2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

කොවිඩ් හින්දා කසාදයත් කල්ගියා

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 09:59 231

මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල මම මගේ කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිය අවසන් කළා. මම ජාතික රූපවාහිනියේ සංගීත වැඩසටහනක් නිවේදනය කරනවා. ඊට අමතරව සකලගුරු ටෙලිනාට්‍යයේ රෑගත කිරීම්වලට සහභාගි වෙනවා.

කොවිඩ් කාලේදී වැඩිපුරම හිත ගියේ මොනවටද?

කොවිඩ් කාලයේදී තමයි විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ විභාගවලට Online ක්‍රමයට සහභාගි වුණේ. මගේ අවසන් වසරේ විභාගයට අනුව මගේම තිර පිටපතකට අනුව කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නත් මට හැකිවුණා. ඊට අමතරව කොවිඩ් කාලයේදී නර්තනයටයි, ව්‍යායාම්වලටයි වැඩි කාලයක් යොමුවුණා.

ජීවිතේ අහන්න ආසම කරන සිංදුව මොකක්ද?

මම කැමති ගීත බොහොමයක්ම තියෙනවා. ඒ අතරින් ජගත් වික්‍රමසිංහ මහතා ගායනා කරන ඔබේ සිනා ළඟ සිත නැවතුණා දා ගීතයට ගොඩක් කැමැතියි. ඒ පද රචනාවට සංගීතයට වගේම ගායනයත් හරි අපූරුයි.

මේ දවස්වල යාළුවන් එක්ක වැඩිපුරම කතා කරන මාතෘකාව

මේ වසරේ මම විවාහ වෙන්නයි හිටියේ. කොවිඩ් නිසා ඒ හැමදේම වෙනස් වුණා... ඉතින් යාළුවෝ කතා කරන හැම වෙලාවෙම &අංජු... බෝයි රට ඉඳන් ආවද? අංජු කවදද මැරි කරන්නේ...* කියල තමයි අහන්නේ. අපි දෙන්නා මැරි කරන්න ලෑස්තියි. හැබැයි කොවිඩ් ඒ හැමදේම වෙනස් කළා. දැන් අපේ වෙඩින් එකේ දවස් තීරණය කරන්නේ කොවිඩ් තමයි.

පුංචි කාලේට යන්න ඇත්නම් යන්න ආස කරන කාලය

මම තුන වසරේ ඉඳන් නර්තනය හැදෑරුවා. මුලින්ම උඩරට නර්තනය තමයි හැදෑරුවේ. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ ඒ දේ ටිකක් මගෙන් මඟහැරුණා. ඉස්සර ඉස්කෝලේ ඇරුණ ගමන් යුනිෆෝම් එක පිටින් මම ඩාන්සින් ටීචර්ගේ ගෙදර ගිහින් නර්තනය පුහුණු වුණා. මට තාම මතකයි අලුතින් ඇහෙන හැම සිංදුවකට ගෙදර ඉඳන් මම නැටුවා. ඒ කාලේ හරි සුන්දරයි.

ආස කරපු සෙල්ලම

ඒ කාලේ අපි පන්තියේදී සෙල්ලමට භූතයෝ ගෙන්වන කාසි සෙල්ලමක් කළා. මම ඉගෙනගත්තේ රත්නපුර සුමන බාලිකා විදුහලේ. හය වසරේ සිට ඉංග්‍රීසි විෂය ධාරාවෙන් තමයි ඉගෙන ගත්තේ. අපේ පන්තිය හරිම දඟ පන්තියක්. ඉතින් ටීචර් කෙනෙක් ආපු නැති පීරියඩ් එකක් ලැබුණ ගමන් කාසියකින් අපි භූත සෙල්ලම කළා. මට තාම මතකයි ඒ කාලේ අපි &අනේ භූතයෝ මට O/L හොඳට පාස් වෙන්න පුළුවන්ද? අනේ භූතයෝ මම මැරිකරන බෝයිගේ මුල් අකුර මොකක්ද කියල තමයි වැඩිපුරම ඇහුවේ.

ආස කරන වාහනය

මම Sport Car වලට ගොඩාක් කැමැතියි.

කැමතිම පර්ෆියුම් එක

මේ දවස්වල මම පාවිච්චි කරන්නේ Good Girl පර්ෆියුම් එකයි. බ්‍රෑන්ඩ්වලට වඩා මම සුවඳට තමයි වැඩිපුරම ආස කරන්නේ.

ලංකාවේ යන්න ආස කරන තැන

මුහුදට මම හරි ආසයි. මුහුද පේන ඕනෑම තැනකට මම යනවා. මම ඉන්නේ කඩවත. ඉතින් ඉඩක් ලැබුණහම මම අම්මා එක්ක උස්වැටකෙයියාව, මීගමුව වගේ පැත්තකට යනවා. මුහුද පේන තැනක ඉඳගෙන කෑම වේලක් කන්න, කෝපි එකක් බොන්න මම හරි ආසයි.

කාගෙන් හරි තෑග්ගක් ලැබුණොත් ඔයා ආස කරන තෑග්ග මොනවාද?

මම ඇඳුම්වලටයි, සපත්තුවලටයි හරි කැමැතියි.

කාට හෝ තෑග්ගක් දෙන්න ලැබුණොත් ඔයා වැඩිපුරම දෙන්නේ?

මුලින්ම ඒ කෙනා කැමැති දේවල් ගැන හිතනවා. මගේ යාළුවෙක් නම් එයාගේ කැමැත්ත මම දන්නවා නම් එයා කැමැති දෙයක් අරගෙන දෙනවා. නැතිනම් වවුචර් එකක් තෑග්ගට දෙනවා.

ජීවත් වෙන්න කැමැති

මම හරිම සතුටින්, ලස්සනට ඉන්න කැමැති කෙනෙක්. මම පවුලේ බාලයා. පුංචි කාලේ ඉඳන් මට ඕනකරන දේවල් මට ලැබුණා. හැබැයි නිළියක් වුණාට පස්සෙත් මම ඉස්සර හිටපු හර්ෂිව අමතක කළේ නැහැ. අදටත් ඉන්නේ එයාම තමයි. මගේ ජීවිතේ හරි සරලයි. අදටත් මම යම් නිර්මාණ කටයුත්තක් කරලා ලැබෙන මුදලින් කොටසක් දනකට පූජා කරනවා. මම පව් කරන්න බයයි. රට රටවල්වල ඇවිදින්න කැමැතියි.