2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ඔලිම්පික් යන්න හීන මවපු කාලයකුත් තිබුණා

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 56

• කැපකිරීම
මට දැනෙන විදිහට කුඩා කාලයේ සිටම අපි කැපකිරීම් කරන්නේ අපේ අනාගතය වෙනුවෙනුයි. අනාගතය ලස්සන වෙන්න, අපි අපේ ජීවිතේ කැපකිරීම් කරනවා. කුඩා කාලයේදී මම ක්‍රීඩාව වෙනුවෙන් මගේ අධ්‍යාපනය කැප කළා. මම පාසැලේදී ඉතා දක්ෂ මළල ක්‍රීඩකයෙක්. සමස්ත ලංකා බොහෝ ජයග්‍රහණයන් මම ලබාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් මම කළා. කවදාහරි මළල ක්‍රීඩා ඉසව්වලින් ඔලිම්පික් නියෝජනය කරන හීනයක් මට තිබුණා. ඒ ක්‍රීඩාව වෙනුවෙන් මම පුදුමාකාර කැපකිරීමක් කළා. මෑත කාලයේදී රංගනය වෙනුවෙන් මම මගේ රැකියාව කැපකළා. මම රුකියාවෙන් අයින් වුණා.  මට දැනෙන විදිහට කැපකිරීම් නැතිව ජයග්‍රහණ ලබාගන්න අමාරුයි.

• ඉරිසියාව
මනුස්සයෙක් විදියට මගේ ජීවිතෙත් ඉරිසියාවල් ඇතිවෙලා තියෙනවා. ඒක අපි කාටත් ඇතිවන දෙයක්. අපිට වඩා දෙයක් තව කෙනෙකුට තිබෙනවා නම් ඒක ඔහුට ලැබෙන්න අවශ්‍ය නිසා ලැබුණ දෙයක් කියන අවබෝධය මා තුළ තියෙනවා. ඒක ඔහු හෝ ඇයගේ මහන්සියෙන්, ධෛර්යයෙන්, වාසනාවෙන් ලැබෙන දෙයක් කියන අවබෝධය මා ළඟ තියෙනවා. මම මගේ ජීවිතය තවත් කෙනෙක් එක්ක සංසන්දනය කරන්නේ නැහැ. ඉරිසියාව ඇතිවෙන්නේ තවත් කෙනෙක් එක්ක සංසන්දය කළාමයි. ඉරිසියා කරනවාට වඩා මහන්සිවෙලා යමක් ලබාගැනීමෙන් හිතට සැනසීමක් දැනෙන බව මම විශ්වාස කරනවා.

• කඩා වැටීම
මගේ ජීවිතෙත් මට දැනෙන විදිහට කඩාවැටීම් වෙලා තියෙනවා. ක්‍රීඩා කරන කාලේදී උපරිමයෙන්ම දක්ෂතා පෙන්නුම් කරන කාලයේදී මගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මට ක්‍රීඩා ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා. වෛද්‍යවරුන්ගේ නිර්දේශය වුණේ ක්‍රීඩා නොකළ යුතුමයි කියලයි. ඔලිම්පික් යන්න හීන මවපු මට ඒ ක්‍රීඩා සමුගැනීමත් එක්ක ලොකු කඩාවැටීමක් ඇතිවුණා. ඒ අතරේදී ක්‍රීඩා තරග කිහිපයක් පරාජය වීමත් එක්ක මම තවත් කඩා වැටුණා. මම මුලින්ම ඉගෙන ගත්තේ කළුතර විද්‍යාලයේයි. ක්‍රීඩා දක්ෂතා නිසාම මට කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ පාසල මාරුවීමත් මගේ ජීවිතේ ලොකු කඩා වැටීමක් වුණා. අම්මලා මාව හොස්ටල් නැවැත්තුවා. දෙමව්පියන්ගෙන් ඈත්වීමත්, මගේ යහළුවන් මට නැතිවීමත් මගේ ජීවිතේ ලොකු කඩාවැටීමක් වුණා.

• පසුතැවීම
අපිට ජීවිතේ පසුතැවීම් ඇතිවෙනවා. ඒක ස්වභාවයක්. පසුතැවීම් නිසා අපිට ජීවිතේට බොහෝ දේවල් ලැබෙනවා. පසුතැවීමෙන් අපේ ජීවිතයට ලැබෙන පන්නරය ජීවිත කාලය පුරාවටම හරිම වැදගත් වෙනවා. අපිට නොලැබුණ දේවල් ගැන හිතලයි අපි පසුතැවෙන්නේ. නමුත් ඒ නොලැබුණු දේවල් ගැන හිතලා පසුතැවෙනවට වඩා ඒ නොලැබී යාමෙන් හිතට හයිය ගෙන ජීවිතේ ගෙනයාමයි වටින්නේ.

• අභියෝග
මට දැනෙන විදිහට මගේ ජීවිතෙත් අභියෝග තිබුණා. අදටත් එහෙමයි. අභියෝග ජීවිතේට තිබිය යුතු යැයි මම විශ්වාස කරනවා. කලා ජීවිතයත් මට ලොකු අභියෝගයක් වුණා. ඒ අභියෝග තමයි අපිට ඉදිරියට ගෙනියන්නේ. අභියෝග ගැන හිත හිතා ඉඳලා හරියන්නේ නෑ. ඒ අභියෝග ජයගන්න අපි වැඩකරන්න ඕන. අසනීප වෙලා ඉඳිද්දීත් මම ක්‍රීඩා කටයුතුවල මුලදී නිරත වුණා. මට ඒක ලොකුම ලොකු අභියෝගයක් වුණා.

• ප්‍රථම ප්‍රේමය
මට දැනෙන විදිහට මගේ ප්‍රථම ප්‍රේමය හරිම සුන්දරයි. ඒක අවුරුදු දහයක ප්‍රේමයක්. ඒක පාසල් ප්‍රේමයක්. ඒ ප්‍රථම ප්‍රේමයම අද මගේ ජීවිතයම වෙලා තියෙනවා.

• ආදරය
මගේ ලොකුම ආදරය ගෙදර කට්ටියම තමයි. ප්‍රථම ප්‍රේමයෙන් මුණ ගැහිච්චි අපි අද එක ගෙදරක පුංචි පැටව් දෙන්නෙක් එක්ක ලස්සන ජීවිතයක් ගත කරනවා. මේ ආදරය වෙනුවෙන් මම ගොඩක් කැපකිරීම් කරනවා. මේ ආදරය හරි සුන්දරයි. ඒක මට ගොඩාක් වටිනවා.

• පරාජය
මගේ ජීවිතේ පරාජ වෙච්චි තැන්, අහිමි වෙච්චි තැන් ගොඩක් තිබෙනවා. ඒ පරාජයන් මාව ශක්තිමත් කළා. ජයග්‍රහණයන්වලදී අපි දිනුවාට, මම අලුත් වුණේ, පන්නරය ලැබුවේ පරාජයන් තුළින්මයි. නිරෑපණ ක්ෂේත්‍රයේ ඉන්න කාලේදී ඒ තරඟවලින් ජයග්‍රහණ වගේම පරාජයන් මම ලබලා තියෙනවා. පරාජයන් ලබද්දී මම දිනපු අයට වඩා උඩට ගිහින් තිබෙනවා. පරාජයන් තමයි මාව ශක්තිමත් කළේ.

• ඉලක්ක
රංගන කටයුතු නිසා මම රුකියාවෙන් අයින් වුණා... ඒත් රංගනයෙන්ම ජීවත් වෙන්න අමාරු නිසා මගේම පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. මම ඇඳුම් නිර්මාණය කරනවා. මම මේ මගේ ව්‍යාපාරය දියුණු කරන්න කැමතියි. මේ වෙද්දී රංගනය සඳහා මට බොහෝ අවස්ථාවල් ලැබිලා තියෙනවා. ඉස්සර ඉඳන් මා තුළ තිබුණ ඉලක්කයට මම ළඟා වෙන බවත් මට දැනෙනවා. ඒ හරහා මට හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. හොඳ නිර්මාණවලට දායක වෙන්න මම ආසයි.

• ඔබ කවුද?
මට දැනෙන විදිහට මම වෘත්තියෙන් කලාකරුවෙක්. පොඩි පරිමාණයෙන් කරන ව්‍යාපාරිකයෙක්. පුතෙක්, සැමියෙක්, තාත්තෙක්, සහෝදරයෙක් සහ හොඳ යාළුවෙක්.