2021 ජුලි 31 වන සෙනසුරාදා

නිළියක් කියලා මට හිතෙන්නෙම නැහැ...

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 626

- දමිත්‍රි නිශාදි සුබසිංහ

ඉතින් දමිත්‍රි කොහොමද?
හොඳින්... කොවිඩ් නිසා හරිම පරිස්සමෙන් රූගත කිරීම්වලටත් සහභාගි වෙමින් වැඩ ටික කරගෙන යනවා.

• අපිට දමිත්‍රිගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?
මම පවුලේ එකම දරුවා. අම්මයි, තාත්තයි, මමයි තමයි අපේ පවුලේ ඉන්නේ. මම ඉපදුනේ නාරාහේප්පිට. ඉතින් අදටත් අපි ජීවත් වෙන්නේත් නාරාහේන්පිටමයි. මගේ අම්මා තාත්තා කලාවට සම්බන්ධ අය නොවේ. හැබැයි ඒ දෙන්නා කලාවට හරි ආසයි. හරි ආදරෙයි. මගේ අම්මා රැකියාවක් කරන්නේ නැහැ. ඇය හොඳ ගෘහණියක්. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මගේ අම්මගේ හීනයක් තමයි මේ යම්තාක් දුරකට හෝ අද හැබෑවෙලා තියෙන්නේ. මගේ අම්මා කලාවට හරි ආසයි. එයාට තමයි මාව වැඩිපුරම කලාවට යොමු කරවන්න හීනය වෙලා තිබුණේ.

• පවුලේ එකම දරුවා වෙච්චි දමිත්‍රිගේ ළමා කාලය ගෙවුණේ කොහොමද?
ඉපදුණු දා ඉඳන් නාරාහේපිට ජීවත්වෙන මට වෙල්යායවල්වල දුවල පැනපු ළමා කාලයක් තිබුණේ නැහැ. හැබැයි අදටත් ටෙලිනාට්‍යයක රෑගත කිරීමකට ගියත් එවැනි පැතිවල තියෙන ඒ සුන්දරත්වය අත්විඳින්න මම හරි ආසයි. මගේ ළමා කාලයේදී මම වැඩිපුරම සෙල්ලම් කළේ තනියමයි. ගෙදරට වෙලා තනියම සෙල්ලම් ගෙවල් දැම්මා. බෝනික්කෝ නැලෙව්වා. සෙල්ලම් බත් ඉව්වා. ඒ කාලේටත් මම හරි ආදරෙයි.

• දමිත්‍රි... පාසැලේදී මොනවගේ චරිතයක්ද?
මම ඉගෙනගත්තේ මිලාගිරියේ ශාන්ත පාවුළු බාලිකා විදුහලෙයි. තාමත් මම ඒ පාසැල් කාලයට ගොඩක් ආදරෙයි. පාසැලේ මම උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණා. විවිධ සංගම්වල නායකත්වය දරලා තියෙනවා. පාසැලේදි මට හොඳ යහළුවන් පිරිසක් හිටියා. අදටත් ඒ සමහරුන් මාත් එක්ක කතාබහ කරනවා. ඒ යාළුකම ඒ විදිහමයි. හැබැයි පාසැලේදී නම් මම රඟපාලා නැහැ. නමුත් හය වසරේ සිට මම පාසැලේදී නර්තනය හැදෑරුවා. පාසැල් නර්තන කණ්ඩායමේ හිටියා. පුංචි කාලේ ඉඳන් නර්තනය කරල තිබුණත් රඟපාලා තිබුණේ නැහැ.

• පුංචි කාලේ දමිත්‍රි දැකපු හීනය මොකක්ද?
නිළියක් වෙන හීනය මගේ ජීවිතේ කොතැනකවත් තිබුණු දෙයක් නෙමෙයි. මම කලාවට සම්බන්ධ වුණේ අහම්බෙන්. උසස්පෙළට මම වාණිජ අංශයෙන් තමයි ඉගෙන ගත්තේ. ඒ නිසා බැංකු කළමනාකාරිණියක් වෙනවා කියන හීනය මට තිබුණා.

• වාණිජ අංශයෙන් ඉහළට යන්න හිතපු දමිත්‍රි රංගනයට දායක වුණේ අවුරුදු කුමාරිය තරගයෙන්? එහෙම නේද?
ඔව්.... 2019 අවුරුද්දේ දෙරණ නාළිකාවේ අවුරුදු කුමාරිය ලෙස තේරුණේ මමයි. ඒ තමයි මගේ හැරවුම වුණේ. මගේ අම්ම තමයි පුංචි කාලේ ඉඳන් අදටත් මගේ ළඟින්ම ඉන්නේ. අම්මා තමයි මගේ අයදුම්පතක් තරගයට ඉදිරිපත් කරලා මාත් එක්ක හැම දවසකම හැම මොහොතකම හිටියේ. මම දිනනවාමයි කියන බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැ. තරගයට ඉදිරිපත් වෙලා අවසන් දොළොස් දෙනාට තේරුණා. එතැනදී අපේ දක්ෂතාවය, ලස්සන, හැමදේම බැලුවා. අවසානයේදී ඒ අවුරුද්දේ අවුරුදු කුමරිය විදිහට ජයග්‍රහණය කරන්න මට හැකියාව ලැබුණා.

• හිතාගන්නවත් බැරි මොහොතක අවුරුදු කුමරිය විදිහට තේරෙද්දී ඇත්තටම දමිත්‍රිට මොකද හිතුණේ?
ඒක මගේ ජීවිතේ අමතකම වෙන්නේ නැති දවසක්. පළවෙනියා වෙනවාමයි කියලා ලොකු බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැ. ඉතින් පළවෙනියා කියලා මගේ නම නිවේදනය කරද්දී මට හිතාගන්නවත් බැහැ. එදා ඒ මොහොතේ ඒ දැනිච්චි හැඟීම මට කවදාවත් දැනිලා නැහැ.

• අවුරුදු කුමරිය නිළියක් වුණේ කොහොමද?
අවුරුදු කුමරිය වුණාට පස්සේ දිලූක ගුණතිලක මහතා අධ්‍යක්ෂණය කළ &නොනිමි* ටෙලි චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක පෝය දාට විකාශනය වුණ කතාවක්. ඊටපස්සේ &පාවෙලා වලාකුළේ ඒවිද අම්මා* ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒකේ චරිත දෙකක මම රඟපෑවා.

• උදාරාගේ චරිතයෙන් පස්සේ ඉස්කෝලේ නිර්මාණයට පෙර රංගනයට දායක වෙන නිර්මාණ දමිත්‍රිට ලැබුණේ නැද්ද?
එහෙම නිර්මාණ කිහිපයකට ආරාධනා නම් ලැබුණා. නමුත් ඒ වෙද්දී දෙරණ ආයතනයේ ලක්සිරි වික්‍රමගේ මහතා සහ චරිත් කොතලාවල අයියා මේ &ඉස්කෝලේ* ටෙලිනාට්‍යය ගැන කියලයි තිබුණේ. ඒකේ නැටුම් ගුරුවරියගේ චරතියට මම ආසා කළා. ඒ නිසා ලැබුණු ආරාධනා මම බාරගත්තේ නැහැ.

• විහාරා ටීචර් ගොඩනැගෙද්දී ප්‍රවීණ අයගෙන් ලැබෙන ආශීර්වාදය ගැන මතක් කළොත්...?
ඇත්තටම ඒක හරිම වටිනවා. &පාවෙනා වළාකුලේ ඒවිද අම්මා ටෙලිනාට්‍යෙය් හිටිය සුසිලා ඇන්ටි, කීර්ති අංකල්, ආනන්ද අංකල් තුන්දෙනාම ඉස්කෝලේ ටෙලිනාට්‍යයෙත් රඟපානවා. ඒ තුන්දෙනාගෙන් මට රංගනය ගැන ඉගෙන ගන්න දේවල් බොහෝයි. ඒ වගේම සහන් රන්වල අයියයි, චිරන්ත රන්වල අයියා වගේම මුළු නාට්‍ය කණ්ඩායමෙන්ම මට විහාරා වෙන්න ලොකු සහයෝගයක් ලබලා දෙනවා. නඳුනි අක්කයි මමයි පාවෙලා වළාකුලේ ඒවිද අම්මා ටෙලිනාට්‍යයෙත් එකට රඟපෑවා. එයා මට මේ ක්ෂේත්‍රයේ ඉන්න හොඳම යාළුවෙක්. නඳුනි අක්කා ෂූටිං වලට එන්නේ නැති දවසට මට හරි පාළුයි. එයාටත් එහෙමයි. අපි දැන් හොඳ යාළුවො. සුසිලා ඇන්ටි මට බොහෝ දේවල් කියලා දෙනවා. අඩුපාඩු පෙන්නලා දෙනවා. ඒ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ආධුනික වෙච්චි මට ලබලා දෙනවා.

• දිමිත්‍රි රංගනයට එකතුවෙලා ඉන්නවා. ඇත්තටම මොකද හිතෙන්නේ?
ඇත්තටම නිළියක් වීම, මම කවදාවත් බලාපොරොත්තු වුණු හීනයක් නෙමෙයි. මේක මට ලැබුණ හරිම අහම්බයක්. ඒ වුණාට මේ අහම්බයෙන් ලැබුණ දේ මම දෙවියන් දුන්නු තෑග්ගක් විදිහටයි සමහර වෙලාවට හිතෙන්නේ.

• දිමිත්‍රිට තමන් නිළියක් කියලා මුලින්ම හිතුණේ කවදාද?
ඇත්තටම තාමත් මට මම නිළියක් කියලා හිතෙන්නේ නැහැ. මට ඉගෙනගන්න දේවල් බොහොමයක් තියෙනවා. තාමත් මම මේ පොළොවේ ඉන්නා පුංචි වැලි කැටයක් වගෙයි. තාමත් මම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි. හැබැයි පාවෙනා වළාකුලේ ඒවිද අම්මා* විකාශනය වෙද්දී බොහෝදෙනා මාව හඳුනාගත්තා. මඟතොටේදී දැක්කත් මා ළඟට ඇවිත් කතාකරපු අය හිටියා. පුංචි දරුවෝ මම ළඟට ඇවිත් පුංචි කියලා කතාකරපු අවස්ථා තිබුණා. රූපවාහිනියෙන් ඒ නාට්‍යය විකාශනය වෙද්දී ඇත්තටම මට ගොඩක් සතුටු හිතුණා. මිනිසුන්ගේ ප්‍රතිචාර දකිද්දී &මාවත් දැන් කට්ටිය හඳුනනවානේ* කියලත් මට හිතුණා. හැබැයි රංගනය සම්බන්ධයෙන් මට තව බොහෝ දේවල් ඉගෙන ගන්න තිබෙනවා.

• පවුලේ එකම දරුවා ගෙදර විවේකීව ඉඳිද්දී මොනවද කරන්නේ?
ගෙදර ඉන්න දවස්වලට නම් මම චුට්ටක් වැඩිපුර නිදාගන්නවා. රූගත කිරීම්වලට යද්දී මගේ අම්මාත් මාත් එක්ක යන්න එනවා. ඉතින් ගෙදර ඉන්න දවස්වලට අපි කන්න ආසා කෑමක් හදනවා. මම සිංදුවක් දාගෙන ටිකක් නටනවා. ගේ දොර අස්පස් කරන දේවල්වලට උදව් කරනවා.

• විලාසිතාවලට ආසයිනේ. විලාසිතා කරද්දී මොනවගේ විලාසිතාවලටද දමිත්‍රි වැඩිපුරම කැමැති?
විලාසිතා කරන්න මම හරි ආසයි. හැබැයි ඒ මට ගැලපෙන විලාසිතා විතරයි. මම තෝරාගෙන ඉන්න, මම ආසකරන විලාසිතා කරන්න මම ආසයි.

• හිතෙන්නේ නැද්ද... මේ රංගනයෙන් ඈත්වෙලා, පුංචි කාලේ දැකපු බැංකු කළමනාකාරිණියක වන හීනය හැබෑ කරගන්න...?
නැහැ. දැන් මම මේ ගෙවන ජීවිතයට ගොඩාක් ආදරෙයි. සමහරු මේ ක්ෂේත්‍රයට බැන්නත්, හොඳ නැහැ කියලා කිව්වත්, ඇත්තටම මේක ගොඩාක් හොඳ ක්ෂේත්‍රයක්. ක්ෂේත්‍රෙය් ඉන්න අයගෙන් මට ලොකු සහයෝගයක් තියෙන්නේ. කලාකාරියක් වීම ඇත්තටම වටිනා දෙයක්. රංගනය පිළිබඳව ඉගෙනගෙන මේ ගමන යන්න ආසයි.

• ඉස්කෝලේ* නාට්‍යයට අමතරව නිර්මාණවලට දායක වෙන්න දැන් අවස්ථාව ලැබිලද තියෙන්නේ?
ආරාධනා ලැබෙනවා. ඒ වුණාට මම දැනට &ඉස්කෝලේ* ටෙලිනාට්‍යයත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. චිත්‍රපටයකටත් ආරාධනාවක් ලැබුණා. නමුත් කොවිඩ් නිසා ඒක ටිකක් දැන් පහුවෙලා තියෙනවා. ඊට අමතරව මම වෙළඳ දැන්වීම්වලට නම් සම්බන්ධ වෙනවා. ඒ දේවලුත් කරගෙන හෙමිහිට මේ ගමන යනවා.

• අද වෙනකොට පෙම්වතියක්?
ඔව්.... එයා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එයාගෙන් ලොකු සහයෝගයක් මට තියෙනවා. එයා මාවත්, හොඳින් තේරුම් ගත්තු මට ගොඩක් ආදරය කරන කෙනෙක්.

• ඊළඟට තිබෙන බලාපොරොත්තු?
වසර තුනක් මම පෞද්ගලික බැංකුවක සේවය කළා. මේ වනතුරු රංගනයත් රැකියාවත් දෙකම සමබරව කරගෙන යනවා. බැංකුවෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. නමුත් මේ රංගනය කටයුතු නිසා මම බැංකුවෙන් තාවකාලිකව නතර වුණා. මට රංගනය පිළිබඳව හදාරන්න ආසයි. ඒ හැමදේම ඉගෙනගන්න ගමන් හෙමිහිට මේ ගමන යනවා.

                    සේයාරූ I සුමුදු හේවාපතිරණ