු කියන්න බෑ කියලා අදටත් සමහරු කියනවා

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 327

යොහානි නොහිතපු විදිහට කළ Cover Song එකකින් ඉන්දියාවම හඳුනන කලාකාරියක් වුණා... අද මොකද හිතෙන්නේ...?
ගොඩක් සතුටක් දැනෙනවා. මාස හතරක් වගේ ඉතා කෙටිකාලයක් තුළදී ලොකු වෙනසක් සිදුවුණා. මේ වෙනස මම කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙමේ. අදටත් සමහර දේවල් ගැන මට හිතාගන්නවත් බැහැ. මම ගත්තු තීරණ මම කරන වැඩකටයුතු එක්ක බොහෝ වෙනස්කම් සිදුවුණා. ඒ හැමදේම ගැන අද සතුටක් තියෙනවා. මම මියුසික් පටන්ගත්තු කාලෙයි, දැන් කාලයයි අතර ලොකු වෙනසක් තියෙනවා. හැබැයි තාමත් මේ ඉන්නේ එදා හිටිය කෙනාම තමයි.

ඉන්දියාවට ගිහින් ලංකාවට ආපු යොහානි අලුත් ගීතයක් එළිදැක්වූවා...?
එළිදක්වපු අලුත් ගීතයේ නම Moving on. මේක ඉංග්‍රීසි ගීතයක්. හැබැයි සිංහල කොටසකුත් අපි ඇතුළත් කළා. මේක පද රචනා කළේ දිලංජන් සෙනවිරත්න සංගීතවත් කළේ පසන් ලියනගේයි. ඒ වගේම මේ ගීතය මුලින්ම ඉංග්‍රීසියෙන් සම්පූර්ණයේනම ලියවුණු ගීතයක්. පස්සේ අපිට මේකම පොඩි කොටසක් හෝ සිංහල කොටසක් දාන්න ඕනවුණා. ඒකට අවසරය ලැබුණා. නොවැම්බර් මස දොළොස්වැනිදා තමයි මේ අලුත් ගීතය එළිදැක්වූවේ.

පසුගිය කාලයේදී ඉන්දියාවේදී අපූරු අත්දැකීම් බොහොමයකටම යොහානිට මුහුණ දෙන්න සිදුවුණා. මාධ්‍යවලින්, සමහරු කිව්ව පරිදි ඇත්තටම ඉන්දියාවේ ගුවන් යානය අසලට ඒ තරම් පිරිසක් යොහානි බලන්න ආවද?
ඇත්තටම මම ඉන්දියාවට ගියත් එක්කම මම ගැන බොරු ප්‍රචාර බොහෝමයක් ඇතිවුණා. ඇත්තටම මමවත් දන්නේ නැහැ ඇයි මට මේ අය මෙහෙම බොරු කතා කියන්නේ කියලා. සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියන් ගුවන් තොටුපළ අසලට ලක්ෂ ගණන්  පිරිසක් ආවා කියලා කිව්වා. ඇත්තටම එච්චර පිරිසක් ආවේ නැහැ. ඒක බොරුවක්. සමහරු මට ඒ රටේ කලාකරුවන් ලොකු සල්ලි මළු දුන්නා කිව්වා. මට ලොකු ගෙයක් තියෙනව කිව්වා. මට ලැම්බෝගිනි වාහන තියෙනවා කිව්වා. ඒ වගේ ගොඩාක් බොරු කතා පලවෙලා තිබුණා. මගේ අම්මා තාත්තා මගෙන් &කෝ ඒ ගෙදර?* කියලා ඇහුවා. මගේ අම්මා තාත්තා දන්නෙත් නැති දේවල් සමහර මිනිස්සු බොරුවට මවා පෑවා. ඒකට මම මුකුත් කියන්නේ නැහැ. ඒවා ඔක්කොම බොරු. මම දන්නේවත් නැති ගෙවල් ගැන මිනිස්සු මට කතා කිව්වා. එහෙම බොරු ප්‍රචාර කරන එක ඇත්තටම වැරදියි. ඉන්දියාවට ගුවන් යානය ලෑන්ඩ් කරද්දී පැපරාසින් නම් හිටියා. හැබැයි ඔය කියන තරම් පිරිසක් හිටියේ නැහැ. හැබැයි ඒ රටේදී මම හිතුවේවත් නැති හොඳ පිරිසක්, ලොකු ප්‍රතිචාරයක් නම් ලැබුා. ඒ දවස් ගාන අපි එක දිගට වැඩකළා. ඒක පුදුමාකාර මහන්සි වුණ කාලයක්. ඒ නිසා සමාජ මාධ්‍ය ඔස්සෙ පළවුණ ඒ බොරු ප්‍රචාර හොයලා බලන්න, ඒවා නිවැරදි කරන්නවත් අපිට වෙලාවක් තිබුණේ නැහැ.

මේ ආපු ගමනේදී කළකිරීම්, පසුතැවීම් ඇතිවෙලා නැද්ද? අපරාදේ කලාවට සම්බන්ධ වුණේ කියලා හිතිලම නැද්ද?
අම්මෝ... ගොඩාක් ඇතිවෙලා තියෙනවා. ඉන්දියාවට ගියාට පස්සෙත් මම ගැන කොයිතරම් දේවල් මිනිස්සු කියනවාද? මට සිංදු කියන්න බැහැ. මේක පිරිසක් එකතුවෙලා කරපු %ප්ලැන්^ එකක් කියලා කියන අයත් ඉන්නවා. අදටත් මම ඒ දේවල් ගැන ලොකුවට හිතන්නේ නැහැ. මම ගැන කියන බොරු ප්‍රචාර සමහර දේවල් දිහා මම බලන්නේවත් නැහැ. ඒ තරමටම මම ගැන මේ දවස්වල විවිධ කතා තියෙනවානේ. අද විතරක් නෙමේ ඉස්සරහටත් එහෙමම කියයි. ඕස්ට්‍රේලියාවේ ඉගෙනගත්තු දේවල් නතර කරලා මියුසික් කරන්න මම ලංකාවට එනවට මගේ අම්මා, තාත්තා කැමැති වුණේ නැහැ. ඒ අයගේ අකැමැත්තෙන් ලංකාවට ඇවිත් මියුසික්වලට එකතුවෙලා මේ ආපු ගමන ලස්සන නැහැ. හිත් රිදුණා. ඒත් ඒ රිදීම් අදටත් තියෙනවා. ඉස්සරහටත් තියේවි. ඒක එහෙමම තමයි.

අද යොහානිට ආදරය කරන, යොහානිව පිළිගන්න, තැන් බොහෝයි. මේ ආපු ගමන තුළ යොහානිව ප්‍රතික්ෂේප වුණ තැන් ඇත්තෙම නැද්ද?
තියෙනවා. ඇත්තටම තියෙනවා. මම ටික ටික හැමදේම ඉගෙන ගත්තා. මියුසික් කරද්දී ගිටාර් කෝඩ් එක වැරදෙන තැන් තිබුණා. අදටත් එහෙම අවස්ථා තිබෙනවා. ඉන්දියාවට ගිය ගමනේදී හින්දී සිංදුවක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒක දෙපාරක්ම රොකෝඩ් කළා. දෙපාරම ෆේල්. මම ඒ ගීතය කියපු වචන උච්චාරණය කරපු විදිහ දෙපාරක්ම වැරදියි. ඉතින් ලබන අවුරුද්දේ ජනවාරි මාසයේදී මම ආයෙත් ඒක රෙකෝඩ් කරන්න යන්න ඕනේ. ඒ සම්බන්ධවත් මම මේ දවස්වල ඉගෙන ගන්නවා. කියන්න තේරෙන්නේ නැහැ. සමහරවිට තුන්වෙනි පාරත් ෆේල් වේවිද දන්නේ නැහැ. මම ඡායාරෑපකරණය කළා. ඒ නිසා සිංදුවක් කරද්දී කැමරා තියෙන තැන්, කැමරා කරන්න ඕනේ විදිහ ගැන පොඩි දැනුමක් මට තියෙනවා. මම ඕස්ට්‍රේලියාවේදී ක්ලාස්වලට ගිහින් ඉවරවෙලා තමයි පොඩි පොඩි ගීත රෙකෝඩ් කළේ. අධ්‍යාපනය අවසන් කරලා ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ඉල්ලුම් කරන්න හැකියාව තිබිලත් මම ලංකාවට ආවේ මේ සංගීතය නිසාමයි. 2019 ලංකාවට ආපු මට Pattah effect එක මුණගැසුණා. ඔවුන් මම දන්න අයයි. ඒ අය එක්ක මම මගේ සංගීත ගමන පටන් ගත්තා. මම මාස කිහිපයක්ම එකදිගටම Pub වල සිංදු කිව්වා. ඒකෙන් පැය පහක් සිංදු කියලා රුපියල් පන්දාහක් ලැබුණා. ඒ සල්ලි එකතු කරල තමයි මම මේ සංගීත ගමන පටන් ගත්තේ. මේක හිතන තරම් ලේසියෙන් ආපු ගමනක් නෙමේ.

අපි දන්න කලාකාරිය අමතක කරල ඔය කුඩා සිරුර ඇතුළේ ඉන්න සාමාන්‍ය යොහානි ද සිල්වා මොන වගේද?
තවමත් මේ ඉන්නේ බොහෝම සාමාන්‍ය කෙනෙක්. සමහරු මට මැනේජර්ලා ඉන්න නිසා මම ආඩම්බරයි කියලා කියනවා. මම එහෙම ආඩම්බර නැහැ.  ඒක මාව දන්න අය දන්නවා. මේ සංගීත ක්ෂේත්‍රයේ මම මුල ඉඳන්ම යන්නේ Pattah ආයතනයත් එක්කයි. තාමත් මම සංගීතය සම්බන්ධව බොහෝ දේවල් ඉගෙන ගන්නවා.

 

                    සේයාරූ I සුමුදු හේවාපතිරණ