2021 ජුලි 24 වන සෙනසුරාදා

මට ඕනෑ වුණේ මගේම සල්ලි වලින් වාහනයක් ගන්න - රංගි රාජපක්ෂ

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 259

පහුගිය කාලේදී රූපවාහිනී නාලිකාවේ විකාශනය වුණ මැටි කඩුළු ටෙලිනාට්‍යයේ වගේම මේ දවස්වල සිදූ ටෙලිනාට්‍යයෙනුත් ඔබ අතරට එන රංගි රාජපක්ෂ My Choice පිටු අතරට එකතු වුණා. කියවලා බලන්න මේ ඇගේ තේරීමයි.

• අහන්න ආසම ගීතය

මම ගීත අහන්න හරි ආසයි. ඒ අතරින් මේ දවස්වල මම අහන්න ආසම කරන්නේ මම රඟපාපු මැටිකඩුළු ටෙලිනාට්‍යයේ තේමා ගීතයටයි. මම රඟපෑ අනෙක් ටෙලිනාට්‍යවල ගීතවලටත් මම ආසයි. නමුත් මැටි කඩුළු ටෙලිනාට්‍යයේ මේ ගීතය මගේ හදවතට දැනෙනවා. ඒකේ පද වෙනසට වගේම සංගීතයටත්, ඒ හඬත් මගේ හදවතට දැනෙනවා. ඒ ගීතය පද රචනා කළේ නිමල් රත්නායකයි. සංගීතවත් කළේ ගයාන් ගණකධාරයි. ගීතය ගායනා කරන්නේ සදාෂා රත්නායක සහ ලාල් අමරසිරියි.

බොරළු පාරේ තිරිවාන කැට
දැනෙන වාරේ හිනැහියං
නිසල වැව්දිය සසල කරනවට 
මැටි කඩුළු බිද පිපීයං...

• යාළුවන් එක්ක කතාකරන්න ආසම මාතෘකාව මොකක්ද?

ඇත්තම කිව්වොත් මට එහෙම යාළුවෝ කියලා ගොඩක් අය නැහැ. මේ කාලේදී මේ ක්ෂේත්‍රයේ ඉන්න දෙතුන් දෙනෙක් මගේ හොඳ යාළුවෝ වෙලා ඉන්නවා. ඉතින් අපි එකතුවුණාම මේ නිර්මාණ ගැන තමයි වැඩිපුරම කතා කරන්නේ. මේ කාලේදී අනුරාධා එදිරිසිංහ මගේ හොඳ යාළුවෙක්. ඉතින් අපි මුණගැහුණාම මේ නිර්මාණ ගැන, අඩුපාඩු ගැන කතා කරනවා.

• පුංචි කාලේට යන්න ඇත්නම් යන්න ආසා කරන්නේ කොයි කාලේටද?

ඉස්කෝලේ තුන වසර හතර වසර කාලවල ගෙවුණ ළමා කාලයට මම හරි ආසයි. මම ඉගෙන ගත්තේ හංවැල්ල ශ්‍රී සුමනජෝති මහ විදුහලෙයි. අපි ගැමි පරිසරයක ජීවත්වුණ අයයි. ඒ කාලේට මම හරි ආසයි.

• ආස කරපු සෙල්ලම මොකක්ද?

පුංචි කාලේ අපි සෙල්ලම් ඇති තරම් කළා. ඒ අතරින් සෙල්ලම් ගෙවල් දාන්න මම හරිම ආසා කළා. සෙල්ලම් ගෙදරදිත් මම වැඩිපුරම අම්මා සහ ගුරුවරිය කියන චරිත වැඩිපුරම රඟපෑවා. ගස්වලට ගගහා ඉගැන්නුවා. අම්මගේ සාරියක් හරි රෙද්දක් හරි ඇඳගෙන හැඩ බැලුවා. ඒ කාලේ හරි සුන්දරයි. දැන් දරුවන්ට ඒ ළමා කාලයක් ගත කරන්න ලැබෙන්නේ නැහැ. මට තාම මතකයි පුංචි පුංචි සුදු තිත් තිබුණ, පාට පාට පොඩි මැටි වළං සෙට් එකක් ඒ කාලේ මට තිබුණා. අපි සෙල්ලම් වැලි බත් ඉව්වා. කොළ කඩල ඒවා එළවළු හැදුවා. ඒක අදටත් හොඳට මතක සුන්දර කාලයක්.

• ආසා කරන වාහනය මොකක්ද?

දැන් මම පදින්නේ Honda Grace එකක්. මේ වාහනය මීට මාස හයකට විතර කලින් ගත්තේ. ඊට පෙර මම Toyota Passo එකක් තිබුණේ. මගේ තාත්තා ලර්නර්ස් එකක් කරනවා. ඒ නිසා අපේ ගෙදර වාහන තියෙනවා. ඒත් මට ඕනවුණේ මගේ සල්ලිවලින් මගේම වාහනයක් අරගෙන පාවිච්චි කරන්නයි. ඉතින් මීට අවුරුදු පහකට කලින් මට පොඩි මයික්‍රො වාහනයක් ගත්තා. ඊට පස්සේ Passo එකත් දැන් Honda Grace එකක් මම ගත්තා

• කැමැතිම පර්ෆියුම් එක මොකක්ද?

ආසම Dior පර්ෆියුම් එකට.

• වැඩිපුරම ආස කරන ඇඳුම මොකක්ද?

මම දිගට අඳින්න කැමති කෙනෙක්. ඒ නිසා වැඩිපුරම දිග ගවුම් තමයි අඳින්නේ.

• ලංකාවේ යන්න ආසා කරන තැනක් තියෙනවාද?

කොච්චර ගියත් මට නුවරඑළිය පැත්තේ තියෙන ඒ දේශගුණය එපා වෙන්නේ නැහැ. ඒ පැත්තට මම හරි ආසයි. ඒ වගේම රිවස්ටන් යන්නත් මම හරි ආසයි.

• ඇවිදින්න ආසා කරන රට මොකක්ද?

මම බැංකොක් ගිහින් තිබෙනවා. ප්‍රංශයට යන්න හරි ආසයි. කොහොමත් මම ඇවිදින්න යන්න නම් හරි ආසයි.

• කෙනෙකුට තෑග්ගක් දෙන්න තෝරද්දී හිත මුලින්ම යන්නේ මොනවටද?

ඒ තෑග්ග දෙන කෙනා වැඩිපුරම කැමැති දෙයක්දෙන්න මම උත්සාහ කරනවා.

• කාගෙන් හරි තෑග්ගක් ලැබෙනවානම් ආසා කරන තෑග්ග මොකක්ද?

මම පර්ෆියුම්වලට හරි ආසයි. ඒ නිසා මාව දන්න අය මට වැඩිපුරම තෑගි කරන්නේ පර්ෆියුම්. මට පර්ෆියුම් ලොකු එකතුවක් තියෙනවා.

• කොච්චර කෑවත්, බිව්වත් එපා වෙන්නේ නැති ආහාරය හා පානය මොකක්ද?

කොච්චර කෑවත් මට දූරියන් නම් එපා වෙන්නේ නැහැ. දූරියන් තියෙන කාලේට මම එකදිගට දූරියන් කනවා. ඒ වගේම අඹ ජූස්වලටත් හරි ආසයි.

• ජීවත් වෙන්න කැමැති?

හැමෝම එක්ක හිනාවෙලා කතාබහ කරලා මගේ පාඩුවේ ජීවත් වෙන්න මම කැමතියි.

 දිශානි ජයමාලි
    සේයාරූ - සුමුදු