2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ප්‍රවීණයෙක් මගේ බෙල්ලෙන් අල්ලලා අපිව කන්න ආවද? ඇහුවා

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

- ජනක උඩුවන

Felicity Thruway ආරම්භ කළේ කොයි කාලේදීද?
Felicity Thruway ආරම්භ කළේ 2012 අවුරුද්දේ. මුලින්ම ලංකාවේ ෆොටෝ ගත්තේ ස්ටුඩියෝවලයි. ඒ නිසා ඒ සංකල්පය වෙනස් කරන්න මට ඕන වුණා. ස්ටුඩියෝවල, ගෙවල් ඇතුළේ ගත්තු ඡායාරූප සංකල්පය වෙනස් කරන්න තමයි මට Felicity Thruway ආරම්භ කළේ. මම හැමවෙලේම වෙනසක් කරන්න හිතපු කෙනෙක්. 2012 අවුරුද්දේ මෙය පර්චස් විස්සක භූමි ප්‍රමාණයක මම මේ සංකල්පය ආරම්භ කළා. මේ වනවිට මෙහි අක්කර එකහමාරක භූමි ප්‍රදේශයක් තියෙනවා.

ජනක උඩුවන කාලයක් තිස්සේ ඡායාරූපයේ නියැලුණු ඡායාරූප ශිල්පියෙක්. මේ ආරම්භය ඇතිවූයේ කොයිකාලේදීද?
මම ඡායාරූපකරණය පිවිසුනේ 1982 අවුරුද්දෙයි. ඒ කාලේ මගේ මාමා කෙනෙක් පොඩි රීල් කැමරාවකින් ඡායාරෑපකරණය පිළිබඳව ඉගැන්වූවා. ඒ කැමරාවට රීල් තිබුණේ නුගේගොඩ සකුරා ස්ටුඩියෝ එකේ විතරයි. ඒ පොඩි රීල් කැමරාවෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා.

ජනක මංගල ඡායාරූපකරණයේ නියැලුණු ඡායාරූප ශිල්පියෙක්. මුලින්ම මංගල ඡායාරූපයක් ගත්තු කාලය මතකද?
හොඳට මතකයි. රීල් කරපු කැමරාවෙන් ඉගෙනගත්තට පස්සේ මගේ තාත්තා ඊට වඩා හොඳ කැමරාවක් මට අරන් දුන්නා. මට තාම මතකයි ඒ කාලේ අපි වගේ ආධුනික ඡායාරෑප ශිල්පීන්ට ඇතැමුන් අඩියක් උඩට තියන්න ඉඩ දුන්නේ නැහැ. හිත රිදුනු තැන් අනන්තවත් තිබුණා. මුල්ම කාලේදී මම එක්තරා මංගල උත්සවයක ෆොටෝ ගන්න ගියාම ඒ කාලේ හිටපු ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් මගේ බෙල්ලෙන් අල්ලලා උඹ අපිව කන්න ආවද? කියල මාව පැත්තකට තල්ලු කළා. එදා මට පුදුමාකාර දුකක් දැනුණා. නමුත් මම මේ ගමන කොහොම හරි ඉදිරියට යනවා කියලා එදා මම හිතාගත්තා. එදා ඒ දැනිච්චි දුක මට ලොකු හයියක් වුණා. ඊට අවුරුදු අටකට විතර පස්සේ මාව බෙල්ලෙන් අල්ලලා තල්ලු කරපු ඒ ප්‍රවීණ ඡායාරූප ශිල්පියා පාරේ පයින් යද්දී මට මුණගැහුණා... එදා මම ඔහුව මගේ ජීප් එකේ දාගෙන ඔහුව ගිහින් ගෙදරටම බැස්සුවා. එදා සමහරවිට ඔහුට ඒ අතීතය මතක් වෙන්න ඇති. නමුත් මාව ඒ තල්ලු කිරීමෙන් මගේ හිතට හයිය ලබලා දුන්නට මම එදා වාහනයේදීම ඔහුට හිතින් ස්තූති කළා. අද ඔහු ජීවතුන් අතරේ නැහැ. ඒ වගේ පුදුමාකාර මහන්සියක්, දුකක් විඳලා තමයි මම ඡායාරූප ශිල්පියෙක් විදිහට මේ ගමන ආවේ.

මංගල ඡායාරූපකරණයේ නියැලුණු ජනක පහුකාලයේදී පුවත්පත් කවරයන් සඳහාද ඡායාරූප ලබාදුන් ඡායාරූප ශිල්පියෙක්. ඒ ලබපු අත්දැකීම් මොනවගේද?
මංගල ඡායාරෑපකරණයේ නියැලුණු මට පුවත්පත් කවර පිළිබඳව මුල් කාලයේදී අවබෝධයක් තිබුණේ නැහැ. මම ඒ කාලේදී ඒවත් ෆොටෝ අරගෙන පෝස්ට් කාඩ් ප්‍රමාණයේ ෆොටෝ ප්‍රින්ට් කරගෙන පුවත්පත් කාර්යාල කිහිපයකටම අරගෙන  ගියා. ඒ හැමතැනකදීම මගේ ෆොටෝවලට තැනක් ලැබුණේ නැහැ. සමහර කර්තෘවරු මගේ ෆොටෝ බලන්නේවත් නැතිව ඒ ෆොටෝ හැම එකක්ම ඉවතට දැම්මා. අඩුම තරමේ ඒ ෆොටෝවල අඩුපාඩවක්වත් මට ඒ අය කියලා දුන්නේ නැහැ. ඔය අතරේ &ශ්‍රී* සඟරාවේ කර්තෘ ජගත් අයියා මගේ ඡායාරෑපවල අඩුපාඩු පෙන්වල් දීලා මට පුවත්පත් කවර සඳහා ඡායාරෑප ගන්න හැටි කියලා දුන්නා. මංගල ඡායාරූපකරණය හා පුවත්පත් කවරවල ඡායාරෑපවල වෙනස ගැන මට ඔහු තමයි කියල දුන්නේ. එතැන් සිට මම පුවත්පත්වලට කවර කළා. අවුරුදු ගණනාවක් මම ඒ ක්ෂේත්‍රයේ නියැලුණා.

කාලයක් තිස්සේ ඡායාරූපකරණයේ නියැලුණු ජනක අසනීප තත්ත්වයක පසුවෙනවා. මේ අසනීපයට මුල්වන්නේ හදිසි අනතුරක් නේද?
ඔව්... මීට අවුරුදු දාහතකට විතර කලින් මම තැඹිලි ගෙඩියක් කඩන්න මගේ වත්ත පහළට ගියා. මම කෙක්කකින් තැඹිලි ගෙඩියක් කැඩුවා. දෙවැනි තැඹිලි ගෙඩිය කඩන්න කෙක්ක අදිද්දී තැඹිලි ගෙඩිය කැඩියා මගේ ඔළුවේ වැදුණා. ඒ තද පහරින් මම එතැනම වැටුණා. ඒ වෙලාවේ මට වමනේ ගියා. මට කතාකරගන්න බැරිව ටිකවෙලාවක් හිටියා. ගෙදර කට්ටිය මාව හොයද්දී ඒ අයටත් මාව හොයාගන්න බැරිවුණා. වත්ත පහළට ආපු ගෙදර අය මාව හොයාගෙන මගේ ඇඟ ළඟින් ගියත් මට ඒ අයට කතාකරගන්න මුලින් බැරිවුණා. කොහොම හරි ඒ අය මාව හොයාගෙන මාව ඉක්මනට ගෙදරට ගෙනාවා. ටික වේලාවකින් මම යථා තත්ත්වයට පත්වුණා. මට ඒක අමතක වෙලා හවස නෑවා.

ඒ සිදුවීම සිදුවෙලා වසර ගණනාවකට පස්සෙද ආයෙමත් රෝගී තත්ත්වය මතුවුණේ?
ඔව්. ඒ සිදුවීම වෙලා අවුරුදු පහකට විතර පස්සේ තමයි මගේ රෝගී තත්ත්වය ආයෙත් මතුවුණේ. ඒ කාලයේදී මම සුපුරුදු පරිදි මගේ වැඩකටයුතු කරගෙන ගියා. අපි දළදා මාලිගාවට දානයක් දෙන්න ගියා. එදා මගේ ගෝලයෙක් සම්පූර්ණයෙන්ම ඒක වීඩියෝ කළා. ඒ වීඩියෝවේ මගේ දකුණ අත වැඩකරලා නැහැ. එකම විදිහට තමයි මගේ දකුණු අත තියෙන්නේ. ඒකෙන් තමයි මට රෝගී තත්ත්වයක් පවතින බව මුලින්ම තේරුම් ගියේ. මම ඉක්මනට ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියකට පෙන්නුවා. තදින් ඔලුවට පහරක් වැදුණාද? කියල අහද්දී තමයි මීට අවුරුදු පහකට උඩදී සිදුවුණු සිදුවීම මට මතක් වුණේ. මගේ දකුණු අත ආයෙත් මට හසුරුවාගන්න අමාරුයි. කතා කරන්න වුණත් ටිකක් අමාරුයි. ප්‍රතිකාර ගැනීම නිසා දැන් ටිකක් සුවයි. 2019 අවුරුද්ද වනතුරු මම සුපුරුදු පරිදි ඡායාරෑපකරණය කළා. නමුත් අත නිසි පරිදි හසුරුවාගන්න බැරිවුණ නිසා මම ටික කාලයක් ඒක නතර කළා. නමුත් දැන්නම් රෝගය සුව අතට එනනිසා මගේ ගෝලයින් එක්ක එකතුවෙලා මම සුපුරුදු පරිදි ඡායාරෑප ගන්නවා. ඒ කාලේ ඉඳන් මගෙන් ඡායාරෑප ගත් අය අදටත් මාව හොයාගෙන මෙතැනට එනවා.

Felicity Thruway හි ලැබෙන පහසුකම් මොනවාද?
මංගල ඡායාරෑපකරණයේදී විවාහය අත්සන් කරන තැනේ සිට, පෝරුව, අෂ්ඨක කීම තැනේ සිට ඡායාරූපකරණයට අවශ්‍ය සියලුම සුන්දර තැන් මෙතැනදී අපි ලබලා දෙනවා. ඒ වගේම දමිළ විවාහ උත්සවයක ඡායාරූපණයට අවශ්‍ය පහසුකම් වගේම විශේෂ සුන්දර තැන් බොහෝමයක් මේ එකම තැනකින් ඡායාරූපකරණයට හසුකර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මුලින්ම මේ ස්ථානය මම හැදුවේ මගේ පෞද්ගලික ඡායාරූපණයටයි. මුලින් මේක මගේ ඡායාරූප ස්ටුඩියෝවයි. මේක දැකපු මගේ හිතවත් ඡායාරෑප ශිල්පීන් ඔවුන්ගේ ඡායාරෑපකරණයට මගෙන් ඉල්ලුවා. ඒ අනුව තමයි අද මෙය වැඩිදියුණු වෙලා තියෙන්නේ. මෙතැන හැමතැනක්ම අපි හැදුවේ අපේ සමාන්‍ය ඇහැට නෙමේ. කැමරාවේ ඇසට ගැලපෙන විදිහටයි. මේ ස්ථානයේ හැමතැනකම සියයට හැත්තෑපහකටත් වඩා තියෙන්නේ අපේකමයි. කෘත්‍රිම වැස්ස පවා අපි හදලා තියෙනවා. උඩරට ඇඳුම ඇඳගත්තත් සමහරු වැස්සට කෙසෙල් කොළය අල්ලන්නවත් දන්නේ නැහැ. ඒ හැමදේම අපි කියලා දීලා හරි අපූරු ඡායාරූප එකතුවක් ඒ අයට ලබලා දෙනවා. මෙතන ඒ වගේ සුන්දර තැන් සියයකටත් වඩා අපි හදලා තිබෙනවා. මේ වෙනුවෙන් මගේ සහයට පස් දෙනෙක් ඉන්නවා. අපි හැමෝගේම එකතුවෙන් අපි හැමදෙනාගේම අදහස්වලට අනුව තමයි මේ ගැන තවත් සුන්දර වෙලා තියෙන්නේ.