2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

රහට කන්න එහේ ගියත් ගන්න වුණේ ෆොටෝ ගොඩක්

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 115

ජනප‍්‍රිය හින්දි සිනමාපට නිෂ්පාදිකා, අධ්‍යක්ෂිකා සහ නර්තන අධ්‍යක්ෂවරියක් වශයෙන් හින්දි සිනමාවේ වෘත්තියේ නියැලෙන ෆාරා ඛාන්ට ඇයගේ ප‍්‍රියතම සිනමා තාරකාවන් පසුගිය සෙනසුරාදා අවන්හලකදී හමුවෙලා තියෙනවා. ඇය තම ප‍්‍රියතම හින්දි සිනමා නිළියන් හමුවූ විට ඔවුන් සමඟ ඡායාරූප ගැනීම නතර කර ගැනීමට හැකියාවක් ලැබී නැති බව බොලිවුඩයේ නවතම ආරංචි වලින් කියැවෙනවා. ඇය ඔවුන් සමඟ ඡායාරෑප රැගෙන ඒ මොහොතේදීම තම ඉන්ස්ට‍්‍රග‍්‍රෑම් ගිණුම ඔස්සේ තම රසික රසිකාවියන් සමඟ ඒ අත්දැකීම බෙදා හදාගෙන තියෙනවා. ඒ හැමෝගෙම හදවතට දැනෙන සිරස්තලයක්ද යොදමිනුයි.

මා කැමතිම බොලිවුඩය හැඩකළ කාන්තාවන් මුණගැසීම මට කොච්චර සතුටක්ද මට ඒ සතුට කියලා අවසන් කරන්න බැහැ කියලා ඇය තම සටහනේ තබා තියෙනවා. ෆාරා ඛාන්ට අවන්හලකදී හමුවෙලා තියෙන්නේ හින්දි සිනමව හැඩ කළ මුම්ටාස්, දීනා රෝයි සහ මල්ලිකා රන්දාවා යන අයයි. ඔවුන් එක්ක ෆාරා අවනහලේදී විනෝදයෙන් කාලය ගත කර තියෙනවා. ඔබ තිදෙනා ආහාර ගැනීම නතරකොට මාත් එක්ක ඡායාරෑප සඳහා පෙනී සිටීම ගැන ඔබ තිදෙනාට ස්තූතිවන්ත වෙනවා යනුවෙනුත් ෆාරා තම සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් කොට තියෙනවා.

ෆාරා ඡායාරෑප සමඟින් තබා ඇති සටහන මේ වෙද්දී සමාජ මාධ්‍යයන්හි වෛරසයක් මෙන් පැතිරෙනවා. ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් ඒ ගැන විවිධාකාරයේ අදහස් දක්වා තියෙනවා.

මුම්ටාස් විවාහයෙන් පසුව බොලිවුඩ් සිනමාවෙන් සමුගෙන විදෙස් ගතව සිටි අතර රීනා රෝයී පාකිස්ථානු ක‍්‍රිකට් ක‍්‍රීඩක මෝයින් ඛාන් සමඟ විවාහ වූ අතර ඔහුගෙන් දික්කසාද වූ පසු නැවතත් රීනා බොලිවුඩ් සිනමාව හා එකතු වුණා. ඇය බොලිවුඩ් සිනමා කර්මාන්තයට නැවත පැමිණියත් ඇයට වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඇය රූපවාහිනී වැඩ සටහනක්ද ඉදිරිපත් කොට තියෙනවා. මේ වනවිට ඇය සිය සහෝදරිය සමඟින් රංගන පාසැලක් පවත්වාගෙන යනවා. 

ජනප‍්‍රිය බොලිවුඩ් නළු සායිෆ් අලි ඛාන්ගේ සහ ජනප‍්‍රිය නිළියක් වන අම්රිතාගේ දියණිය වන බොලිවුඩයේ හැඩකාරියක් සහ දඟකාරියක් වන සාරා අලි ඛාන් අගෝස්තු 12 වැනිදා ඇයගේ 26 වැනි උපන් දිනය සැමරුවා. බොහෝ නළු නිළියන් ප‍්‍රමාණයක් ඇයට උපන් දින සුබපැතුම් එක්කළ අතර කරීනා කපූර් ඛාන් සාරාට විශේෂ උපන් දින සුභ පැතුමක් ප‍්‍රාර්ථනා කර තියෙනවා. 

සුභ උපන්දිනයක්... ඔබ හරිම හැඩකාරියක්... අසිරිමත් දවසක් වේවා කියලා ප‍්‍රාර්ථනය කොට ඇය ඉමොජි එකක් සාදා සමාජ මාධ්‍ය හරහා ඒක ශේයාර් කරලා තියෙනවා. 

සාරා තම ඉන්ස්ටග‍්‍රෑම් ගිණුම ඔස්සේ තමන්ගේ වසර 26ක ගමන්මඟ ගැන වීඩියෝවක් තමාට ආදරය කරන අය හා බෙදාගෙන ඇති අතර 1995 සිට 2021 දක්වා ඇය තමන්ගේ ගමන්මඟ ඒ වීඩියෝ එකෙන් පෙන්වා තියෙනවා. සාරාගේ මේ වීඩියෝ එකට ඇයට ආදරය කරන හැමෝම කැමති වී ඔවුන් තම ආදරය ඇයට ප‍්‍රකාශ කොට තියෙනවා.   

සාරා අලි ඛාන් බොලිවුඩ් සිනමාවට පිවිසියේ ජීවිතයෙන් සමුගත් සුශාෂ්න්ත් සිං රාජ්පුත් සමඟ කේදර්නාත් හින්දී සිනමාපටයට පෙනී සිටිමිනි. ඉන් අනතුරුව සාරා රන්වීර් සිං සමඟ සිම්බා හින්දී සිනමාපටයේ පෙනී සිටි අතර ඉන්පසුව කූලි නම්බර් වන් සිනමාපටයෙහි වරුන් ධවාන් සමඟින් චරිතයන්ට පණ පොවන්න එක්වුණා. සාරාගේ ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති සිනමාපටයක් වන්නේ අත් රාංගී සිනමාපටයයි. මේ සිනමාපටයෙහි ඇය ජනප‍්‍රිය නළු ආක්ෂය කුමාර් සහ ධනුෂ් සමඟින් චරිතවලට පණ පොවනවා.