2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ජීවිතේ කඩාවැටුණා අලුත් මිනිහෙක් විදිහට නැගිට්ටා - ‍රොෂාන් පිලපිටිය

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 209

කැපකිරීම
කැපකිරීම කියන්නෙ හරිම ලස්සන තේරුමක් තියෙන වචනයක්. කැපකිරීම මත තමයි අපි හැමෝගෙම ජීවිතය රඳා පවතින්නේ. කැපකිරීම වචනයට ගරු කිරීමත් අයිති වෙනවා. මගේ ජීවිතෙත් කැපකිරීම් කරලා තියෙනවා. මම නිසා මගේ පවුලේ අය, මගේ බිරිඳත් කැපකිරීම් කරලා තියෙනවා. ජීවිතේ සමහර දිනවල මගේ කාර්යබහුලකමත් එක්ක මගේ අතින් සිදුවිය යුතු යුතුකම් මඟහැරෙද්දී මට තියෙන ආදරය නිසා ඔවුන් ඇතැම් දේවල් කැප කරලා තියෙනවා. ඒ වගේම මට ලැබුණු ඇතැම් නිර්මාණ නිසා මගේ බිරිඳ, මගේ පුතා එක්ක ඉන්න තියෙන කාලය මඟහැරෙන බව තේරෙද්දි ඒවා බාරනොගෙන කැපකිරීම් කරපු අවස්ථා තියෙනවා.

ඉරිසියාව
ඉරිසියාව කියලා කියන්නේ අපි ජීවිතෙන් තුරන් කරන්න ඕනෙම දෙයක්. ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ අඩු වැඩි වශයෙන් ඉරිසියාව කියන දේ ඇතිවෙනවා කියලා මම විශ්වාස කරනවා. කාලයක් මගේ ජීවිතය තුළත් ඔය ඉරිසියාව කියන දේ තිබුණා. අපි හැමෝම පෘථග්ජන මිනිස්සු. මේ දේවල් අපි ළඟ නැත්නම් අපි මාර්ග ඵල අත්කරගත්තු අයයි. නමුත් පහු කාලයේදී මා තුළ ඒ ඉරිසියාව ටිකෙන් ටික ඈත්වුණා.

කඩාවැටීම
මගේ ජීවිතෙත් කඩාවැටීම් වෙලා තියෙනවා. හැබැයි ඒ කඩාවැටීම්වලින් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ ඉගෙන ගත්තු දේවල් මගේ ජීවිතේ නැඟිටවන්න ලොකු අත්වාරුවක් වුණා. කඩාවැටීම් තුළින් හොඳ දේවල් ඉතිරි වුණු බව මම විශ්වාස කරනවා. ඇතැම් කඩාවැටීම් මට ඇතැම් මොහොතක දරාගන්න බැරි වුණා. නමුත් කඩාවැටීම් එක්ක ඉවසීම කියන දේත් ජීවිතයට ළං වෙද්දී කඩා වැටුණු ජීවිතෙන් අලුත් මිනිහෙක් විදිහට නැඟිටින්න මට හැකි වුණා. මාව ශක්තිමත් කළෙත් ඒ කඩා වැටීම්ම තමයි.

පසුතැවීම
පසුතැවීමත් කඩාවැටීමත් අතර මොකක්දෝ සමානකමක් තියෙනවා කියලා මට දැනෙනවා. මගේ ජීවිතේ යම් යම් කාලවලදී යම් යම් දේවල් ගැන, කරපු කියපු දේවල් ගැන පසුතැවීමක් තිබුණා. නමුත් ඒ පසුතැවිලි වුණු දේවල් ගැන මට දැන් පොඩ්ඩක්වත් හිතෙන්නෙ නැහැ. ඒ තරමටම මම දැන් ඒ පසුතැවිලිවලින් ජීවිතය හදාගෙනයි ඉන්නෙ. ඇත්තම කිව්වොත් තිබුණු ඒ පසුතැවීම් ගැන සිතීමත් මට ලොකු පසුතැවිල්ලක් වෙනවා. ඒ හැමදෙයක් නිසාම මට ඉදිරියට එන්න පුළුවන් වෙලා තියෙනවා.

මඟහැරීම
මට දැනෙන විදිහට දැඩි ආශාවන් කියලා මඟහැරිච්ච කිසිම දෙයක් මගේ ජීවිතේ දැන් නැහැ. අවුරුදු විසි ගණන්වලදී එහෙම මඟහැරිලා ගිය දේවල් තිබුණා. ඒ මඟහැරිච්ච දේවල් ලබාගන්න උත්සාහ කරපු අවස්ථා තිබුණා. නමුත් දැන්නම් මම ඒවා ගැන හිතන්නෙවත් නැහැ. දැන් ඒ හැම මඟහැරීමක්ම හොඳයි කියන සිතුවිල්ලේ අද මම ජීවත් වෙනවා. ඒක තමයි ඇත්ත.

අභියෝග
මගේ ජීවිතේ අභියෝග තිබුණා. අභියෝග ආවා. නමුත් ඒ හැම අභියෝගයකටම මම මුහුණ දුන්නා. මම මාව හොඳින් හඳුනනවා. මට මාව විශ්වාසයි. ඒ නිසා අද ඕනෑම අභියෝගයකට කෙසේ හෝ මුහුණ දෙන්න හයිය මට තියෙනවා. නිර්මාණයකදි වුණත් මගේ ජීවිතේ නැති පෙනුමත්, චරිතයත්, රඟපෑමත් මට අභියෝගයක්. නමුත් ඒ චරිතය හොඳින් රඟපාලා එවැනි චරිත පිළිබඳව අධ්‍යයනය කරලා ඒ චරිතය සාර්ථකව රඟපාන්න මම උත්සාහ කරනවා.

අත්හැරීම
අපි කොච්චර හොඳ කළත් අපිට තරහා ඇතිවෙනවා. එවැනි දේ ඉවසීමෙන් දරාගන්න හැකිනම් ඒක තමයි වටින්නේ. මගේ ජීවිතේ කාලයක් මට හොඳටම තරහ ගියා. නමුත් එහෙම තරහා යාමෙන් අපි අපේ ජීවිතවලටම කර ගන්නෙ ලොකු හානියක්. ඒ නිසා තරහ, ඉරිසියාව කියන දේ මම මගේ ජීවිතෙන් අතහැරියා. ඒ අත්හැරීම අද මම යම් සතුටකින් සැහැල්ලුවකින් ඉන්නවානම් මට ලොකු පිටුවහලක් වුණා.

පරිත්‍යාගය
මගේ ජීවිතේ මට දැනෙන හැටියට අනන්තවත් පරිත්‍යාග සිදු කරලා තියෙනවා. මම පරිත්‍යාගයක් සිදු කරන්නෙ ලෝකෙට පේන්නවත්, ප්‍රසිද්ධ වෙන්නවත් නෙමෙයි. ජීවිතේ කරපු ඇතැම් පරිත්‍යාග නිසා අද හිතට දැනෙන්නෙ ලොකු සැනසීමක්. මම ඊළඟ  ආත්මයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා මම පව් කරන්න බයයි.

ප්‍රථම ප්‍රේමය
ප්‍රථම ප්‍රේමය පාසල් යන කාලෙදී ඇතිවුණු දෙයක්. ඒක හරි සුන්දර ප්‍රේමයක්. ටික කාලයක් හරි සුන්දරව ගෙනිච්ච ප්‍රථම ප්‍රේමයට කාලයක් යද්දි නැවතීමේ තිත තියන්න සිදු වුණා.

ආදරය

ඇත්තටම අද මගේ බිරිඳ සහ පුතාගේ ආදරය තමයි මාව ජීවත් කරවන්නෙ. ඒ දෙන්නාගේ ආදරයත් එක්ක හරි අපූරු කැදැල්ලක අපි ජීවත් වෙනවා. මගේ බිරිඳ රිද්මා. පුතා රාහුල්. ඉතින් මේ ආදරය හරි සුන්දරයි.

ජයග්‍රහණ
මගේ ජීවිතේ ජයග්‍රහණ බොහොමයක් තියෙනවා. කලාකරුවෙක් විදිහට, සාමාන්‍ය කෙනෙක් විදිහට ලබපු ඒ ජයග්‍රහණ අතරින් ආදරණීය තාත්තා කෙනෙක් වීම මම ලබපු ලොකු ජයග්‍රහණයක් විදිහට මට අද දැනෙනවා.

පරාජය
අවුරුදු විසි ගණන්වලදි මගේ ජීවිතේ පරාජයන් තිබුණා. නමුත් ඒ හැම පරාජයක්ම මගේ ජීවිතය ලොකු ජයග්‍රහණයක් කරා ඔසවා තැබුවා කියලා අද මට හිතෙනවා.

ඉලක්ක
මට දැනෙන විදිහට මට ලොකු ඉලක්ක නැහැ. අන් අයට කරදරයක් නොවී මගේ බිරිඳ, දරුවා එක්ක සතුටින් මේ ජීවිතය ඉදිරියටත් ගෙනියන්න මම ආසයි. ලොකු ලොකු බලාපොරොත්තු මගේ ජීවිතේ නැහැ.

මම කවුද?
මට දැනෙන විදිහට මම ඉතාමත් සරල කාටවත් කරදරයක් කරන්න කැමති නැති සාමාන්‍ය කෙනෙක්.

 දිශානි ජයමාලි කරුණාරත්න