2021 ජුලි 24 වන සෙනසුරාදා

රංගනයයි උපාධියයි දෙකම ගත්ත බොලිවුඩ් තරු

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 111

නළු නිළියන්ට උපාධියක් තියා ඩිප්ලෝමා එකක්වත් නැහැ කියලයි අපි බොහෝ දෙනෙක් හිතන්නේ. ඒත් උපාධිය දක්වා අධ්‍යාපනය ලබාගත් ඉන්දියාවේ සිනමා තාරකාවන් කිහිප දෙනෙක්ම ඉන්නවා. බොලිවුඩ් තරු රංගනයෙන් ප‍්‍රවීණයෙක් වුණත් ඔවුන්ට උපාධි නැහැ කියලා හිතන එක සාමාන්‍ය දෙයක්. තමන්ගේ වෘත්තීමය ජීවිතය සාර්ථක කරගන්න කැප වෙන ඔවුන්ට කොහෙන්ද අධ්‍යයන කටයුතුවල නිරත වෙන්න වෙලාවක් කියලනේ අපි හිතන්නේ නේද? නළුවෙක් නිළියෙක් වෙන්න රංගන කුසලතාවයක් මිසක් උපාධියක් වැදගත් නොවන නිසා ඔවුන් උපාධිලාභීන් නෙවෙයි කියලා අපි හිතනවා. අද මෙන්න මේ ලිපියෙන් අපි ඔබට ඉන්දියාවේ සිනමා කර්මාන්තයේ ඉහළින්ම වැජඹෙන උපාධිය හිමිකරගත් කිහිප දෙනෙක් ගැන කියනවා.

දේශපාලන විද්‍යාව හා ඉතිහාසයට උපාධියක්

01. සාරා අලි ඛාන්

බොලිවුඩයේ ජනප‍්‍රිය තාරකා වන චෝටේ නවාබ් ලෙසින් හඳුන්වන සායිෆ් අලි ඛාන් සහ ජනප‍්‍රිය නිළියක් වන අම්රිතා සිංගේ ආදරණීය දියණිය වන සාරා අලි ඛාන් රංගනයට පිවිසි ඉතාම කෙටි කාලයක් තුළදී තමන්ගේ විස්මිත රංගන කුසලතාවයන්ගෙන් ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනා ගත්ත කෙනෙක්. හැමදෙයකටම වගේ එක් වගේ දක්ෂකම් දක්වන සාරා කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් තමන්ගේ උපාධිය ලබාගෙන තියෙනවා. ඇය උපාධිය ලබාගන්නේ දේශපාලන විද්‍යාව හා ඉතිහාසය පිළිබඳවයි.

ඉංග්‍රීසි සාහිත්‍ය හා ජන සන්නිවේදනයට උපාධි දෙකක්

02. ආයුෂ්මාන් ඛුරාණා

ආයුෂ්මාන කුරාණා කියන්නේ දක්ෂ නළුවෙක් කියන එක ඔහුගේ සිනමාපට නරඹලා තියෙන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ නේද? අයුෂ්මාන් නළුවෙක් විතරක් නෙවෙයි ගායකයෙක් කියන එකත් ඔබ මේ වනවිට නොදැන ඉන්න විදියක් නැහැ. ඔහුගේ ගීතවලටත් බොහෝ දෙනෙක් ප‍්‍රිය කරනවා. ඔබ ප‍්‍රිය කරන මේ සිනමා තාරකාව එහෙම නැත්නම් ගායකයා අධ්‍යාපන සුදුසුකම්වලදීත් ඉහළින්ම තමන්ගේ නම ඇතුළත් කරගෙන ඉන්න කෙනෙක්. ආයුෂ්මාන් ඩී.ඒ.වී කොලේජ් එකෙන් ඉංග‍්‍රීසි සාහිත්‍යය පිළිබඳව උපාධියක් හිමිකරගෙන ඉන්න කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, ඔහු චන්ඩිගර්වල ජනසන්නිවේදනය පිළිබඳව ශාස්ත‍්‍රපති උපාධියක් ලබාගෙන තියෙනවා.

මෙල්බර්න් සරසවියෙන් ශාස්ත්‍රපති උපාධියක්

03. රන්දීප් හූඩා

රංගනයෙන් තම රසික රසිකාවියන් මුසපත් කරනා රන්දීප් හූඩා කියන්නේ එක දෙයකට විතරක් දක්ෂකම් දක්වන කෙනෙක් නෙවෙයි. ඔහු ඩී පී එස් පාසැලෙන් අධ්‍යාපනය ලබා ගැනීම ආරම්භ කරලා සිය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගන්න මෙල්බර්න්වලට ගිහින් තියෙනවා. එහිදී රන්දීප් මානව සම්පත් කළමනාකරණය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ශාස්ත‍්‍රපති උපාධියක් ලබාගෙන තියෙනවා.

එඩින්බරෝ සරසවියෙන් ආචාර්ය උපාධියක්

04. ශාරුක් ඛාන්

සිනමා ලෝකයේ අධිරාජයා ශාරුක් ඛාන්ගේ රංගනය ගැන ඔබට අමුතුවෙන් මොනවා කියන්නද.? ඔහුගේ අති දක්ෂ රංගනය හේතුවෙන් සිනමා කර්මාන්තයේ නියැලෙන සහ බොලිවුඩ් සිනමාවට ආදරය කරන, ප‍්‍රිය කරන හැමෝම ශාරුක්ට කිං ඛාන් එහෙම නැත්නම් බාද්ශාහ කියලා කියනවා. ඔබ ආදරය කරන, ඔබ ප‍්‍රියකරන ශාරුක් ඛාන් කොච්චර දුරට ඉගෙන ගෙන තියනවා කියලද ඔබ හිතන්නේ? ඔහු රංගනය පිළිබඳව වගේම අධ්‍යාපන කටයුතුවලදීත් ඉහළින්ම තමන්ගේ නම තියාගෙන ඉන්න කෙනෙක්. ශාරුක් තම පාසැල් අධ්‍යාපනය කොළොම්බියා පාසැලෙන් සම්පූර්ණ කරගෙන තියෙනවා. ඉන්පසුව ශාරුක් හන්ස් රාජ් කොලේජ් එකෙන් තම උපාධිය සම්පූර්ණ කරලා තියෙනවා. ඉන් අනතුරුව ශාරුක් ජාමියා මිල්ලියා ඉස්ලාමියා එකෙන් ජන සන්නිවේදන පාඨමාලාවක් හදාරා තියෙන අතර ශාරුක් ඛාන් එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් හිමිකරගෙන තියෙනවා.

ආචාර්ය උපාධිය ගත්තේ ක්වින්ස්ලන්තයෙන්

05. අමිතාබ් බච්චන්

අමිතාබ් බච්චන් ගැන නොදන්න කෙනෙක් හිටියොත් ඒක පුදුමයට කරුණක්. අමිතාබ් කියන්නේ ප‍්‍රවීණ නළුවෙක් වගේම අති විශිෂ්ට කටහඬකට උරුමකම් කියන කෙනෙක්. ඔහු බොලිවුඩ් සිනමාවේ ඉහළම අසුනේ හිමිකරුවා වගේම බොලිවුඩ් සිනමාව නියෝජනය කරන එක් පරිණතම හිමි උපාධිලාභීයෙක්ද වෙනවා. අමිතාබ් බච්චන් එහෙම නැත්නම් බිග් බී නෛනීතාල්වල ශේර්වුඩ් කොලේජ් එකෙන් සාමාන්‍ය උපාධිය හිමිකරගෙන තියෙන අතර ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමි කරගෙන තියෙනවා.