2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ආදරය විඳලත් තියෙනවා දැනිලත් තියෙනවා

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 320

දුෂේනි.. මීට ටික කාලයකට උඩදි නිර්මාණවලට දායක වුණත් පසුගිය කාලයේදි පේන්න හිටියෙ නැහැ. දුෂේනි ලංකාවේ නැහැ කියලයි ඒ දවස්වල ආරංචි වුණේ?
ඔව්.. මම අවුරුදු එකහමාරක් විතර හිටියේ ඉන්දියාවේ. ඊට පස්සෙ කොවිඩ් ප්‍රශ්නය නිසා තමයි ඉන්දියාවෙන් ලංකාවට එන්න සිද්ධ වුණේ. මට ඉන්දියාවට යන්න එක්තරා සංචාරක ආයතනයකින් අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවෙන් තමයි මම ඉන්දියාවට ගියේ.

මේ දවස්වලනම් දුෂේනි %පාර දිගේ^?
ඔව්.. %පාර දිගේ^ මේ දවස්වල විකාශය වන ටෙලි නාට්‍යයක්. %පාර දිගේ^ ටෙලිනාට්‍ය මගේ ජීවිතේ වෙනස්ම අත්දැකීමක් වුණා. ආයෙමත් නිර්මාණවලට දායක වෙන්නෙ නැහැ කියලයි මම හිතාගෙන හිටියේ. ඒ තීරණය සද්ධා මංගල සූරියබණ්ඩාර අයියගේ මේ තිර රචනයේ %බන්ටි^ කියන චරිතය වෙනස් කළා. ඒ වගේම මට ජයප්‍රකාශ් සිවගුරුනාදන් අයියා එක්ක වැඩ කරන්නත් ලොකු ආසාවක් තිබුණා. එහෙම වැඩ කරන්න පටන් ගත්තට පස්සේ සිවා අයියා ඉතාම හොඳ අධ්‍යක්ෂකවරයෙක් කියලා මට තේරුණා. ඔහුගෙන් අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. බන්ටි කියන්නෙ කොල්ලෙක් වගේ කෙල්ලෙක්. කොල්ලෝ එක්ක තමයි මට රෑගත කිරීම් වැඩිපුරම කරන්න තියෙන්නෙ. ඒක අමුතුම අත්දැකීමක්.

දුෂේනිට බොහෝ රූගත කිරීම් කරන්න සිදුවෙන්නෙ අඟුලාන මුහුද ආශ්‍රිත පරිසරයකයි. ඒ අත්දැකීම කොහොමද?
ඇත්තටම ඒ පැත්ත හරිම හොඳ පැත්තක්. මුලින් එද්දිනම් ටිකක් දුෂ්කරයි. කරගන්න අමාරු වෙයි කියන පොඩි සිතුවිල්ලක් මට තිබුණා. මම මේ වගේ පැත්තක රෑගත කිරීමකට කවදාවත් ඇවිත් තිබුණේ නැහැ. ඒ වුණාට ටික දවසක් ගියාට පස්සේ ඒ මිනිසුන්ගේ හරි අපූරු සුහදශීලීකමක් තිබුණා. අපි ඉන්න ගෙදර ඇන්ටි වුණත් අපිට ගොඩක් උදව් කරනවා. අපිට හරි ආදරෙයි. නිතරම බෝට්ටුවලට මාළු දැල් ඇදෙනවා. අපි ඒවත් බලන්න යනවා. ඉතින් හරිම ආසාවෙන් %පාර දිගේ^ රඟපානවා.

නිළියක් වීම දුෂේනි පුංචි කාලේ දැකපු හීනයක්ද?
නැහැ. මගේ ළමා කාලයේදි කිසිම තැනක නිළියක් වීමේ හීනයක් තිබුණේ නැහැ. මට ගුරුවරියක් වෙන්න ඕනෙ වුණා. මගේ නැන්දා ඉංග්‍රීසි ගුරුවරියක්. එයා හරි ලස්සනට ඇන්ඳා. මට ඉංග්‍රීසි කියලා දුන්නා. ඒ නිසා මම කවදා හරි ගුරුවරියක් වෙන්න ආසා කළා. හැබැයි හිතුවෙවත් නැති විදිහට මට රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබුණා.

දුෂේනි පාසල් අධ්‍යාපනය ලැබුවේ කොහේද?
මම ඉගෙන ගත්තේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ. කුරුණෑගල ගත කරපු ඒ ළමා කාලය හරි සුන්දරයි. මට තව මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් මල්ලිටයි මටයි හරි ලස්සන ළමා කාලයක් තිබුණා. අපේ ගෙවල් ළඟ යාළුවෝ හිටියා. ඉතින් අපි ඇති තරම් නිදහසේ සෙල්ලම් කළා. මගේ අම්මා, තාත්තා කවදාවත් මාව නීති දාලා හැදුවේ නැහැ. පාසලේදි මම රඟපාලා තිබුණේ නැහැ. කිසිම වේදිකා නාට්‍යයකට මම පාසලේදි සම්බන්ධ වුණේ නැහැ. හැබැයි බටහිර සංගීතය හැදෑරුවා. පියානෝව වාදනය කළා. ඉස්සර මම හරි ලැජ්ජා ළමයෙක්. අද මගේ පාසලේ යාළුවන්ටත් මම රංගන ශිල්පිනියක් වීම ගැන හරි පුදුමයි.

පාසල් වේදිකාවට සම්බන්ධ නොවුණු දුෂේනි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. කොතැනද මේ හැරවුම වුණේ?
පුංචි කාලේ මම ගුරුවරියක් වෙන්නයි ආසා කළේ. ටික ටික ලොකු වෙද්දි මට කළමනාකාරිනියක් වෙන ආසාව තිබුණා. 2015 අවුරුද්දේ මම Miss Sri Lanka තරගයට ඉදිරිපත් වුණා. ඒ වගේම 2017 අවුරුද්දේ ඉදිරිපත් වෙලා Miss Sri Lanka ජයග්‍රහණය කළා. Miss World තරගයට ඉදිරිපත් වුණාට පස්සේ ලැබුණු ආරාධනයත් එක්ක මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මට ආසාවක් ඇතිවුණා.

Miss Sri Lanka වැනි ජයග්‍රහණයක් ලබන්න ළමා කාලයේදිත් දුෂේනි ඒ විදිහට හැඩ වැඩ වෙන්න ආසා කළාද? සෙල්ලමට සාරි ඇඳගෙන හැඩවුණු ළමා කාලයක් තිබුණාද?
ඇත්තම කියන්නද? පුංචි කාලේ නම් මට එහෙම ආසාවක් තිබුණේ නැහැ. මම එහෙම සෙල්ලමට හැඩ වැඩ වුණේවත් නැහැ. අඩුම ගාණේ මගේ අම්මා මට ලිප්ස්ටික් ගාලා ලස්සනට යනවටත් ආසා කළේ නැහැලු. ඇන්ඳෙම බෙල්ල ළඟට වැහෙන්නම තිබුණු කොලර් ටී ෂර්ට් විතරයි. අඩුම ගාණේ මම සුදු වෙන්නවත් මූණට මුකුත් ගෑවේ නැහැ. දැන් වුණත් අපේ අම්මටත් පුදුමයි ඒ කාලේ එහෙම හිටපු ළමයා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද කියලා. ඒ වෙනස්වීම මට තේරෙන්නෙත් නැහැ. පුංචි කාලේ මේක්අප්වලට විලාසිතාවලට මම පොඩ්ඩක්වත් ආසා කළේ නැහැ.

Miss Sri Lanka තරගයට දුෂේනිව ඉදිරිපත් කළේ කවුද?
ඒ තරගයට මාව ඉදිරිපත් කළේ මගේ තාත්තයි. තාත්තා තමයි බොහෝ තරගවලට මගේ අයදුම්පත් දැම්මේ. සමහර තරගවලට මම %බැහැ^ කියද්දිත් තාත්තා ඒවාට යොමු කළා. මුලින්ම මම රඟපෑවේ %නිල්වලා^ ආයතනය නිෂ්පාදනය කළ සුජීව ප්‍රසන්නආරච්චිගේ කතාවක් වුණු %ආදරය ගින්දරක්^ කියන ටෙලිනාට්‍යයේ. ඒ මීට අවුරුදු පහකට විතර උඩදියි. මම මුලින්ම තාත්තා එක්ක තමයි ඒවාට සහභාගි වුණේ. කැමරාව ගැන, රඟපෑම ගැන දැනුමක් තිබුණේ නැහැ. හැබැයි ටික ටික ඉගෙන ගත්තා. ඒ කාලෙ රෑගත කිරීම් කරන හැම දවසකටම මගේ අම්මත් මාත් එක්ක ආවා.

ලංකාවෙන් ඉන්දියාවට ගියේ රංගනය එපා වෙලාද?
එහෙම රංගනය එපා වුණේ නැහැ. රංගන වැඩ කටයුතුවලට තමයි මම ඉන්දියාවටත් ගියේ. ඉන්දියාවට යන නිසා මම රංගනය තාවකාලිකව නැවැත්තුවා. ඒ වගේම සමහර දේවල් නිසාත් මට පොඩ්ඩක් කලකිරුණා. ඒ නිසා මම රංගනය නැවැත්තුවා. හැබැයි %පාර දිගේ^ ආයෙමත් මාව රංගනයට එකතු කළා.

මේ වන විට සැබෑ ජීවිතේ දුෂේනි පෙම්වතියක්ද?
නැහැ. මේ වෙනකොට නම් පෙම්වතියක් නෙමේ. මම ආදරය විඳලා තියෙනවා. ආදරය දැනිලා තියෙනවා. ඒ හැමදේම අතීතයට අයිතියි.

ඊළඟ බලාපොරොත්තු මොනවාද?
ඉදිරියේදි වැඩ කටයුතු නිසා මට ආයෙත් ඉන්දියාවට යන්න සිදුවෙනවා. ඒ අතරේ හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ආරාධනා කිහිපයක්ම මේ වෙද්දිත් ලැබිලා තියෙනවා. ඉතින් ඒ හැමදේම අනාගතයට බාරයි.

දුෂේනි මිහිරංගි කියන්නෙ කවුද?
දුෂේනි කියන්නෙ බොහොම සාමාන්‍ය සරල කෙල්ලෙක්.

 

                      සේයාරූ I සුමුදු හේවාපතිරණ