2021 මැයි 01 වන සෙනසුරාදා

කොරෝනා කාලේ නළු නිළි ආලේ....

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35


චීනයේ වූහාන් නගරයේ සිට පැතිරෙන්න පටන්ගත් කොරෝනා වෛරසය 2020 වසර වනවිට මුළු ලෝකයේම ව්‍යාප්ත වීම පටන්ගත් අතර මේ වනවිටද ලොව රටවල විටින් විට කොවිඩ් පොකුරු හඳුනාගනු ලබනවා. මෙම වසංගතය හේතුවෙන් අපේ රටට වඩා ඉන්දියාවේ අධික ජනගහනයක් ජීවත්වෙන නිසාවෙන්ම එහි මිනිසුන් බෙහෙවින් පීඩාවට පත්වුණා. ඉන්දියාවේ පාලනාධිකාරිය විසින් කොවිඩ් වසංගතය පැතිරීම නතර කිරීම සඳහා හිටි හැටියේම රට වසා දැමූ අතර ඒ හේතුවෙන් සංක‍්‍රමණික කම්කරුවන්ට තම නිවෙස් පිහිටි ගම්බිම් කරා යෑමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්වුණා. බොහෝ මිනිසුන් කුසගින්නේ පයින්ම හැතැප්ම සිය ගණන් ගෙවාගෙන තම ගම්බිම් කරා යන අයුරු ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කළා. ඒ අතරේ කොවිඩ් වෛරසය ව්‍යාප්තිය පැතිරීම වළක්වා ගැනීම සඳහා ඉන්දියාවේ රජය විසින් අගමැති සහන අරමුදල සහ සී එම් රිලීෆ් ෆන්ඩ් නමින් අරමුදල දෙකක් පිහිටවනු ලැබූ අතර ඒ සඳහා ආධාර ලබාදෙන ලෙස මධ්‍යම සහ ප‍්‍රාන්ත රාජ්‍ය මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

කොවිඩ් අර්බුදය හමුවේ අපහසුතාවට පත් අය වෙනුවෙන් සිනමා තාරකාවන්, ව්‍යාපාරිකයන් සහ කීර්තිමත් බොහෝ පිරිසක් එකතුව වසංගතයට එරෙහි සටනට අවශ්‍ය කරන මූල්‍ය ආධාර ලබාදීලා තියෙනවා. බොලිවුඩයේ බොහෝ දෙනෙක්ද පී.එම්. කෙයාර්ස් අරමුදලට පරිත්‍යාග කරලා තියෙනවා. ඒ අතර සෝනූ සූද් ගැලවුම්කාරයෙක් වී පීඩාවට පත් මිනිසුන්ට උදවු උපකාර කිරීම සඳහා මිනිසුන් අතරට ගිය නළුවෙක්. දැන් ඔබට කියන්න හදන්නේ කොරෝනා වසංගතය හේතුවන් පීඩාවට පත් මිනිසුන් වෙනුවෙන් හදවත් උණු වුණු බොලිවුඩ් තාරකාවන් ගැනයි. ඔබ ආදරය කරන අයත් මේ අතරේ ඉන්නවද කියලා බලන්න.

01. සල්මාන්ගෙන් 25000කට කෑම

බොලිවුඩයේ භායිජාන් සල්මාන් ඛාන් කියන්නේ ලොවපුරා ප්‍රේක්ෂකයින් ලක්ෂ සංඛ්‍යාවකගේ හදවත දිනාගත් කෙනෙක්. ඒ වගේම තමයි ඔහු තමන්ට ආදරය කරන මිනිසුන් අසරණ වුණා නම් ඔවුන්ට උදව් කරන්නත් පස්ස ගැහුවේ නැහැ. කොරෝනා වසංගතය නිසා මහාරාෂ්ට‍්‍රයේ ගම්මාන බොහොමයක ජීවත්වුණු සමස්ත ඉන්දීය විශේෂ කලාකරුවන්ගේ සංගමයේ සෑම සාමාජිකයෙක් වෙනුවෙන් රුපියල් 3000ක ආධාර ලබා දුන්නා. ඒ විතරක් නොවේ සල්මාන් විසින් මුම්බායි පොලිසියේ සනීපාරක්ෂාව වෙනුවෙන් හෑන්ඩ් සැනිටයිසර් ලක්ෂයක්ද බෙදා දුන්නා. ඊට අමතරව ඔහු සිනමා කර්මාන්තයේ නිරත දෛනික කම්කරුවන් විසිපන්දහසකට ආහාර පාන ලබාදීමටද කටයුතු කළා.

02. ආක්ෂය කුමාර්ගෙන් කෝටි 30ක්

ආක්ෂය කුමාර්ද පරිත්‍යාග කිරීමේදී අනිත් අයට දෙවැනි වෙන්න හදන කෙනෙක් නොවීය. කොරෝනා හේතුවෙන් රට වසා දැමූ වෙලාවේ ආක්ෂයද බෙහෙවින් උදවු පදවු කළ බොලිවුඩ් තරුවක්. වසංගතය දුරුකරන මෙහෙයුම වෙනුවෙන් ඔහු විසින් අගමැති සහන අරමුදලට ඉන්දියානු රුපියල් කෝටි 25ක් පරිත්‍යාග කළා. ඊට අමතරව ආක්ෂය විසින් බී.එම්.සී. වෙත ඉන්දියානු රුපියල් කෝටි 3ක් ද මුම්බ යි පොලිසියට ඉන්දියානු රුපියල් කෝටි 2ක් සහ කොරෝනා හඳුනාගැනීමේ උපකරණ කට්ටල දහසක්ද පරිත්‍යාග කළා.

03. කිංග් ඛාන්ගෙන් එන්නත් 500ක් - ඇඳුම් තොගයක්

බොලිවුඩයේ කිංග් ඛාන් විරුදාවලිය ලද ශාරුක් ඛාන්ද කොරෝනා සහන අරමුදල වන පී.එම්. කෙයාර්ස් අරමුදල වෙනුවෙන් මුදල් පරිත්‍යාග කළා. ඊට අමතරව ශාරුක් සෞඛ්‍ය සේවකයින් සඳහා සෞඛ්‍යා ආරක්ෂිත ඇඳුම් කට්ටල විසි පන්දහසක් පරිත්‍යාග කළා. ඊට අමතරව ඔහු විසින් ඔවුන් වෙනුවෙන් කොරෝනා මර්දනය වෙනුවෙන් විදින එන්නත් 500ක්ද පරිත්‍යාග කර තියෙනවා.

04. කම්කරුවන් ගෙදරට අරන් ගිය සෝනු

සෝනු සූද් කියන්නේ කොරෝනා වසංගතයෙන් ඉන්දියාව වෙළාගනිද්දී දේවදූතයෙක් වගේ අසරණ මිනිසුන්ගෙ පිහිටට ආව හින්දි තිරයේ විවිධ චරිතයන්ට පණ පොවන නළුවෙක්. ඉන්දියාව එක්වරම වසා දැමීමෙන් අනතුරුව සංක‍්‍රමණික කම්කරුවන් ඔවුන්ගේ නිවෙස් වෙත රුගෙන යෑමේ වගකීම ඔහු ගත්තා. ඒ විතරක් නෙවෙයි සෝනු ඔවුන්ගේ වෛද්‍ය ප‍්‍රතිකාර, වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම වගේම මූල්‍ය ආධාර පහසුකම් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කළා. 

05. ලක්ෂ ගණනකගේ බඩගින්න නිවූ රිතික් රෝෂන්

රිතික් රෝෂන්ද කොරෝනා වසංගතයට – එරෙහිව ඉන්දියානු රජය විසින් ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ විස්සක් පරිත්‍යාග කර තියෙනවා. ඊට අමතරව ඔහු විසින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිරත සේවකයින් සඳහා සෞඛ්‍ය ආරක්ෂක උපකරණද පරිත්‍යාග කළා. ඒ වගේම කොරෝනා වසංගතයෙන් ඉන්දියාව වෙළාගත් මුල් කාලයේ රිතික්, අක්ෂය පදනමත් සමඟ එකතුව අසරණභාවයට පත් පුද්ගලයන් එක්ලක්ෂ විසිදාහක් වෙනුවෙන් ආහාර පාන පිළියෙළ කොට දීලා තියෙනවා. 

06. එක ඩොලරයක්වත් දෙන්න යැයි ප‍්‍රියංකා චොප්රා හා නික් ජෝන්ස් ඉල්ලයි

බොලිවුඩයේ අති දක්ෂ නිළියක් සේම නිරෑපිකාවක්ද වන ප‍්‍රියංකා චොප්රා සහ ඇයගේ සැමියා වන නික් ජෝන්ස් විසින් අගමැති සහන අරමුදල සහ යුනිසෙෆ් ඇතුළු ස්වේච්ඡා සංවිධානවලට මුදල් පරිත්‍යාග කොට තියෙනවා. ඇය තම පෞද්ගලික ධනය පරිත්‍යාග කොට නිහඬව නොසිට මේ වෙලාවේ ඔබට හැකි අයුරින් ඩොලරයක්වත් පරිත්‍යාග කරන්න. ඒ වගේම අසරණභාවයට පත් මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත්ව උදව් පදව් කරන්න කියමින් ලොව සැමගෙන් ඉල්ලීම් කිරීමද සිදුකළා. 
ඉහත සඳහන් කළa නළු නිළියන්ට අමතරව උරී කියන සිනමාපටයේ ප‍්‍රධාන නළුවා වූ විකී කෞශාන් ද පී එම් කෙයාර්ස් අරමුදලට සහ මහාරාෂ්ට‍්‍රා මහ ඇමති සහන අරමුදලට ඉන්දියානු රුපියල් කෝටි එකක් පරිත්‍යාග කර තියෙනවා. ඊට අමතරව කාර්තික් ආර්යන්ද ඉන්දියානු රුපියල් කෝටියක් ඉහත සඳහන් කළ අරමුදල් වෙනුවෙන් ලබා දී තියෙනවා. 
ඔවුන්ට අමතරව රන්දීප් හූඩා සහ ඔහුගේ මිතුරෙක් වන ජේ. පටේල් විසින් අගමැති අරමුදල සඳහා ඉන්දියානු රුපියල් කෝටියක් පරිත්‍යාග කර තියෙනවා. ඒ වගේම මහාරාෂ්ට‍්‍රා මහ ඇමති සහන අරමුදලට ඉන්දියාවේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කර් විසින් ඉන්දියානු රුපියල් ලක්ෂ විසි පහක් පරිත්‍යාග කොට තියෙනවා. ගායකයෙක් වන ගුරු රන්දාවාද අගමැති අරමුදලට ඉන්දියානු රුපියල් ලක්ෂ විස්සක් පරිත්‍යාග කොට තියෙන අතර නළුවෙක් මෙන්ම නිවේදකයෙක්ද වන මනීෂ් පෝල් ඉන්දියානු රුපියල් ලක්ෂ විස්සක් පරිත්‍යාග කළා.