2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

එයාව පුදුම කරවන්න ඔරුවක නැගලා දූපතකට ගියා...

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 179

මේ සති අන්තයේ My Travel ගැන කතා කරන්න අපත් සමඟ එකතු වන්නේ ඔබ අප කවුරුත් දන්නා ගායන ශිල්පියෙක්. ඒ තමයි සඳුන් පෙරේරා.

සඳුන් මොනවාද මේ දවස්වල අලුත් තොරතුරු?

මෙච්චර කාලයකට මම කරපු ගීතවලට වඩා නෑරම කියලා වෙනස් විදියේ ගීතයක් ළඟදීම එළියට දාන්න තමයි ඉන්නේ.

සඳුන් ඔබ Travel කියන දෙයට කැමති කෙනෙක්ද?

පැහැදිලිවම Travel කියන දෙයට ආසා කරන කෙනෙක් වගේම මම විනෝදාංශයක් විදිහටත් Travel කියන දේ කරනවා. ඇත්තටම කිව්වොත් මම කොළඹින් පිට සංගීත ප්‍රසංගයකට ගියොත් අනිවාර්යයෙන්ම ඒ අවට ප්‍රදේශයේ ඇති ලස්සන තැන් බලන්න යනවාමයි. ඒ තරමටම මම Travel කියන දෙයට ආදරය කරනවා.

ඔබ ඇවිදින එක විනෝදාංශයක් විදිහට කරන්න පටන් ගත්තේ කුඩා කාලයේ සිටද?

ඇත්තටම පොඩි කාලයේ ඉඳන් පටන් ගත්ත එකක් නෙවෙයි. ඇවිදින්න යද්දි සල්ලි බාගය ටිකක් හරි තියෙන්න ඕනේ. නමුත් එහෙම වත්කමක් තිබුණේ නැති නිසා පොඩි කාලයේදී නම් Travel කියන දේ ලොකුවට කරලා නෑ. හැබැයි පොඩි කාලයේදී තමයි Travel කියන දේ කරන්න ආසාව ඇතිවුණේ. පොඩි කාලයේ සිතින් ආදරය කරපු නිසා තමයි දැන් ගතින් ආදරය කරන්නේ. මම හොඳටම Travel කරන්න ගත්තේ 2019 වගේ කාලවලදී තමයි.

ඔබ ඇවිදින්න යන්න කැමති කාත් සමඟද?

ඇත්තටම මම විදි දෙකකට කැමතියි. එක විදිහක් තමයි තනියම. නැත්නම් මගේ බිරිඳ සමඟ. එයා විදෙස් රටක ඉන්නේ. එයා ලංකාවට ආව වෙලාවට එයත් සමඟ තමයි. නැත්නම් ඉතින් තනියම තමයි. හැබැයි තනියම ඇවිදින්න ගියත් නිතරම එයත් එක්ක ඇමතුම්වල තමයි ඉන්නේ. ඒ නිසා මම විඳින අත්දැකීම එයත් එක්ක බෙදා ගන්නවා.

සඳුන් ඔබ ගොඩක් තැන්වල Travel කරපු කෙනෙක්. ඔබ ඒ ඇවිදපු තැන් අතරින් ඔබේ හිතට දැනිච්ච Travel එකක් ඇති නේද?

ඔව්. ඇත්තටම මම කරපු හැම Travel එකක්ම මගේ හිතට දැනිච්ච අවස්ථා තියෙනවා. ඒ වුණත් මගේ හිතට හොඳටම දැනිච්ච ගමනක් තියෙනවා මගේ බිරිඳගේ උපන්දිනයට අපි දෙන්නා ගියා පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ බැම්මට ළංව හදලා තියෙන හොටෙල් එකකට. අන්න ඒ ගමනට මම තවමත් ආදරය කරනවා.

ඇයි ඔබ ඒ පොළොන්නරු ගමනට එච්චරම ආදරය කරන්නේ?

මගේ බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එයාව පුදුම කරවන වැඩක් මට කරන්න ඕනි වුණා. ඉතින් මම එයා වෙනුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ඔරුවකින් වටයක් යන්න සූදානම් කළා. ඒ කියන්නේ බැඳි ඔරු කියලා ඔරුවක් තියෙනවා. ඒ ඔරුව මැද්දේ පුටු දෙකක් තියලා ඒ ඔරුව සරසලා පරාක්‍රම සමුද්‍රය මැද්දේ තියෙන පුංචි දූපතකට ගිහිල්ලා රාත්‍රී ආහාර වේල ගත්තා. ඒ ගමනට මම ආදරය කරන්නේ මමත් කවදාවත් ඒ වගේ අත්දැකීමක් ලබලා නැති නිසා වෙන්න ඇති. කොහොම හරි මගේ බිරිඳවයි මම පුදුම කරවන්න ගියේ. නමුත් මමත් පුදුම වුණා ඒ ගමනේදී.

ඒ ගමනේදී සිදුවුණු අමතක නොවන සිදුවීම් ගැන එහෙම කතා කරොත්...?

ඒ ගමනේදී සිදුවුණු අමතක නොවනම සිදුවීම තමයි අපි දෙන්නා රාත්‍රි ආහාර වේල අරගෙන අර පුංචි දූපතේ ඉඳන් බැඳි ඔරුවේ නැගලා නැවත ගොඩට එනකොට වැස්සත් සමඟ තද සුළඟක් හැමුවා. ඒ සුළඟ නිසා අපි ගිය පාරෙන් නෙවෙයි ගොඩබිමට ආවේ ලොකු වටයක් ගහලයි. හොඳම සිදුවීම තමයි අපි දෙන්නත් හබල් ගැහුවා. කොහොම හරි සුළඟත් එක්ක පොරබදලා පරිස්සමට ගොඩබිමට ආවා. ඒ සිදුවීම ඒ ගමනේදී සිදුවුණු අමතක නොවනම දෙයක් තමයි. තව දෙයක් තමයි කුඩා කාලයේ සිට හීන මවපු හීනයක් සැබෑ වුණ එක.

සඳුන් ඔබ විදෙස් සංචාර බොහොමයක් කරපු කෙනෙක් විදිහට ඔබ ගියපු සංචාරවලින් වඩාත් කැමති කුමන සංචාරයටද?

මම කරපු සෑම විදෙස් සංචාරයකටම මම හරිම කැමතියි. ඒ සෑම ගමනකම සුන්දර මතකයන් මට තියෙනවා. මම ගියපු පළවෙනිම සංචාරය තමයි ඩුබායි සංචාරය. ඒ ගමනටත් මම මාර කැමතියි. මොකද ඒ ගමනට මාත් සමඟ ගියේ ලංකාවේ සිටින සුපිරිම දක්ෂයෝ. මට එයාලා එක්ක එකට ඉන්න ලැබිච්ච සංචාරයක්. ඒ දේ මට ලොකු සතුටක් වුණා. නමුත් මම කැමතිම සංචාරය තමයි කොරියන් සංචාරය කියන්නේ. කොරියන්සංචාරය 2016 ඉඳන් එක දිගටම සෑම අවුරුද්දකම කරන ඒ ප්‍රසංගයට මම ගියා. ඒ වගේම කොරියාවේ ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි කොරියන් කෑම වගේ දේවල්වලට කැමති නිසා මම කොරියාවට ටිකක් වැඩිපුර කැමතියි.

ඔබ ඇවිදීම කියන දේ මොන විදිහටද දකින්නේ?

ඇවිදීම කියන දේ මම දකින්නේ මනස නිවන දෙයක් විදිහට. ඒ කියන්නේ මොනවාට හරි දෙයකට අපි එක දිගටම කොටුවෙලා ඉන්න වෙලාවට කරන්න හොඳම දෙයක් තමයි Travel කරන එක. ඔය දේ දිගටම කරද්දී ඒ දෙයට ඇබ්බැහි වීමක් වෙන්නත් පුළුවන්. නමුත් ඒක හොඳ දෙයක්. ඒ නිසා මම නම් හිතන්නේ ඔළුව ගිනිඅරන් ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවට ඒ හැම ප්‍රශ්නයකින්ම මිදෙන්න පුළුවන් වෙන දෙයක් තමයි Travel කියලා මට හිතෙන්නේ.

සඳුන් ඔබ කවදාවත් නොගියපු නමුත් යනවාමයි කියලා හීන දකින ගමනක් තියෙනවාද?

ඇත්තටම කිව්වොත් ලංකාවේ නම් එහෙම තැන් ගොඩක් අඩුයි. ලංකාවේ එහෙම තැනක් ගැන හීන මැව්වොත් අනිවාර්යයෙන්ම යනවාමයි. නමුත් මම හරිම ආසයි නවසීලන්තයට යන්න.

ඇයි ඔබ නවසීලන්තයට යන්න හීන දකින්නේ?

එක දෙයක් තමයි Lord of the Rings ෆිල්ම් එකේ කුරුමිට්ටෝ කට්ටියක් ඉන්නේ. එයාලට කියන්නේ Hobbits කියලා. අන්න එයාලාගේ ගෙවල්වලට සහ එයාලාගේ ගම බලන්න මම හරි ආසයි. ඒ තැන්වල ඡායාරූප මම එකතු කරන් ඉන්නවා. කවදා හෝ දවසක සල්ලි ටිකක් එකතු කරගෙන යනවාමයි කියලා. මට හිතෙන්නේ අපිට මේ ජීවිතය දීලා තියෙන්නේ නිකන් ඉදලා මැරිලා යන්න නෙවෙයිනේ. ඒක නිසා මම නම් ජීවිතේ අවසාන කාලය වෙන්න කලින් ඒ අත්දැකීම ලබාගන්නවාම තමයි.

සඳුන් ඔබ වගේ Travel කරන අයට සහ කරන්න ආසාවෙන් ඉන්න අයට මොන වගේ පණිවුඩයක්ද ඔබ දෙන්නේ?

Travel කරන්න කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මම එයාලට කියන්නේ එකපාරට ලොකුවට වියදම් කරන්නේ නැතිව තමන්ට පුළුවන් විදිහට කරන්න කියලයි මම කියන්නේ. අපි පිටරටකටම යන්න ඕනේ නෑ Travel කරන්න. ලංකාව ඇතුළතම අපිට ලස්සන තැන් තියෙනවා බලන්න කියන ගමන්ම Travel කරන කට්ටියට දෙන පණිවුඩය තමයි ඔයාලා යන ඕනෑම තැනක ගන්න පුළුවන් උපිම සුන්දරත්වය, උපරිම වින්දනය සහ ආස්වාදය අරගන්න ගමන් ඒ තැන් විනාශ නොකර තවත් කෙනෙකුට ඒ තැන් විඳින්න පුළුවන් විදිහට ආරක්ෂා කරන්න කියලයි මම ඔය සියලුදෙනාගෙන් ඉල්ලන්නේ.