2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

නොඉල්ලමි කිසිවක්ම ආදරය හැරෙන්නට..

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 181

ප්‍රේමය කියන්නෙ සඳ එළියක් නොවුණට ආදරය කියන්නෙ සඳ එළියක්. ස්වභාවධර්මය මේ ලෝකයට දන් දුන් නිර්මලම දායාදය තමයි සඳ එළිය කියන්නෙ. අංශුමාත්‍රයකින්වත් නොකිලිටි, නිර්මල වස්තුවකට තමයි සඳ එළිය කියන්නේ. ආදරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්වචනය වෙන තැනක ඒ ආදරයට සඳ එළිය තරම් ගැලපෙන තවත් නිර්වචනයක් නෑ කියලා මට හිතෙන්නේ. ඔයා ආසද කවුරුත් ළඟ නැති මොහොතක ඒ හඳ එළිය හිතේ හැටියට විඳගන්න. ඒක හරි රොමෑන්ටික් හීනයක්. මට හිතෙන්නේ ප්‍රේමය භෞතිකය මත රඳා පැවතුණත් ආදරය ආධ්‍යාත්මික සොඳුරුතා මත රඳා පවතිනවාය කියලයි. හැබැයි එහෙම ආදරයක් ජීවිතයේ මුණගැහෙන්නේ සංසාර අහම්බයක් විදිහට කියලයි මට හිතෙන්නේ. එහෙම ආදරයක් දැනෙන තැනකදි එහෙම ආදරයක් ළඟ නවතින්න ඉසිඹුවක් ලැබෙන තැනකදි ජීවිතය මොන තරම් සුන්දරද සැහැල්ලුද මිහිරිද කියලා කියන්න මම දන්නෙ නැහැ. එය දන්නෙ එහෙම ආදරයක් ජීවිතයට ලද කෙනෙක්ම පමණයි.

ප්‍රේම සැදෑවෝ කියවද්දි මම ආදරයත් ප්‍රේමයත් අතර ඔහේ ඇවිද්දා. වෙලාවකට අතරමං වුණා. ප්‍රේම සැදෑවෝ කියන්නේ ප්‍රංශ නවකතාවක පරිවර්තනයක්.

මට හිතෙනවා ජීවිතයේ සමහර අහිමිවීම් ළඟ ප්‍රේමය අත්හැරෙන්න පුළුවන්. ඒත් ප්‍රේමය අත්හැරුණත් ආදරය අත්හැරෙන්නෙ නෑ කියලා.

නොඉල්ලමි කිසිවක්ම

ආදරය හැරෙන්නට..

ආදරය තුළ ආදරය විතරක්ම ඉල්ලන පිරිමියෙක් හෝ ගැහැනියක් ආදරය දකින්නේ ආදරය නිර්වචනය කරන්නේ කොහොමද කියන එක සාපේක්ෂයි. ඒත් මට ඕනෑ ඒ සාපේක්ෂත්වය ගැන කතා කරන්න නෙවෙයි. ආදරය කොන්දේසි විරහිතව රැඳෙන තැන් ගැන කතා කරන්න.

ප්‍රේම සැදෑවෝ මට කියලා දුන්නේ ඒ කොන්දේසි විරහිත පූජනීය ආදරය ගැන නෙවෙයි. කොන්දේසි සහිත ප්‍රේමය ගැන. ඇලීම්, බැඳීම්, ඉල්ලීම්වලින් ගැටගැහිච්ච, ඒවායින් අඩුවක් නැතුව සංයුක්ත වෙච්ච ප්‍රේමය ගැන. දෙවියනි ඇත්තටම නුඹ කොහිද? මම විශ්වාස කරන දෙවියන්ට මම ආදරෙයි. ඒ දෙවියන් කියන්නෙ සොබාදහම. සොබාදහමේ අපිරිමිතය. සොබාදහමේ කොන්දේසි විරහිත ආදරය, ප්‍රදානය, දානය. ඒ තමා මම අදහන මම විශ්වාස කරන, මම ආදරය කරන එකම දෙවියන්.

ඒත් ප්‍රේම සැදෑවෙන් පෙම්වතුන් හොයන්නේ දෙවියන්වත් ආදරයවත් නෙවෙයි. නිමක් නැති අනුරාගය. ශරීරයක් තවත් ශරීරයකින් සන්තර්පණය කර ගැනීමේ අවකාශය, ඉඳුරන් තෘප්ත කර ගැනීමේ අවකාශය, ඉන් එහාට ඒ දෙන්නා හෙව්වේ මොනවද? මොකක්ද? ඇත්තටම මට හිතෙන්නේ ඒ බැඳීම ඇතුළේ ආදරය කියලා අල්පමාත්‍රයක්වත් රැඳී තිබුණේ නෑ කියලා.

අවයවත් එක්ක කරන සැරිසැරීමකදී දැනෙනවට වඩා මහා පුදුමාකාර ආස්වාදයක් උරහිසක ඔළුව තියාගෙන ජීවිතයේ ගිම් නිවද්දී දැනෙන්නෙ නැද්ද? පපුවක හිස තියාගෙන ආදරයෙන් දැවටි දැවටි ඉද්දි, ඔහේ අතොරක් නැතුව සුසුමක සුව විඳිද්දි දැනෙන නිර්වාණ සිහිලස මට හිතෙන්නේ ඉඳුරන් එක්ක කරන ගනුදෙනුවකදි දැනෙන එකක් නැහැ. අත් බාහුවක එල්ලීගෙන උරහිසේ මූණ හංගගෙන ඉද්දී දැනෙන සුවය ඉඳුරන් එක්ක කරන ගනුදෙනුවකදී දැනෙන්නේ නෑ. සමහරවිට ඔයාට හිතෙන හැටි ඔයාට දැනෙන හැටි වෙනස් ඇති. මොකද මේ ප්‍රේම සැඳෑවෙන් ආදරවන්තයන්ට කවදාවත් ආදරය තුළ ඒ නිර්වාණ සුවය විඳන්න වුවමනාවක් දැනුණේ නෑ.

ඒත් මට හිතෙනවා කෙනෙක්ව හදවතින් අත්හැරලා කොන්දේසි විරහිතව ඒත් අසීමාන්තිකව කෙනෙක්ට ආදරය කරන්න පුළුවන් නම් ඒ ආදරය ඇතුළේ අපිරිමිත උත්තරීතරයක් වගේම මහ පුදුමාකාර සැනසිල්ලක් තියෙනවා කියලා. ඕනෑම දෙයක් මනසින් අත්හරින්න අත්හරින්න මනසට දැනෙන්නෙ මහ පුදුමාකාර නිවීමක්. සැනසිල්ලක්.

මට හිතෙනවා අපි ජීවිතය තුළ හිනව්වක් නැතුව සොයන්නෙත් ඒ සැනසිල්ල විතරමයි කියලා. ඉතින් ඒ සැනසිල්ල ලැබෙන්නේ ප්‍රේමය තුළ නොව ආදරය තුළ නම් තවත් ලතැවී කුමකටද? මට හිතෙන්නේ එහෙම.

තව කෙනෙක්ගේ ආදරය ජීවිතය හෝ තීරණ විෂයෙහි විනිශ්චයක් දෙන්න අපට බෑ. ඒ අයගේ හුස්ම අයිති ඒ අයට මිසක් අපට නොවන නිසා. ජීවිතය කියන්නේ මහ පුදුමාකාර ගමනක්. එය තිරස් හෝ සිරස් රේඛාවක් දිගේ මංමාවත් සලකුණු වූ ගමනක් නෙවෙයි. ජීවිතය ගමන කියන්නෙ චක්‍රයක්. ඒ චක්‍රය ඇතුළේ එක තැනක ආදරය සටහන්ව තියෙනවා. ඒ නිසා ඒ චක්‍රය ඇතුළේ ගමනක යෙදෙද්දි ආදරය මඟහැර ගන්න පුළුවන් කියලා මට හිතෙන්නෙ නෑ. ඒත් ඒ ආදරය ඒ චක්‍රය ඇතුළේ අපි - අපි නිර්වචනය කර ගන්න ආකාර විවිධාකාරයි. කොන්දේසි විරහිතව කෙනෙකුට ආදරය කරන්න පුළුවන්නම්... ඒ තමා මට මගේ ආදරය හමුවන තැන...