2021 මැයි 08 වන සෙනසුරාදා

අසුබ දිනක ආ සුබ පැතුමේ අරුත

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 370
 
සිහිනයකි රූ තුළින් ඔහු ලොව වටා සහෘදාදරයට පත්වූ  ප්‍රවීණ නිවේදකයෙකි. මාධ්‍ය කලාව තුළ මහේෂ් නිශ්ශංක යන නම වඩාත් පසිඳු වූයේද සිහිනයකි රූ ඔස්සේය. 
අද මගේ නොවන මගේම ගීතය ගැන කතා කරන්නට අපේ ඇරියුම් ලද්දේ මහේෂ් නිශ්ශංකය.
 
මහේෂ්.. ඔබ ඔබේම කරගත්ත ගීතයක් ඔබට තියෙනවද?
දයා ද අල්විස් ප්‍රවීණ ගීත රචිකාව ලියූ නන්දා මාලනී ප්‍රවීණ ගායිකාව සංගීතවත් කළ නිරංජලා සරෝජිනී ප්‍රවීණ ගායිකාව ගැයූ අකලට වට මහ වරුසාවක් සේ අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක ඇයිදෝ යළි ආවේ.. ඒ තමා මගේ ප්‍රියතම ගීතය.
 
සිහිනයකි රූ තුළ ඔබ ජීවිතය තුළම ජීවත් වන්නෙක්. ඒ තරම් ආධ්‍යාත්මිකව ගීතය හා සමීප වූ ඔබ ඇයි මේ ගීතයට මේ තරම් ප්‍රිය කරන්නේ?
ගීතයකට පුළුවන් අපිව විවිධ මනෝභාවයන් ඔස්සේ ගැඹුරට ගෙනියන්න. ගීතයක වචන, සංගීතය, හඬ, මේ සියල්ල හරිම සියුම් විදිහට අපේ ජීවිතයේ අතීත වර්තමාන අත්දැකීම් මතක හා භාව ස්පර්ශ කරන හැටි පුදුමයි. මේ ගීතයේ ඇරඹුමම හරි සුන්දර වචන පෙළගැස්මක්.
 
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ..
 
ප්‍රේමයේ අප්‍රමාණ ප්‍රහර්ශය වින්ඳ හදවතකට ඒ ප්‍රේමය හැර ගියත් ඒ ප්‍රේමය අමතක වෙන්න විදිහක් නැහැ. අනන්ත විඳීම්, විඳවීම් මැද ගෙවූ අතීත මතක සිතුවම් මනස කියන කඩදාසිය මත අපිළිවෙළට හෝ ආයෙත් සිත්තම් වෙන සංවේදී තැන් ජීවිතයේ අපිට අනන්තවත් මුණගැහෙනවා. මේ ගීතයත් මතක මංමාවත් දිගේ අපිට සොඳුරු අතීතයක් කරා රුගෙන යන ගීතයක් ලෙසයි මට හැඟෙන්නේ. අපි පතන්නේ කලට වැසි වසිත්වා කියලා. කලට වහින වැස්ස මහා සම්පතක්. ඒත් ඒ වැස්සම වැසි නොපතන අකලක වහිනවානම් ඒක මහා විනාශයක්. නිසි කාලයට වැස්ස සඟවලා අකලට වැහි වහිනවනම් ඒ වහින වැස්සෙන් තියෙන ඵලය මොකද්ද?
ඒ වගේම තමා සුබ පැතුමක් හිත අමන්දානන්දයට පත් කරනවා. එත් සුබ පැතුම් වටින්නේ ඒ සුබ පැතුම් සුබ දිනයකදී ලැබු‍ණොත් පමණයි. ඒත් අසුබ දිනයක ලබන සුබ පැතුමකින් ඇති ඵලය මොකද්ද? දැක්මෙන් පවා කෙනෙක්ගේ නෙතකට කඳුළු උනන අතීතයක් අපට තියෙනවනම් ඒ අතීතයට අපි කවදාවත් වෛර කරන්නෙ නෑ. ඒ වගේ අවෛරී අතීත ප්‍රේමයක් ගැන තමයි මේ ගීතයෙන් කතා කරන්නේ. ඒ ප්‍රස්තුතයට වගේම ඒ ප්‍රස්තුතය ගීත ආකෘතියක් තුළම ගොනු කරන්න ගීත රචකයා දැක්වූ ප්‍රතිභාවට මම හරිම කැමතියි.
 
මේ ගීතය ලියූ ගීත රචිකාවත් සමඟ මේ ගීතය ගැන ඔබ කතා කර තියෙනවද?
නැහැ.. ඇය සමඟ මේ ගීතය ගැන කතා කරන්න තරම් අවස්ථාවන් මට කවදාවත් ලැබිලා නෑ.
 
එහෙම කතා කරන්න ලැබුණොත් ඔබ මේ ගීතය ගැන ඇයගෙන් මොකද්ද අහන්නේ?
පිළිතුරු දෙන්නම් ළඟකදි ලබන දිනේ කියලා ලීවේ ඇයි කියලා අහනවා.
 
මේ ගීතය ගැන එකිනෙකට වෙනස් ගීත විචාර ඇහෙනවා. ඔබ මේ ගීතය දකින්නේ කොහොමද?
අතීත ආදර නටඹුන් අතරේ ඔබ මොබ සක්මන් කරමින් ඒ නටඹුන් මත යළි මැඳුරක් තනන්න සිහින දකින අය ඉන්නවා. මැඳුරු නටඹුන් වුවත් නටඹුන් යළි කවදාවත් මැඳුරක් පේන්නෙ නෑ. මේ ගීතයේ 
 
පෙරදා මෙන් හද මල් පිපුණාදෝ
සතුටු කඳුළු නුවනඟ මිදුණාදෝ 
අතීත ආදර නටඹුන් අතරේ
මන්දිර මැව්වාදෝ
 
කියන තැනින් කියවෙන්නේ යළි මැඳුරු නොතනන මඟකට ඇවිත් මම ඔබ දෙස උපේක්ෂාවෙන් බලා හිඳිමි කියන එක කියලා කියන තැනක් තියෙනවා. තව තැනක මෙහෙම ප්‍රකාශ කරනවා.
 
පෙරදා මෙන් හද මල් පිපුණාදෝ
සතුටු කඳුළු නුවණඟ මිදුණාදෝ
අතීත ආදර නටඹුන් අතරේ
මන්දිර මැව්වාදෝ‍
 
මගේ යැයි කියා තදින් අල්ලාගන්න යමක් වෙත්නම් ඒ හැමදෙයක්ම අවසානයේ මහා වේදනාවක් හා දුකක්. වේදනාව යම් අවස්ථාවකදි පසුතැවීමක් බවටත් පසුතැවීම කලකිරීමක් බවටත් පත්වෙන්න පුළුවන්. මේ කොටසින් ඔබ ශෝකයෙන්දැයි විමසමින් අනුකම්පාව පිරුණු දෑසින් බලා හිඳියි. ජීවිතයට එන සමහර අය භෞතිකව අත්හැරියාට ඒ අය අපට ආධ්‍යාත්මිකව අත්හරින්න බෑ. ඒත් ෆැන්ටසියෙන් යථාර්ථයට එන මොහොතකදි ජීවිතය කුමක්දැයි පසක් කරගත්ත මොහොතකදි ජීවිතයේ තදින් අල්ලාගෙන සිටි හුඟාක් දේවල් අපි අත්හරිනවා. එවන් ජීවිත අවබෝධයක් ලද පසු තමන් ගැන ශෝක වෙන්න කිසි කෙනෙක් අවශ්‍ය නෑ. අනුකම්පාවක් අවශ්‍ය නෑ. තමන්ට පුළුවන් තමන් වෙලා ජීවිතය බලන්න. ජීවිතය දකින්න.
විමසන වදනට පිළිතුරු දෙන්නම් ළඟකදි ලබන දිනේ.. මේ ගීතයේ ඇයි එහෙම ලියුවේ කියලා ඔබ අහන තැන ගැන ඔබට දැනෙන හැටි කතා කරන්න ඔබ කැමතිද?
එතෙන්ට එන්න කලින් මම කැමතියි 
 
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන රැජනකි
සතුටයි කිරුළ අපේ
කියන තැන ගැන කතා කරන්න.
මට හිතෙන්නේ ජීවිතයේ කටුක යථාර්ථය මැනවින් අවබෝධ කරගත් ඇය ජීවිතයේ ඇලීම් බැඳීම්වලින් මිදී ආධ්‍යාත්මිකව සන්තුෂ්ටියක් අත්පත් කරගත හැකි මඟකට ඇවිත් ජීවිතය පිළිබඳ සබුද්ධික වීමක් මම මෙතනදි දකින්නේ. ඔබ එක මඟක මම එක මඟක.. එහෙම තියෙද්දි හෙට දිනයේ හමුවන්නට එන්න යැයි ආරාධනාවක් ලැබෙද්දි අර අතීත ආදරයෙන් මෙහෙම උත්තරයක් ලැබෙනවා.
 
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදි ලබන දිනේ..
 
ඒ අවසානය අපූරුයි.. ඒක කෙනෙකුට ප්‍රශ්නාර්ථයක්. ඒත් මට හිතෙනවා එතෙන්දි කියන්නේ ජීවිතයේ තෝරාගත් මඟම මම යන්නම් ඔබට ආයුබෝවන් කියන එක කියලා...