2021 මැයි 08 වන සෙනසුරාදා

තාම දාහතයි පෙම්වතෙක් නෑ ඉතින්...

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 157

ටාෂියා, කොහොමද ජීවිතේ...?
සතුටින්, හොඳින් ජීවිතේ ගතවෙනවා. මේ දවස්වල කොවිඩ් නිසා හැමෝම වගේම අපිත් ගොඩක් පරිස්සමෙන් අපේ වැඩ ටික කරගෙන යනවා. ලබන වසරේ මම උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒ නිසා ඒකටත් පාඩම් කරමින් Online ක්‍රමයට ඉගෙන ගන්නවා.

ටාෂියාගේ පවුලේ විස්තර...?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. මගේ ගම නුවර. ඉතින් නුවර ඉඳන් තමයි මම රෑගත කිරීම්වලට කොළඹට ආවේ. මේ දවස්වල මම සහභාගි වුණු නාට්‍ය දෙකම විකාශනය කරල අවසන්. ඒ නිසා නුවරටම වෙලා මේ දවස්වල ඉන්නවා.

 පුංචි කාලේ ටාෂියා ආස කළේ නිළියක් වෙන්නද?
නැහැ. චූටිම කාලේ මම ඩොක්ටර් කෙනෙක් වෙන්නයි ආස කළේ. ඒක චූටිම කාලේ මම දැකපු හීනයක්. ඒ කාලේ අම්මගෙනුයි, තාත්තගෙනුයි මම සෙල්ලම් කරන්න ඉල්ලලාම තියෙන්නේ Doctor Set මයි. හැබැයි මට තේරෙන කාලේට ආවට පස්සේ මම ගුවන් සේවිකාවක් වෙන්න ආසා කළා. අදටත් මට ඒ හීනය නම් තියෙනවා.

ගුවන් සේවිකාවක් වෙන්න හීන දකින ටාෂියා රංගනයට එකතු වුණේ කොහොමද?
මම මුලින්ම රඟපෑවේ සුජීව ප්‍රියලාල් අයියා අධ්‍යක්ෂණය කරපු Inter නැසනල් ටෙලිනාට්‍යයේ මීනුගේ චරිතයයි. මගේ අම්මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මට ඒ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණේ. අම්මගේ යාළුවා දුලීකා අක්කිගේ යාළුවෙක්. ඉතින් මීනු තමයි මම මුලින්ම රඟපාපු චරිතය වුණේ. ඊට පස්සේ ධනුෂ්ක අයියා (ධනුෂ්ක රත්නායක) අධ්‍යක්ෂණය කරපු දාම් ටෙලිනාට්‍යයේ ෂෙනායාගේ චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණා.

ටාෂියාට රඟපාන්න ආසාවක් තිබුණාද?
චූටි කාලේ ඉඳන් මම තනියම සෙල්ලමට ගෙදරදි රඟපාලා තිබුණා. ගෙදරදි මම චූටි කාලේ තනිවම තොරතෝංචියක් නැතිව කියෙව්වා. රෑපවාහිනියේ දකින චරිත මම තනිවම රඟපාලා තිබුණා. මට වඩා මගේ අක්කා අවුරුදු හයක් වැඩිමහල්. ඒ නිසා චූටි කාලේ මම තනියමයි සෙල්ලම් කළේ. මම තනියම සෙල්ලම් කරද්දී අම්මා හොරෙන් බලාගෙන ඉඳලා තියෙනවා. ඒකෙන් රංගනය ගැන මොකක් හරි පෙරනිමිත්තක් අම්මාට දැනෙන්න ඇති. Inter නැසනල් රඟපාන්න පෙර මම වෙළඳ දැන්වීම් කිහිපයකට සහභාගි වෙලා තිබුණා.

රංගනයේ පළමු නිර්මාණය වුණු &Inter නැසනල්* ටෙලිනාට්‍යයේ ලබපු අත්දැකීම් කොහොමද?
ඒ නාට්‍යයේදී දුලීකා අක්කා, සුජීව අයියා, තරින්දි අක්කා වගේම හිටපු හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. බොහෝ දේවල් මට ඉගෙනගන්න ලැබුණා. රංගනය පිළිබඳව කිසිම දැනුමක් නොතිබුණු මට මේ මුල්ම ටෙලිනාට්‍යයේ හිටපු ප්‍රවීණයන්ගෙන් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන් වුණා. ඒක හරියට පාසැලක් වගෙයි. ඒ අය එක්ක ඉඳිද්දී කිසි පාලුවක් දැනුණේ නැහැ. හරිම සතුටින් ඒ කාලය ගත කළා.

පළමු රංගනයේදී වගේම දෙවැනි රංගනයේදීත් ටාෂියාට නැවතත් තරින්දිව මුණගැහුණා. කොහොමද දාම් ටෙලිනාට්‍යයේ ලබපු අත්දැකීම?
ඒක නම් මරු. තරින්දි අක්කා හරි හොඳ කෙනෙක්. මට ගොඩක් මගේ චරිතය කරන්න උදව් කළා. තරින්දි අක්කා වගේම දාම් ටෙලිනාට්‍යයේ හිටපු හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම ධනුෂ්ක අයියා ගැන කියන්නම ඕනේ. එයා අපිට අපේ චරිතය කරන්න ලොකු සහයෝගයක් දුන්නා. දාම් ටීම් එකම මරු. ඒ ප්‍රවීණ අය එක්ක වැඩකරද්දී බොහෝ දේවල් ඉගෙනගන්න මට පුළුවන් වුණා. දාම් ටෙලිනාට්‍යයේ ඇතැම් කොටස් මේ කොවිඩ් කාලයේදී තමයි රෑගත කිරීම් කරන්න සිද්ධ වුණේ. ඉතින් අපි හරිම පරිස්සමින් ඒවාට සහභාගි වුණා.

ටාෂියායි, ෂෙනායායි අතර සමානකමක් තියෙනවාද?
ඔව්... ෂෙනායා කියන්නේ මගේ ජීවිතේට ටිකක් කිට්ටු චරිතයක්. ඇඳුම් අඳින විදිහ, හැසිරීම බොහෝ වෙලාවට එක වගෙයි. හැබැයි මීනු කියන චරිතය ටාෂියාට බොහෝ වෙනස් චරිතයක්.

ෂෙනායා විසල්ට ආදරේ කළා. සැබෑ ජීවිතේ ටාෂියාට තාම ආදර අත්දැකීම් එහෙම නැහැ නේද?
නැහැ. මට තාම අවුරුදු දාහතයි. ඒ නිසා එවැනි ආකාරයේ අත්දැකීමක් නම් නැහැ. හැබැයි විසල්ගේ චරිතය රඟපාන ඉෂාන් අයියාගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. එයා හරිම මිත්‍රශීලී කෙනෙක්. හැමවෙලේම අපි දෙන්නා ඒ චරිතය ගැන කතා කරලා ඒ දෙබස හොඳින් පුහුණු වෙලා තමයි රූගත කිරීම්වලට සහභාගි වුණේ. ඒ නිසා ඇත්තටම පෙම්වතියක් විදිහට රඟපාන්න ෂෙනායාට ලොකු සහයෝගයක් ලැබුණා.

මීට අමතරව වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ලැබුණා. නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. මේ කොවිඩ් වසංගතයත් එක්ක මට නුවර ඉඳන් රඟපාන්න යන එකට අම්මලා කැමැති නැහැ. ඒ වගේම ලබන වසරේ මම A/L විභාගය කරනවා. ඒකටත් සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා ටික දවසකට මම ඒ නිර්මාණ බාරගත්තේ නැහැ.

ඊළඟ බලාපොරොත්තුව?
මගේ ලොකුම බලාපොරොත්තුව ගුවන් සේවිකාවක් වීමම තමයි.