2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

හොඳටම අඬාගෙන මම ගෙදර ගියා

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 145

• කැපකිරීම

මට හිතෙන විදිහට මගේ මුළු ජීවිතයම කැපකිරීමම තමයි. පාසැල් යන කාලයේදී මම අධ්‍යාපනයට කැපවුණා. මම පාසැලේදී නර්තනය කළා. ඒක වුණත් මගේ විභාග වෙනුවෙන් මම කැප කළා. උසස් පෙළ කරලා අවසන් වුණාට පස්සේ මම රංගනයට එකතු වුණා. ඒ මුල් කාලයේදී මාව සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරුණ ලියුම ලැබුණා. නමුත් මම ඒ උසස් අධ්‍යාපනය පවා රංගනය වෙනුවෙන් කැප කළා. ඊටපස්සේ විවාහයෙන් පස්සේ මම මගේ මුළු ආසාවල්, හීන සියල්ලම සාර්ථක විවාහ ජීවිතයක් වෙනුවෙන් කැපකළා. මම විවාහවෙද්දී නාලිකා තුනක මම රඟපෑ ටෙලිනාට්‍ය පහක් විකාශනය වුණා. නමුත් ඒ හැමදේම විවාහය වෙනුවෙන් මම කැපකළා. තාමත් මම ඒ කැපකිරීම කරනවා. තවමත් මට හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණත්, ඒවාට යන්න ආසාව තිබුණත් ඒ හැමදේම බාර නොගත්තේ පවුල වෙනුවෙන් මම කරන කැපවීම නිසාමයි.

• ඉරිසියාව

ඉරිසියාව මට අඩුවෙන් දැනෙන දෙයක්. මට ඉරිසියාව වැඩිපුරම දැනෙන්නේ ආදරේදී විතරයි. පොඩි කාලයේදී ඕනෑම දරුවකුට ඉරිසියාව දැනෙනවනේ. මටත් ඒක තියෙන්න ඇති. නමුත් මම රංගන ශිල්පිනයක් වුණාට පස්සේ මට මාත් එක්ක හිටපු සමකාලීන කිසිම කෙනෙක් එක්ක ඉරිසියාවක් දැනුණේ නැහැ. අදටත් එහෙමයි. මට ඒක දෙවියෝ දීපු තෑග්ගක් විදිහටයි මම හිතන්නේ. මම කාත් එක්කවත් තරඟයක් තිබුණේ නැහැ. මම ප්‍රභාත් එක්ක යාළුවුණාට පස්සේ නම් මට ඉරිසියාවක් ආදරය වෙනුවෙන් ඇතිවුණා. මම ඒ කාලයේදී එයාට කතා කරද්දී එයා ළඟ ගෑනු ළමයෙක්ගේ කටහඬක් ඇහුණත් මට ඉරිසියාව දැනුණා. දැන් එයා නිෂ්පාදකයෙක්. මම වැඩිපුරම ගෙදර ඉන්නේ. එයා වැඩිපුරම නළු නිළියන් එක්ක තමයි ගත කරන්නේ. ගෙරදට වුණත් ඇමතුමක් දේනනේ දවසට දෙපාරක් තුන්පාරක් වෙන්නත් ඇති. නමුත් අද මට කිසිම ඉරිසියාවක් දැනෙන්නේ නැහැ. මම දැන් එයාව එයාගේ රැකියාව තේරුම් අරගෙනයි ඉන්නේ.

• කඩාවැටීම

මගේ ජීවිතේ බොහෝ කඩාවැටීම් මට දැනිලා තියෙනවා. ඉස්කෝලේ යන කාලයේදී මාව ගොඩක් ඉරිසියාවට ලක්වුණා. මම ඉගෙන ගත්තේ ලුම්බිණි විද්‍යාලයේ. ඒ කාලේ භරත නාට්‍යම් කරපු එකම ශිෂ්‍යාව වුණේ මමයි. මම පෞද්ගලික පන්තියකට ගිහින් භරත ඉගෙන ගත්තා. හැම ප්‍රසංගයකම මගේ නැටුම් අංග තිබුණා. අවුරුද්දක් දෙකක් යද්දී පාසැලේ භරත ඉගෙනගත්තු මම ඉඳිද්දී මාව ගන්නේ නැතිව ඉගෙන නොගත් ළමයින්ව එහෙන් මෙහෙන් අරගෙන ප්‍රසංග පවත්වද්දී මම එළියේ ඉඳන් බලාගෙන ඉඳල තියෙනවා. මම ඒ කාලයේදී සෑහෙන කඩා වැටුණා. මම පාසැලේ පෙරදිග තූර්යවාදක කණ්ඩායමෙත් නායිකාව වුණා. ගුරුවරුන් කීප දෙනෙක් එකතුවෙලා මම පන්තියේ ඉගෙන ගනිද්දී වෙනත් ළමයෙක් තූර්යවාදක කණ්ඩායමේ නායිකාව කළා. ඒ වෙලාවේ මට ඒ ආරංචිය කිව්වෙත් මගේ යාළුවෙක්මයි. මම පන්තියේ ඉඳන් දුවලා ගිහින් ඒක බලද්දී මම සෑහෙන්න කඩා වැටුණා. මම එදා හොඳටම අඬාගෙනයි ගෙදර ආවේ. ඒ කාලේ ජාතික රූපවාහිනය මෙහෙයවපු රබන් තරගයකට අපේ ඉස්කෝලෙනුත් මම ඇතුළු ළමයි හයදෙනෙක් සහභාගි වුණා. ඒක නිදහස් චතුරශ්‍රයේ තිබුණේ. ඒකෙන් අපේ කණ්ඩායම පළවෙනි ස්ථානය දිනාගත්තා. එකෙන් අපි හයදෙනාට ලැබුණ සහතික හයෙන් අනිත් පස්දෙනාටම පාසැල් උදේ රැස්වීමේදී සහතික පහ ඇගයීම් කරලා ලබාදුන්නා. නමුත් මගේ සහතිකය මම “ඇවිත් නැහැ” කියලා දුන්නේ නැහැ. අදටත් මට ඒ සහතිකේ ලැබුණේ නැහැ. එදත් මම පුදුමාකාර විදිහට කඩා වැටුණා.

• පසුතැවීම

ජීවිතේ පසුතැවීම්ද දැනුණු අවස්ථා තිබෙනවා. මගේ පවුල වෙනුවෙන් කැපකිරීම් කරද්දී ඒකට මට ඇගයීමක් ලැබුණේ නැති තැනක් වෙද්දී මට පසුතැවීමක් දැනෙනවා. ඒ වෙලාවේ මම තනියම අඬලා තනිවම ඒවා විඳදරා ගන්නවා. සමහර වෙලාවට “අපරාදේ මම රංගනයට එකතු වුණේ. මම කැම්පස් ගියා නම් හොඳයිනේ” කියල පසුතැවිලි වෙන වෙලාවල් තියෙනවා.

• ප්‍රථම ප්‍රේමය

අපි මිශ්‍ර පාසලක්. සාමාන්‍ය පෙළ කරන කාලයේදී ඇතිවුණ ප්‍රේමයක් ඒක. දැන් ඒක මතක් වෙද්දී සුන්දරයි. “අපි බඳින්න ඕන” කියන හැඟීමත් නැතිව බොළඳ කාලේ කරපු ආදරයක්. ඒ කාලේ මැසේජ් කරන්න ෆෝන් තිබුණේ නැහැ. පොතක් අස්සේ ලියුමක් එවපු, ඒකට උත්තරයක් ලියලා දවස් දෙක තුනකින් තව පොතක් අස්සේ යවපු ආදරයක්. දැන් මතක් වෙද්දී ඒ ගැන හිනා යනවා.

• ප්‍රේමය

අද අපූරු ප්‍රේමයක් මම ලබනවා. ප්‍රශ්න නැති පවුල් ජීවිත නැහැ. එහෙම බලද්දී සාපේක්ෂව මගේ ජීවිතේ ප්‍රශ්න නැහැ. අදහස් නොගැලපෙන තැන් ව්‍යාපාර කටයුතුවලදී එන සමහර ගැටලුවලට අපි දෙන්නම මුහුණ දෙන තැන් ඇතිවෙනවා. දරුවන්ගේ ප්‍රශ්නවලදී අපි දෙන්නා දෙපැත්තකට තීරණ ගන්න අවස්ථා ඇතිවෙනවා. නමුත් ඒවා බොහෝම සාමාන්‍ය ප්‍රශ්නයි. මගේ වයසේ, මේ ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනාගේ විවාහ ජීළුිත එක්ක බලද්දී මම මගේ විවාහ ජීවිතය ගැන 95%ක් සතුටු වෙනවා.

• අභියෝග

මගේ ජීවිතේ අභියෝග බොහෝමයක් ආවා. පාසැල් ජීවිතේ මම අභියෝග බොහෝමයකටම මුහුණ දුන්නා. රංගන ශිල්පිනියක් වෙන්න හේතු වුණු ප්‍රධානම දේ වුණේත් ඒ අභියෝගම තමයි. මගේ දක්ෂතාවලින් මම පාසැලේදී නිසි තැනක් නොලැබෙද්දී “මාව ඕනෑ කියන තැනට මම එනවා” කියන අභියේගය මම හිතින්ම හදාගත්තා. පාසැලේ කීප දෙනේක මට මෙහෙම මාව ප්‍රතික්ෂේප කරද්දී මුළු රටටම මාව ඕනෑ කියන තැනට මම කවදාහරි එනව කියන අභියෝගය හිතින් ඇතිකර ගත්තා. ඒකම තමයි මම රංගන ක්ෂේත්‍රයට යොමුවෙන්න ප්‍රධානම හේතුව වුණේ. මම හිතන විදිහට ඒ අභියේගය මම ජයගෙන ඉවරයි.

• ජයග්‍රහණය

ජීවිතේ කරපු කැපකිරීම් නිසා අද මට ජයග්‍රහණයක් ලැබිලා තියෙනවා. ඕනෑම දෙයක් ගැන අපි අවංකවම කැපවුණොත් ඒකෙන් අපි ජයගන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. අද මගේ පවුල් ජීවිතේ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.

• මම කවුද

මට දැනෙන විදිහට මම බොහෝම සරල ගොඩාක් හිත හොඳ කෙනෙක්. සමහර වෙලාවම ඒ හිත හොඳකමට මගේ මෝඩකමක් කියලත් මට හිතෙන වෙලාවල් තියෙනවා. මට මම ගැන තිබෙන්නේ සතුටක්.