2021 මැයි 01 වන සෙනසුරාදා

කොච්චර වැඩ තිබුණත් මම දුවාව මඟඇරියේ නැහැ

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 239

හිමාලි.. මේ දවස්වල මොකද කරන්නෙ?
මේ දවස්වල දෙවෙනි ඉනිම නාට්‍යයෙත් දිවිතුරා නාට්‍යයෙත් රූගත කිරීම් කරනවා. ඊට අමතරව මගේ දුවගේ වැඩ කටයුතුත් එක්ක කාලය ගතවෙනවා.

මේ දිනවල විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ ලබපු අත්දැකීම් කොහොමද?
දිවිතුරා මාස දෙක තුනකට පෙර සිටම සූදානම් වුණු නාට්‍යයක්. මේ කාලයේදී ටෙලිනාට්‍ය කරද්දි එහෙම සූදානමක් කියන දේ දකින්න නැති තරම්. ලබන සතියේ ෂූටිං කියන තැනට අද නාට්‍ය කලාව පත්වෙලා තියෙනවා. හැබැයි ඉස්සර එහෙම නැහැ. ඉස්සර මුලින්ම පිටපත අතට දීලා, චරිත පිළිබඳව අවබෝධයක් ලබාදීලා, ඇඳුම් පැළඳුම් ගැන බලලා, මේක්අප් ටෙස්ට් කරලා තමයි රෑගත කිරීම් පටන් ගන්නෙ . අද එහෙම නැහැ. අද ලොකේෂන් එකට ගියාට පස්සෙ තමයි ඇඳුම් පැළඳුම් අතට දෙන්නෙ. බොහෝ වෙලාවට පිටපත පවා අතට දෙන්නෙ ලොකේෂන් එකට ගියාට පස්සෙයි. කිසිම පෙර සූදානමක් නැහැ. හැබැයි දිවිතුරා කියන්නෙ පෙර සූදානමක් ඇතිව කරපු නිර්මාණයක්. චාමර ජයවීර අවුරුදු දහයකට පසුව කරන වැඩක්. ඔහුටත් හොඳම දේ කරන්න ඕන වුණා. මාස ගාණක් තිස්සෙ අධ්‍යක්ෂකවරයෙක් නිර්මාණයක් වෙනුවෙන් පෙර සූදානමක් වෙනවා දැක්කේ කාලයකට පස්සෙයි. අපිට මහේන්ද්‍ර අයියා (මහේන්ද්‍ර පෙරේරා) ගෙන්නලා වැඩමුළුවක් පැවැත්වුවා. ඒවා අපිට හරියට වටිනවා.

දිවිතුරා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් විදිහට අතුල අධිකාරි සහ හෙක්ටර් ඩයස් එකතුවෙලා තියෙනවා?
ඔව්.. අතුල මීට පෙර රංගනයට සහභාගිවෙලා තිබුණට මේක හෙක්ටර්ගේ මුල්ම රංගනයයි. ඒ අයව එකපාරටම කැමරාව ඉදිරියට දානවාට වඩා චාමර ඒ දෙන්නා ඇතුළු අපි හැමදෙනාවම සහභාගි කරවාගෙන වැඩමුළුවක් පැවැත්වුවා. ඒවා ටිකක් වියදම් යන වැඩ. බොහෝ දෙනා අද අඩු බජට් එකකට ටෙලිනාට්‍ය කරද්දි දිවිතුරා නිෂ්පාදන කණ්ඩායම ඒ හැමදෙයක්ම අපිට ලබා දුන්නා. මට තවම හෙක්ටර් එක්ක එකදිගට රඟපාන්න අවස්ථාව ලැබුණෙ නැහැ. අතුල එක්කත් තාම රඟපෑවේ නැහැ. හැබැයි ඒ දෙන්නා හරිම උනන්දුවෙන් වැඩ කරනවා. ගායකයෙක් විදිහට හෙක්ටර් හරිම සාර්ථකයි. නමුත් තවමත් රංගනයට එයා ආධුනිකයි. නමුත් ඔහු හරිම උනන්දුවෙන් වැඩ කරනවා. අතුල අයියාටනම් සාමාන්‍යයෙන් රංගනය පිළිබඳව අත්දැකීමක් තියෙනවා. ඔහුට රඟපාන්න පුළුවන්. 

රෑගත කිරීම් වැඩිපුර කෙරෙන්නෙ නුවරඑළියේ. ඒ ගත කරපු කාලයේදී ලබපු අත්දැකීම් කොහොමද?
ඔව්.. අපි වැඩිපුර රූගත කිරීම් කෙරුවේ නුවරඑළියේ. ඒ පැත්ත ඇහැට හරි අපූර්වත්වයක් එක්කරපු පරිසරයක්. ඒ වගේ පරිසරයක් දකින්න අපි හරි ආසයි. සමහර ලොකේෂන්වලට අවසර ගන්න හරි අමාරුයි. ෆිල්ම්වලට තමයි ඒ වගේ තැන්වලට අවසරය ලබාදෙන්නෙ. නමුත් නාට්‍යයක් විදිහට ඒ වගේ තැන්වල රූගත කිරීම් කරන්නෙ හරිම අඩුවෙන්. නමුත් දිවිතුරා වෙනුවෙන් චාමර ඒ තැන් පවා ලබාගත්තා. මුල් කොටස් ූගත කිරීම් කරන්න අපි දවස් දහයක් විතර නුවරඑළියේ හිටියා. ඒ ගත කරපු කාලය හරිම ෂෝක්. හැබැයි ඉතාම මහන්සියි. පොඩි පැය ගාණක් විතරයි අපි නිදාගත්තෙ. එක කොටසක් රෑගත කිරීම් කරන්න අපි සෑහෙන්න මහන්සි වුණා. සීතලේ ඇඳුම් ඇඳගෙන එළියේ රූගත කිරීම් කරන්න හරි අමාරුයි. නමුත් අපි හැමෝම ඒ හැම රෑගත කිරීමක්ම හරිම සතුටින් කළා. රෑගත කිරීම් අවසානයේදී ලැබෙන ප්‍රතිඵලය හොඳ නිසා අපි හරි සතුටින් ඒ කටයුත්තට දායක වුණා.

රංගන කටයුතුත් එක්ක දියණිය එක්ක ගත කරන ජීවිතේ කොහොමද?
දුවට දැන් වයස අවුරුදු හතයි. එයා නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. එයා ගොඩක් හොඳ දරුවෙක්. මම හැමවෙලේම අම්මලාට කියන දෙයක් තමයි අපේ කාර්යබහුලත්වයත් එක්ක දරුවන් මඟහරින්න එපා කියලා. ඒක මමත් හැම වෙලාවෙම හිතන දෙයක්. රූගත කිරීම් නිසා ගෙදර දවස් ගාණක් නැති වෙලාවලුත් එක්ක මම හැම වෙලාවෙම උත්සාහ ගන්නෙ ඉතිරි දවස් එයත් එක්ක එකදිගට ගෙදරට වෙලා ඉන්නයි. කොහොමත් සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේදි මම රූගත කිරීම්වලට දින දෙනවා හරිම අඩුයි. ඒ දවස් දෙකේ මම දුවත් එක්ක තමයි දවස ගෙවන්නෙ. කොච්චර කාර්යබහුල වුණත් මම දුව එක්ක ගත කරන්න තියෙන කාලය මඟහරින්නෙ නැහැ.

අම්මා වගේම කලා හැකියාවන් දුවගේ ඇඟෙත් තියෙනවද?
ඔව්.. එයාට ගායන හැකියාව හොඳට තියෙනවා. රංගනයටත් එහෙමයි. මම එයා ඒවාට සහභාගි වෙනවාට කැමතියි. පාසලේදිත් එයා ඒවාට සහභාගි වෙනවා. ඉදිරියේදි ඒ දේවල්වලට එයා සම්බන්ධ වේවිද කියලා දන්නෙ නැහැ. නමුත් හොඳ කටහඬක් එයාට තියෙනවා. හොඳට ගීත ගායනා කරනවා.

හිමාලි.. කලාකාරියක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද?
නැහැ. මගේ අම්මා කලාවට හරි ආදරෙයි. මගේ කැමැත්ත තිබුණේ ප්‍රවෘත්ති නිවේදනය පැත්තටයි. නිවේදිකාවක් වීම යම්තාක් දුරකට මට හැබෑ කරගන්න පුළුවන් වුණා. නමුත් මට ඒ පැත්තෙන් ඉහළට යන්නයි ඕනවුණේ. ඒ නැඹුරුවීම අද වෙද්දි ගිලිහිලා ගිහින් තියෙන එක ගැන මම දුක් වෙනවා.

දෙවෙනි ඉනිම නිසා හිමාලි රංගනයේදී යම් කොටුවීමක් වුණාද?
නැහැ. දෙවෙනි ඉනිම ආරම්භ කරද්දි මම අත්දැකීම් බහුල රංගන ශිල්පිනියක්. ඒ වෙද්දිත් මම බොහෝ හොඳ සහ නරක චරිත කරලා සම්මාන ලබලා කලාවේ තෙම්පරාදුවෙලා හිටපු කාලයක්. පහුගිය කාලෙදි මම කරපු මිනිගංදෑල ටෙලිනාට්‍යයටත් මම සම්මානවලට නිර්දේශ වුණා. සමහර හේතු නිසා සමහර කාලවලදි මට කාර්යබහුල වෙන්න බැරිවුණා. දුව පුංචි නිසා ගොඩක් දුරබැහැර පළාත්වල රූගත කිරීම්වලට මම ඒ කාලේදි සම්බන්ධ වුණේ නැහැ. දැන් දුවට චුට්ටක් තේරෙන නිසා මම යම් වැඩ කොටසක් කරනවා. කොහොමටත් දෙවෙනි ඉනිම නිසා නම් මම කොටුවුණේ නැහැ.

දිවිතුරාට අමතරව ඉදිරියේදී හිමාලිගේ රංගනයන් දකින වෙනත් නිර්මාණ මොනවද?
චිත්‍රපට දෙකක් අවසන්වෙලා තියෙනවා. තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඊට වඩා නිර්මාණ බොහොමයකටනම් මම දායකවෙලා නැහැ. කොවිඩ් නිසා බොහෝ නිර්මාණ රූගත කිරීම් නතර වුණා. මේ දවස්වලනම් ඉතින් දිවිතුරා එක්කම තමයි.