2021 මාර්තු 06 වන සෙනසුරාදා

මාදු ගඟේ බෝට්ටු සවාරිය තරම් සතුටක් මට තවත් නෑ

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

රෝස් මොනවාද මේ දවස්වල අලුත් විස්තර?
මේ දවස්වල වෙන හොඳම දේ තමයි අපේ Gym එකේ meet එකකට ලෑස්ති වෙන එක. කොරෝනා ප්‍රශ්න නිසා අපේ ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමටත් සංගීත ප්‍රසංග එහෙම අඩුයි. වැඩිපුර කාලයක් යොදවලා තියෙන්නේ Gym එක වෙනුවෙන් තමයි. ඒ නිසා ඕවා තමයි මේ දවස්වල අලුත් තොරතුරු.

රෝස් ඔබ ඇවිදින්න යන එක පුරුද්දක් විදිහට කරන දෙයක්ද?
මෙහෙමයි මම ඇවිදින්න යන්න ගොඩක් ආසකරන කෙනෙක්. ඒත් මම පාසල් කාලයේදී බාහිර වැඩ සඳහා ලොකු කාලයක් කැප කරපු කෙනෙක්. බාහිර වැඩ කියන්නේ මම හොඳට ක්‍රීඩා කරපු කෙනෙක්. ඒ වගේම මම හරි ආසා කරන දෙයක් තමයි පරිගණක එහෙම කැඩිලා තියෙනවා නම් ඒවා හදන වගේ දේවල්වලට. ඉතින් මම විවේකයක් ලැබුණු හැම වෙලාවකම කරන්නේ ඔය වගේ දේවල්. මම ෆ්ලෑස් බැක් සංගීත කණ්ඩායමට එකතුවුණාට පස්සේ තමයි මට ගොඩාක් තැන්වලට ඇවිදින්න අවස්ථාව ලැබුණේ.

රෝස් ඔබ ලංකාව ඇතුළත වැඩිපුර ඇවිදින්න ආසකරන තැන් එහෙම ඇති නේද?
ඔව්. මම ලංකාව ඇතුළත වැඩිපුර ආසකරන තැනක් තමයි අම්බලන්ගොඩ කියන්නේ.

ඇයි ඔබ අම්බලන්ගොඩ යන්න ඔච්චරම ආස කරන්නේ?
නිදහසේ ඉන්න පුළුවන් පැත්තක්. අම්බලන්ගොඩ තියෙනවා මාදු ගඟ කියලා ගඟක්. ඔය ගඟේ බෝට්ටු සවාරියක් යනවා තරම් සතුටක් මට තවත් නෑ. මට ගොඩක් හිතවත් මල්ලි කෙනෙක් ඉන්නවා ඩිලාන් කියලා. එයා අම්බලන්ගොඩ තමයි ඉන්නේ. අපි අම්බලන්ගොඩ ගියපුවහම ඩිලාන් මල්ලිලාගේ ගෙදර තමයි නවතින්නේ. ඒ වගේම තව හේතුවක් තමයි මම මාර පෙරේතයි (සී ෆුඩ්) කෑමවලට. ඉතින් මම එහේ ගියාම ඩිලාන් මල්ලිලාගේ පවුලේ කට්ටිය මාව ඔය කෑමවලින් නාවනවා. හරියට කන්න දීලා මරනවා වගේ තමයි. අන්න ඔය හේතු නිසා තමයි මම අම්බලන්ගොඩ යන්න මෙච්චර ආස කරන්නේ.

රෝස් ඔබ ඇවිදින්න යන්න වැඩිපුර ආස කරන්නේ කාත් සමඟද?
මගේ යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. පැතුම්, ජනිත්, ඩිලාන් කියලා යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. එයාලත් එක්ක තමයි මම ගොඩක් වෙලාවට ඇවිදින්න යන්නේ. ඔය යාළුවෝ සෙට් එක නැත්නම් මම ගොඩක් වෙලාවට කොහේ හරි යන්න ආස මගේ පවුලේ කට්ටිය එක්ක විතරයි.

ඔබ ඇවිදින්න යන්න වැඩිපුර කැමති අම්බලන්ගොඩ කියලා ඔබ කියනවා. අම්බලන්ගොඩ ගියපු අවස්ථාවලදී සිදුවූ අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
මේ ළඟදී ගිය අවස්ථාවකදී මම ආසම කරන දෙයක් මට නැතිවුණා. මම ගොඩක් ආස කරන දෙයක් තමයි හිස්වැසුම් (Cap) කියන්නේ. මම පිටරටක සංචාරයක ගිය අවස්ථාවක ගත්ත වටිනා Cap එකක් මම ළඟ තිබ්බා. ඒකට මම මාරම විදිහට ආසා කරනවා. මේ ළඟදී ගිය අවස්ථාවේ ඒ ආසම කරන Cap එකට වෙච්ච දෙයක් නැති වුණා. සමහරු හිතයි මූට පිස්සුද මේ Cap එකක් නැතිවෙලා මෙච්චර දඟලන්නේ කියලා. ඒ දේ Cap එකක්ද පෑනක්ද කියන දේ නෙවෙයි. මම ආසා කරන දෙයක් නැතිවුණාම මට මාරම දුකක් ඇතිවෙන්නේ. ඔන්න ඔය සිදුවීම තමයි මට සිදුවුණ අමතක නොවනම සිදුවීම.

රෝස් ඔබ ලංකාවෙන් පිටත සංචාරයන් සඳහා ආසම කරන රටවල් මොනවාද?
මම ගොඩක් ආසයි ප්‍රංශයට යන්න. මම ප්‍රංශයට යන්න ආසකරන හේතුව තමයි අයිෆල් කුලුණ සහ ‍සෙන් නදිය වගේ තැන් නිසා. මොකද අපි පොඩි කාලේ ඉඳන් පින්තූරවලින් දැක්ක දේවල් ඇස් පනාපිට දකින්න තියෙනවා කියන්නේ ඒ සතුට වචනවලට පෙරළන්න බැරිතරම්. ඒ වගේම ඩුබායි වගේ රටකට යන්නත් ආසයි. මොකද ඒ රටේ දුරකථන, පරිගණක, විදුලි උපකරණ වගේ දේවල් මිල අඩු නිසා. මොකද මම ඉලෙක්ට්‍රොනික් පැත්තට වැඩි ආදරයක් දක්වන කෙනෙක් නිසා. මම දැනට ගොඩක් රටවල්වල සංචාරය කරලා තියෙනවා. ඒ හැම රටකටම විවිධ හේතු තියෙනවා මම ආසා කරන. මම යන්න ආස කරන තව රටක් තමයි USA කියන්නේ. ඒකට හේතුව තමයි යුනිවර්සල් ස්ටුඩියෝ එක බලන්න තියෙන ආශාව. මොකද අපි පොඩිකාලේ ආසා කරපු චිත්‍රපටයක් තමයි ජුරාසික් පාක් කියන්නේ. ඒ චිත්‍රපටය කරලා තිබ්බේ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ නිසා. ඒ චිත්‍රපටයේ ජීප් එකක් තිබ්බා. මම ඒ ජීප් එක ළඟ ඉඳන් පින්තූරයක් ගත්තා. ඒ පින්තූර ටික මට මාර විදිහට වටිනවා. මොකද අපි පොඩි කාලේ ආසාවෙන් බලපු චිත්‍රපටයක තිබ්බ ජීප් එක ළඟ ඉඳන් ඡායාරෑපයක් ගන්නවා කියන්නේ. ඒ සතුට කියලා නිමකරන්න බෑ. ඔන්න ඔය වගේ හේතු ගොඩක් තියෙනවා.  ක්‍රිස්තියානුවෙක් විදිහට ඊශ්‍රායලයට යන්නත් මම ආසයි. මම ඒ රටට ගිහිල්ලා හැමතැනම ඇවිදලත් තියෙනවා. රටින් රටට එක එක හේතු තියෙනවා. 

රෝස් ඔබ දැකලා තියෙනවද සමහර මිනිසුන් කොහේ හරි ඇවිදින්න ගියපු අවස්ථාවල ඒ යන තැන ඇස් දෙනෙක් ඒවා විඳින්නේ නැතිව ඡායාරූපවලින් විතරක් විඳිනවා. ඔබ එවන් ක්‍රියාවන් ගැන කොහොමද දකින්නේ?
ඒ දේ එකිනෙකාට වෙනස්. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර කට්ටිය ආසයි රැප් සින්දු අහන්න. තවත් කට්ටිය ආසයි ක්ලැසිකල් සින්දු අහන්න. අන්න ඔය වගේ දෙයක් තමයි. හැබැයි මම නම් ඒ යන තැන ෆොටෝ එකෙනුත් විඳිනවා. සජීවීවත් විඳිනවා. ෆොටෝ එකෙන් විතරක් විඳින්න ඕනේ නම් ඔය ගමන යන එකේ තේරුමක් නෑනේ. ඊට වඩා හොඳයි යන කෙනෙක්ට කියන්න පුළුවන් මචං මට ෆොටෝ ටිකක් වීඩියෝ ටිකක් කරන් එන්න කියලා. මගේ මතය අපි කොහෝ හරි ඇවිදින්න යනවා නම් අනිවාර්යයෙන්ම අපි යන තැන එදාට ඇස් දෙකෙන්ම විඳින්න ඕනේ කියන එකයි. හැබැයි අපිට මතක සටහනක් විදිහට ඡායාරූපයක් ගන්න එකෙත් වරදක් නැහැ.

ඔබ කොහොමද විනෝද චාරිකාවක් යන්නට පෙර ඒ චාරිකාව සැලසුම් කරන්නේ?
අවංකවම කියනවා නම් පවුලේ සාමාජිකයන් සමඟ යන චාරිකාවල කිසිම ප්ලෑන් එකක් කරන්නේ නෑ. මොකද අපේ කට්ටිය උදේ 11.00ට යනවා කිව්වොත් යන්නේ දවල් 2.00ට. ඒ නිසා පවුලේ කට්ටිය එක්ක යද්දි කිසිම ප්ලෑන් එකක් කරන්නේ නෑ. හැබැයි අපේ සංගීත කණ්ඩායමක් එක්ක යන සංචාරවලදී නම් අපිට හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ඒ සංගීත කණ්ඩායමත් එක්ක යන සංචාරනම් ප්ලෑන් කරන්නේ රොෂාන් අයියා සහ රොෂාන් අයියාගේ තාත්තයි. එතකොට නම් හැමදෙයක්ම වෙලාවට අපි කරනවා.

අනාගතයේදී කොහොම හරි ඇවිදින්න යනවාමයි කියලා හිතාගෙන ඉන්න තැනක් ඔබට තියෙනවාද?
මගේ ලොකු හීනයක් තියෙනවා ඇවිදින්න යන්නත් එක්කම කෙනෙකුව හම්බවෙන්න. ඒක මගේ ලොකු හීනයක්.

කියමුකෝ ඒ යන්න ආස තැන සහ කවුද කෙනා කියලා?
ඒ යන්න ආස තැන තමයි ඉන්දියාව. කෙනා කවුද කියලා කියනවා නම් ඒ තමයි විරාට් කෝලි. කෝලි ලංකාවට ආපු අවස්ථාවේ මට කෝලිව හමුවෙන්න තිබුණ අවස්ථාවක් නැතිවුණා. හැබැයි කවදා හෝ දවසක අනිවාර්යයෙන්ම මම ඉන්දියාවට ගිහිල්ලා ඒ රටේ තියෙන හැමතැනම ඇවිදලා අනිවාර්යයෙන්ම විරාට් කෝලිව මුණගැහිලා එන එක තමයි මගේ එකම හීනය වෙන්නේ.