2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

නැති Fashion එකක් නැති 21- ඔලිම්පික්

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 20

Olympic fashion ගැන ගිය සතියේ කතා කළා අපේ සුදාලට මතක ඇතිනේ. ඔන්න අද Y Trend එකෙන් අපි අරගෙන ආවේ ඒ Story එකේ Part 2 එක. මොනවාද මේ පාර Tokyo Olympic වල අපි දැක්ක අමුතු Fashion. සිරාවට කියන්නේ මේ කතාව හරියටම කියන්න නම් පොතක් ලියන්න වෙනවා මචෝ. ඒ නිසා අපි පොදුවේ සීන්කෝන් එක සරලව කෙටියෙන් ගලපන්නම්. එහෙනම් මෙහෙම කරමු. එක එක විලාසිතා ගැන  වෙන වෙනම බලමු. 

Olympic කොණ්ඩ මෝස්තරවලින් පටන් ගමු. ගැහැනු පිරිමි කොණ්ඩ මෝස්තර සෑහෙන්න මේ පාර ඔලිම්පික්වල අපි දැක්කා. විශේෂත්වය Hair Colouring කියන සීන් එක මේ පාර ක්‍රීඩිකාවන් අතර ලොකු Trend එකක් වෙලා තිබුණේ. මළල ක්‍රීඩාවල තමා සීන් එක ලොකුවට තිබුණේ. ඒකෙනුත් Running වල මේක පිස්සුවක් වුණා මචෝ. සුදුසුකම් ලැබීමේ වටයේදී කොණ්ඩ එක පාටක්. Semi finals වලදී තව පාටක්. Final එකේ දී වෙනම පාටක්. මේකේ විශේෂත්වය තමා ගොඩක් තද වර්ණ භාවිතය කැපී පෙනීම. ඊළඟට ක්‍රීඩිකාවන් අතර කොණ්ඩය රුලි ගැන්වීම ලොකුවට තිබුණා. එතකොට තව අමුතු සීන් එකක් අපිට දැනගන්න ලැබුණා ඒ තමා අපි ඇත්ත කොණ්ඩ වගේ දැක්කට සමහරු විග් නැත්නම් බොරු කොණ්ඩ භාවිත කළා කියලා.

ක්‍රීඩකයන් සාමාන්‍යයෙන් ලොකු Hair style වලට උනන්දුවක් දක්වන්නේ නෑ කියලා මතයක් තියෙනවා. නමුත් මෙදා පාර ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු වුණා. විශේෂයෙන්ම කවදත් Fashion වලට කැමති විනෝදකාමී කළු ජාතික ක්‍රීඩකයෝ අමුතු අමුතු කොණ්ඩ මෝස්තර කරලා තිබුණා. වර්ණ කිහිපයක් යොදාගෙන සමහරු කොණ්ඩය චිත්‍රය වගේ පාට කරන කොට තව සමහරු කොණ්ඩේ ඉත්තෑ කූරු හදලා තිබුණා. ආ මචෝ තව සීන් එකක් කියන්න ඕනෑ. වෙනදට වඩා කොණ්ඩේ බැඳපු ක්‍රීඩකයෝ මෙදා පාර හිටියා. විශේෂයෙන්ම කණ්ඩායම් ක්‍රීඩාවල. කොණ්ඩේ ගැන කතා කරලා රුවුල් ගැන කතා නොකර බෑ. රුවුල් ගැන විශේෂ උනන්දුවක් තිබුණේ වෙනදා වගේම වෙඩි තැබීම වගේ ක්‍රීඩාවල නිරත අයගේ. ඊට අමතරව යගුලිය, කවපෙත්ත, මිටිය විසිකිරීම වගේ තරගවල නිරත වුණු හැඩි දැඩි ක්‍රීඩකයෝ විශාල රුවුල් වවාගෙන ඉන්නවා අපිට පේන්න තිබුණා. රතු රුවුල තමා රුවුල්වල Hit එක වුණේ.

Tattoos කියන්නේ කොහොමත් මේ කාලේ ලෝකයම ආක්‍රමණය කරපු Trend එකක්නේ මචෝ. Olympic වලත් එහෙමයි. සාමාන්‍යයෙන් ජපන්නු Tattoos වලට බයයි. ඒ වුණත් Tokyo ආපු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඒක ගණන් අරගෙන තිබුණේ නම් නෑ. Olympic වල කැපීපෙනුණම Tattoo එක මොකද කියලා ඇහුවොත් උත්තරය හරිම සරලයි. Olympic Tattoo එකම තමා Olympic වල කැපීපෙණුනු Tattoo එක මචෝ. Olympic එනවා කියන්නේ සරල වැඩක් නෙවෙයිනේ හරිය. ඒ නිසා ගොඩක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ Olympic Tattoo එක තමන්ගේ ඇගේ කොහේ හරි කලින්ම ඔලිම්පික් වළලු ටිකයි  Tokyo Olympic 2020 කියලයි ගහගෙන Olympic යන්න අධිෂ්ඨානයක් ඇතිකරගෙන හිටියේ. අපේ රටේ සමහරුත් එහෙම තමා. කොහොම හරි සුදෝ විශේෂයෙන්ම ජිම්නාස්ටික් පිහිනුම්, කිමිදුම් වගේ ක්‍රීඩාවල තමා මේ Tattoos වැඩිපුර ප්‍රදර්ශනය වුණේ. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අත්වල, වළලුකරේ වගේම උර බාහුවේ මේ Tattoos දකින්න ලැබුණා.

ඊට අමතරව ක්‍රීඩාවට අනුව තමන්ගේ සිරුරේ ප්‍රේක්ෂකයන්ට නිරාවරණය වෙන තැන්වල ගැහැනු පිරිමි භේදයක් නැතුව Tattoos ගහගෙන තිබුණා. මේ පාර ලෝකයේ වේගවත්ම මිනිසා වුණු ඉතාලි ජාතික ක්‍රීඩකයා මුළු ඇඟේම Tattoos ගහලා තිබුණා සුදාලා දකින්න ඇතිනේ. විශේෂයෙන් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උරහිස්වල වගේම පිටේ Tattoos දකින්න ලැබුණා. ඒක ලොකු Trend එකක් කියලත් කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට තමන්ගේ ක්‍රීඩාවට අදාළ වෙන විදිහේ Tattoos එහෙම අපි දැක්කා. දුනු විදින අය තමන්ගේ අත්වල ඊතලයක Tattoo එකක් විදිහට ගහලා තිබුණේ දුන්න, භාවිත කරනකොට හැමෝටම පේන්න. ඉතින් Olympic Tattoos ගැන අවසානයේ කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි දැක්ක විදිහට මේ පාර Olympic ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සීයට 50 ක් වගේ Tattoos තමන්ගේ Fashion එක කරගෙන හිටියේ.

මාල, කරාබු, මුදු, අත් පළඳනා කියන්නෙත් මේ පාර විශේෂයෙන් කැපීපෙනුණු දෙයක්. විශේෂයෙන්ම මළල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තමා මේ සීන් එකේ හිටියේ මචෝ. හැමෝම වගේ මාලයක් දාගෙන හිටියා කුරුස කවදත් වගේ ගොඩක් දෙනෙක්ගේ ආශිර්වාදයේ සලකුණ වුණා. ඊට අමතරව කළු ජාතික ක්‍රීඩකයෝ රත්තරං රිදී මාල දාගෙන ක්‍රීඩා කරන එක Fashion එකක් කරගෙන තිබුණේ. කරාබු ගැන කියනවා නම් ඒක වෙනම කතාවක්. තමන්ගේ රටේ, තමන්ගේ මහාද්වීපයේ හැඩයේ කරාබු දාගෙන හිටපු ක්‍රීඩිකාවෝ මේ පාර කැපී පෙනුණා. එතකොට තුන් වතාවක් මිටිය විසිකිරීමේ ඔලිම්පික් රන් පදක්කම දිනපු පෝලන්ත ක්‍රීඩිකාවගේ කරාබු දෙක ගැන ලොකු කතාවක් වුණා. ඒකට හේතුව වුණේ ඒ ක්‍රීඩිකාව තරග ජය අරගෙන කරාබු දෙක පෙන්නලා කියපු කතාවක්.

අත් පළඳනා, ඔරලෝසු, මුදු වගේ දේවල් Running වලදී තමා කැපී පෙනුණේ. දුවන්න පොළොවට අත් දෙක තියලා සූදානම් වෙන නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේවා භාවිත කරලා. රත්තරං රිදී ලොකු අත් පළඳනා වගේම ප්ලාස්ටික් පටි එහෙමත් දකින්න ලැබුණා. එතකොට Smart watch එහෙමත් මේ අය දාගෙන ඉන්නවා අපි දැක්කා. ඒකත් එක එක වර්ණ වලින්. අත් ගැන කතා කරන කොට අමතක කරන්නම බෑ නේල් ආට් කියන සීන් එක. විශේෂයෙන්ම ක්‍රීඩිකාවෝ ලොකුවට මේ ගැන හිතලා තිබුණු බව අපි දැක්කා. Running කරන ක්‍රීඩිකාවෝ මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වලා තිබුණත් අනික් හැම ක්‍රීඩාවකම ක්‍රීඩිකාවන්ගේ Nail Art දකින්න ලැබුණා. තමන්ගේ රටේ කොඩිය එහෙමත් Nail Art විදිහට සමහරු භාවිත කරලා තිබුණා. ඒ කියන්නේ මචෝ Nail Art ඔස්සේත් ක්‍රීඩාවට ධෛර්යය ගන්න සමහර ක්‍රීඩිකාවෝ උත්සාහ කරලා.

ඉතින් මචෝ තව ගොඩක් දේවල් තියෙනවා. අදට ඇති. ආයෙත් දවසක පුළුවන් විදිහට Sports Fashion ගැන Y Trend එකක් අරගෙන එන්නම්. ආ අමතක වුණා Fashion කියද්දී අපේ රටේ අයත් Fashion කරලා තිබුණා. අපේ අශ්වයන් සම්බන්ධ ක්‍රීඩාවලට සම්බන්ධ වුණු මැටිල්ඩා ක්‍රීඩිකාව නිර්මාණය කරපු ඇඳුමක් ගැන ක්‍රීඩා වෙබ් අඩවි පවා කතා කරලා තිබුණා. ඉතින් ඒ වගේ කතා තව තියෙනවා. තව නම් බෑ. අදට ඇති. එහෙනම් ජය වේවා.