2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

බඩගින්නෙ හිටපු වාර අනන්තයි - දිනෙත් ද සිල්වා

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 95

කැපකිරීම

මම උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ. මට කළමනාකරණ ක්ෂේත්‍රයෙන් යම් තැනකට එන්න ඕන වුණා. ඒ නිසා එංගලන්තයේ ඉඳන් මම ඒ සම්බන්ධව ඉගෙන ගත්තා. නමුත් ලංකාවට ඇවිත් ඒ හැමදෙයක්ම මේ කලාව වෙනුවෙන් කැප කළා. මම කලාවට හරිම ආසා කෙනෙක්. මම මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ ඔස්සේ තමයි රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඉතින් එංගලන්තයේ ජීවත් වුණු මම ඒ ක්ෂේත්‍රයන් දෙකට තිබුණු ආසාව නිසාම ඒ හැම දෙයක්ම කැප කළා. කලාවට ආසා කරපු මට එංගලන්තයේදි ඒ කැමති දේවල් කර ගන්න බැරි වුණා. නොදැනුවත්වම මගේ යටි හිතේ ඒ ආසාවල් තිබුණා. පුංචි කාලේ ඉඳන් මම කලාවට ආදරේ කරපු කෙනෙක්. අද කලාවට කැපවෙලා මේ මිනිසුන්ගේ ආදරය, මේ සමාජයත් එක්ක කරන ගනුදෙනුව එංගලන්තයේදි ලැබුණු මිල මුදල්වලට වඩා මට වටිනවා.

ඉරිසියාව

මිනිසුන් විදිහට අපි හැමෝටම ඉරිසියාව කියන දේ ඇතිවෙනවා. නමුත් මම මිනිසුන්ගේ බොහෝ දේවල් අගය කරන කෙනෙක්. මම නොදන්නා දෙයක් තියෙනවා නම් මම ඒවා දන්න කෙනෙක්ගෙන් අහගන්නවා වගේම මම දන්න දේවල් මම නොදන්න කෙනෙක්ට කියලා දෙනවා. මනුස්සයෙක්ට මට දෙයක් කියලා දීම තුළින් එයා මට වඩා ඉහළින් ඉන්නවා දකින්නයි මගේ කැමැත්ත වෙන්නෙ. ඒ නිසා මේ ක්ෂේත්‍රයන් තුළදී ඉරිසියාව කියන දේ මට දැනෙන්නෙම නැහැ.

කඩාවැටීම

මගේ ජීවිතේ කඩාවැටීම් බොහොමයක් වෙලා තියෙනවා. එංගලන්තයේ අධ්‍යාපනය ලබන කාලේ මට අනන්තවත් කඩාවැටීම් වෙලා තියෙනවා. දන්න කියන කෙනෙක් නැතිව නොදන්න රටක තනි වෙද්දි සිදුවුණු කඩා වැටීම් අප්‍රමාණයි. දුක, බඩගින්න, නිදිමත හැම දෙයක්ම ඒ කාලේ උපරිමයෙන්ම වින්ඳා. ඒවා මගේ ඇටමිදුළුවලින් පවා විඳපු මනුස්සයෙක්. ඒ වගේ කඩාවැටිච්ච හැම තැනකදිම මම කොහොම හරි හිත හයිය කර ගත්තා. මම ලංකාවට ආවට පස්සේ ඒ විඳපු කඩා වැටීම්වලින් මම ලබපු පන්නරය සහ අත්දැකීම් තාමත් මට රංගන ක්ෂේත්‍රයට යොදාගන්න බැරිවෙලා තියෙනවා. එංගලන්තයේදි බඩගින්න මම උපරිමයෙන්ම විඳපු කෙනෙක්. රංගන ශිල්පියෙකු විදිහට මම ලබපු ඒ අත්දැකීම් නිරූපණය කරන චරිතයක් ලැබුණොත් මට ඒ චරිතය ඉතා සාර්ථකව කර ගන්න හැකි වස්තු බීජයක් මගේ ජීවිතේ තියෙනවා.

පසුතැවීම

අපි හැමෝටම ජීවිතේ පසුතැවීම් අනන්තවත් තියෙනවා. මගේ ජීවිතෙත් එහෙමම තමයි. ගත්ත තීරණ ගැන පහුවෙද්දී අපිට පසුතැවීම් ඇතිවෙලා තියෙනවා. පසුතැවීම් තුළින් අපිට ජීවිතේ යථාර්ථය දකින්න පුළුවන් වේවි. ජීවිතේ කොතනක හරි වරදක් කළා කියලා දැනෙද්දි පසුතැවීම කියන දේ ඇතිවෙනවා. ඒ දැනෙන පසුතැවීම හින්දා තමයි අපි ආයෙත් පිටුපස හැරිලා කොතනද අපිට වැරදුණේ කියලා හොයලා බලන්නෙ. මගේ ජීවිතෙත් එහෙම දැනුණු පසුතැවීම් නිසා වෙච්ච වැරදි බොහොමයක් හදාගෙන තියෙනවා.

අභියෝග

මට දැනෙන විදිහට ජීවිතේ කියන්නෙ අභියෝගයන්ට තමයි. මම විශ්වාස කරන දෙයක් තමයි අභියෝග තියෙන තරමට අපිට ජීවිතේ අහුවෙනවා කියලා. ඒ කියන්නෙ අපි ජීවිතේ ගැන තේරුම් ගන්නවා. මගේ සාමාන්‍ය ජීවිතේ වගේම කලා ජීවිතෙත් අභියෝග මුණගැහිලා තියෙනවා. මගේ ජීවිතේ ගමන්මඟ මල් යහනාවක් උඩින් ආපු ගමනක් නෙමෙයි. බොහෝ බාධක, කම්කටොලු ඔස්සේ ආපු ගමනක්. ඒ ගමන්මගේ මට අනන්තවත් අභියෝග මුණගැහුණා. චරිතයක් කරද්දි, සමහර චරිතවලට මාව තෝරාගනිද්දි ඒක මට අභියෝගයක් වුණා. හැබැයි ජීවිතේ රහ වෙන්නෙ ඒ අභියෝගවලට මුහුණ දීමෙන් ලැබෙන තෘප්තියෙන්මයි.

මඟහැරීම

මම උසස් අධ්‍යාපනය ලැබුවේ වෙන ක්ෂේත්‍රයක. ඒක මඟහැරලා මම මේ කලා ක්ෂේත්‍රයට යොමු වුණා. හැබැයි ඒ මඟහැරුණු අධ්‍යාපනය ගැන මට ලොකු දුකක් නැහැ. ජීවිත ගමන යද්දි අපිට හැම දෙයක්ම බදාගන්න බැරි වෙනවා. සමහර වටිනා දේවල් අපිට මඟහැරෙනවා. පවුලත් එක්ක, නෑදෑ හිතමිතුරන් එක්ක ගත කරන්න තියෙන කාලය වුණත් අපෙන් සමහරවිට මඟහැරෙන්න පුළුවන්. මාත් එක්ක මට ගත කරන්න තියෙන කාලය වුණත් සමහර දේවල් නිසා මගෙන් මඟහැරුණා. ඒ මඟහැරුණු දේවල් එක්තරා විදිහකට ජීවිතයට පන්නරයක් වෙන්න උදව් වුණා. ඒ මඟහැරුණු දේවල් කවදා හරි ජීවිතේට මුණගැහීම් කියන බලාපොරොත්තුවකුත් මට තියෙනවා.

ප්‍රථම ප්‍රේමය

ඒකත් මඟහැරුණු දෙයක්. අපි ජීවිතේ බලාපොරොත්තු වුණු දේවල් ඒ විදිහටම ඉටු වෙන්නෙ නැහැ. ඒ නිසා ජීවිතේ ගොඩක් මඟහැරීම් අතරේ ඒ ප්‍රේමයත් මඟහැරිලා තියෙනවා. හැබැයි ඒ ගැන දුක් වෙන්නෙ නැහැ.

ආදරය

ආදරය හරි සුන්දර දෙයක්. එක මොහොතකින් එක තත්පරයකින් ඇතිවෙන දෙයකට වඩා හැම මොහොතකම විඳින දෙයක්. ඒ ආදරය තුළ අවබෝධය තියෙන්නම ඕනෙ. මම කලාකරුවෙක් විදිහට කලාව වෙනුවෙන් කැප කරන කෙනෙක්. එතකොට ජීවිතේ සමහර දේවල් මඟහැරෙන්න පුළුවන්. නමුත් ඒ දේවල්වලදි ආදරය කියන දේ හරිම සමබරව බෙදා හදාගෙන යන්න ඕනෙ.

ජයග්‍රහණ

මගේ ජීවිතේ මම ජයග්‍රහණ බොහොමයක් ලබා තියෙනවා. පාසල් කාලේ සිට අද දක්වා විශාල වශයෙන් ජයග්‍රහණ ලබා තියෙනවා. ඒ ජයග්‍රහණ ලබදදි පරාජයන්ද ලබා තියෙනවා. ලබපු ජයග්‍රහණ දිහා හැරිලා බලද්දි ඒ වෙනුවෙන් කරන කැපකිරීම්, ඒ වෙනුවෙන් ගත කරපු කාලය සහ හැමදෙයක් ගැනම මට දුකක් නැහැ. ඒ හැමදේකින්ම ලබපු සතුට මේ මොහොතේ මම විඳිනවා.