අද තනිකඩයා හැඩ කරන්නේ මෙරට මෝස්තර නිර්මාණකරණයේ හා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන හැරිස් විජේසිංහ මහතාය. ඔහු අතින් හැඩවුණු මනාලියන් සිය දහස් ගණනාවකි. එහෙත් ඔහු කිසි දිනෙක මනාලියක් කැන්දාගෙන ආවේ නැත.
• ඔබ අවිවාහකව සිටීමට තීරණය කළ කාලය මතකද? එවැනි තීරණයක් ගැනීමට බලපෑ විශේෂ හේතුවක් තිබුණද?
විවාහ නොවී ඉන්න මම තීරණය කළේ වයස අවුරුදු 35දී. දැන් මට 76යි. මගේ තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 12යි. පස් දෙනෙකුගෙන් යුත් අපේ පවුලෙ මැද දරුවා තමයි මම. අම්මා මාත් එක්කම තමයි දිගටම හිටියෙ. පොඩි කාලෙ ඉඳලම මගේ සිතේ අම්මට ලොකු ආදරයක් තිබුණා. මගේ තාත්තා නැති වෙනකොට අම්මගෙ වයස අවුරුදු 37යි. අපේ පවුල හරිම ආදරණීයයි. අම්මගේ සහෝදර සහෝදරියො වගේම ඒ ගොල්ලන්ගෙ දරුවො එක්කත් අපට තිබුණේ ලොකු බැඳීමක්. මම රෑපලාවණය ක්ෂේත්‍රයට ආවෙත් මගේ ස්ව උත්සාවයෙන් හා ස්ව අධ්‍යයනයෙන් කියලා කිව්වොත් නිවැරදියි. මම අවුරුදු 35දී දැඩි තීරණයක් ගත්තා විවාහයක් නොකර අම්මව බලාගන්න. මම කැමැති වුණේ නැහැ මම විවාහයක් කරගත්තට පස්සේ අපේ ගෙදර අම්මා දෙවෙනි ස්ථානයට පත් වෙනවා දකින්න. මට ඒ ගැන කිසිම පසුතැවීමක් නැහැ. එකම පසුතැවීමක් තිබුණානම් ඒ තාත්තා අපිව සදහටම දාලා ගිය දුක විතරයි. අවුරුදු 35 කියන්නෙ ඇත්තටම මගේ ජීවිතයේ සුවිශේෂී කඩඉමක්. මම සත්ව ආහාර ගැනීමෙන් වැළකිලා සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර ගන්න පටන් ගත්තෙත් අවුරුදු 35දී. අපේ පන්සලේ හොරණ පූජ්‍ය අනගාරික නාරද ස්වාමීන් වහන්සේගේ බණ දේශනාවකින් පස්සේ තමයි මම ක්ෂණිකව ඒ තීරණය ගත්තේය. මම සාමාන්‍යයෙන් තීරණයක් ගත්තොත් ඒක හෙටට කල්දාන කෙනෙක් නෙවෙයි. මට මතකයි ඒ කාලෙ මට ආනන්ද ගනේගොඩ මහතාගෙ පවුලේ උදවිය සමඟ සිංගප්පූරුවට යන්න සිද්ධ වුණා මනාලියකගේ ඇඳුම් පැළඳුම් තෝරගන්න. මගේ සමීපතම යාළුවො හැමෝම වගේ කිව්වෙ ලෝකෙ හොඳම ආහාර වර්ග හැමදේම සිංගප්පූරුවෙ තිබෙන නිසා එහෙම ගිහින් ආවට පස්සෙ වෙජිටේරියන් වෙන්න කියලා. ඒත් මම එහෙම කළේ නැහැ. මට සමබර ජීවන රටාවකට හුරු වෙන්න නිර්මාංශ වීම බලපෑමක් කළා කියලා මට හිතෙනවා.
• අම්මා බලාගන්න ඕන නිසා ඔබ විවාහ නොවන බව දැනගත්තම අම්මා මොනවද කිව්වෙ?
අම්මා නිසා බඳින්නෙ නැහැ කිව්වම මිනිස්සු දොස් කියයි කියලා එයා කිව්වා. මම කිව්වා අනිත් අය කියන දේවල් මට වැඩක් නැහැ, මේක මගේ තීරණයක් කියලා. අම්මා මගේ සංසාරෙ දිගටම ආපු අම්ම නිසා තමයි මට ඒ වගේ තීරණයක් ගන්න පුළුවන් වුණේ. මම හැම කෙනෙකුටම මතක් කරන්න කැමැතියි දෙමාපියන්ට සැලකීම තරම් වෙනත් උතුම් ලාභයක් මේ ලෝකෙ නැහැයි කියලා.
අම්මා නිසා මම බඳින්නෙ නැහැ කියලා තීරණය කළාට මට පස්සෙ කාලෙක හිතුනා මම මේක කරලා තියෙන්නේ මගේ වාසියට, සංසාර ගමන කෙටි කරගන්න කියලා.
• ඔබ අම්මගෙ සුන්දර මරණය දුටු පුතෙක්?
ඔව්. ඒ මතකය මගේ ජීවිතය පුරාවටම ඉඳිලා තියේවි. අම්මා අවසාන කාලය වෙනකම් හිටියෙ මාත් එක්ක. එයා නැති වෙනකොට අවුරුදු 96යි.
අම්මා හොඳට ජීවිතේ සතුටින් වින්ද කෙනෙක්. ඇගේ මරණය මම දැක්කා. එයා ඇඳේ හිටියෙ එකම එක දවසයි. ඒ සුන්දර මරණය මම දැක්කා.
ඇගේ දේහය ප්‍රදර්ශනය කරනවට මම කැමැති වුණේ නැහැ. ඒ සඳහා මගේ පවුලේ අයගෙ කැමැත්තත් මම ලබාගත්තා. මට ඕන වුණේ ඇගේ අවසන් කටයුතු හැකි ඉක්මණින් ඉවර කරන්න. ඇය අවසන් හුස්ම හෙලුවේ හවස 5.30ට විතර. පහුවදා උදේ 10.30 වෙද්දී ඇගේ ආදාහන කටයුතු ඉවර කළා. ඒ සඳහා මට විශාල ශක්තියක් වුණු ජයරත්න පවුලට මම අදටත් ස්තූතිවන්ත වෙනවා. චමරි ජයරත්න මට එදා විශාල ශක්තියත් වුණා. ජයරත්න පවුල අපේ ඥාතීන් වන අතර අපට බොහොම හිතවත්. මම කිව්වා අම්මගෙ මිණියට එක මලක්වත් පාවිච්චි කරන්න එපා කියලා. මම පිච්ච මල් පූජා කරන්නෙ බුදුන්ට විතරක් නිසා.
මම දීපු ලස්සන සුදු ඔසරියකින් සැරසිලා ඇය අවසන් ගමන් ගියා. අවමංගල උත්සව සභාව මෙහෙයවූවෙත් මම. අනිත්‍ය ගැන පාඩම ගැන තමයි එදා පැමිණ සිටි අය ආමන්ත්‍රණය කරමින් මම කතා කළේ.
• තනිකඩව ඉන්නකොට තමන් වයසට ගිය කාලෙක ඇතිවිය හැකි අනාරක්ෂිත භාවය ගැන ඔබට බයක් දැනිලා නැද්ද?
ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි ඒක. නමුත් මම අහනවා, දරුවො හිටියා කියලා, බිරිඳක් හිටියා කියලා අපි ආරක්ෂිතයි කියලා කාටද සහතික වෙන්න පුළුවන්. බිරිඳ සැමියට කලින් මැරුණොත් මොකද වෙන්නෙ?
ඉස්සර වගේ නෙවෙයි, දැන් අපි දකිනවනෙ දරුවන්ව වදලා හදපු දෙමාපියන්ටත් දරුවො අහිමිවෙලා තියෙන එක. මගේ ජීවිතේ මගේ නොවුණට මට ආදරේ කරන, මම ආදරේ කරන දුවලා පුතාලා ගොඩාක් ඉන්නවා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. සමහරු මට කියනවා ඔයාට දුවලා පුතාලා වැහි වැහැලා කියලා. මට අවුරුදු 40දී මම දරුවන්ට කතා කළේ පුතා කියලා. අවුරුදු 50දී පුතේ කියලා කියන්න පටන් ගත්තා. මම කියන්නෙ වැදූ පමණින් දරුවෝ නොවෙති. හැදූ පමණින් දරුවෝ වෙති* කියලා. ජනප්‍රිය රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම මගේ තව දරුවෙක්. මට පණ හරි දෙන්න වුණත් දරුවො ඉන්නවා.
• ජීවිතේ පාලුව, තනිකම මකාගන්න ඔබ මොනවද කරන්නෙ?
මට එහෙම පාලුවක්, තනිකමක් දැනිලා නැහැ. මගේ සමබර ජීවන රටාව ඒකට හේතුවක් වෙන්න ඇති. පහුගිය අවුරුදු 24ක් පුරාවටම මම අපේ ගෙදර හැම අඟහරුවාදා දවසකම හවස 7ට ආගමික වැඩසටහනක් කරනවා. මගේ ගෙදර බුදු මැදුරක් තියෙනවා. ප්‍රවීණ කලාකරුවන් ඇතුළු බොහෝ හිතවතුන් එදාට එනවා. හිතේ ඒකීයභාවය ඇති කරන්න භාවනා වැඩසටහනකුත් කරනවා. බොහෝ අය කියන දෙයක් තමයි මෙහෙ ලබන ඒ මානසික සුවය පන්සලකට ගියත් ලැබෙන්නෙ නැහැ කියලා.
• ඔබ සංගීතයට ලැදි හොඳ ගායකයෙක් බවත් අපි දන්නවා.
මම ගායනයට හරි ආස කෙනෙක්. වියෙනා කියලා මගේ ඥාති සොයුරියක් තමයි මට මුල්වරට කිව්වෙ එයා ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න කලා භූමියට යනවා කියලා. මගේ දැඩි ආසාව නිසා මාත් ඉගෙන ගන්න ගියා. එතකොට මගේ වයස අවුරුදු 57යි. කාර්යබහුලත්වය නිසා දිගටම යන්න බැරි වුණත් මගේ සංගීත ගුරු විශාරද නලින් අල්විස් මට ගෙදරට ඇවිත් පෞද්ගලිකව ඉගැන්නුවා. මම ගායනා කළ මුල්ම ගීතය රචනා කළේ සෝම හාමුදුරුවෝ. උන්වහන්සේ රුසියාවට යන්න කළින් අපේ ගෙදරට වැඩලා ඒ ගීතයට සවන් දුන්නා. මම සෝම හාමුදුරුවො ළඟින් ඇසුරු කළ කෙනෙක්.
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ පුත් කළිඳුගෙ විවාහ උත්සවය කළේ මම. ඒකට උපහාරයක් හා තෑග්ගක් හැටියට ඔහු පැරණි ජනප්‍රිය බොදු ගී 7කට නව සංගීත සංයෝජනයක් නිර්මාණය කරලා මගේ කටහඬින් පටිගත කළා. මටත් හොරෙන් ඒ වැඩේ සම්බන්ධීකරණය කරලා තිබ්බෙ දයාන් විතාරණ.
• විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් ඔබෙන් යම් උපදෙසක් ලබාගන්න ආවොත් ඔබ ඒ අයට මොනවද කියන්නෙ?
විවාහය කියන්නෙ සූදුවක් වගේ දේකටනෙ. දිනන්නත් පුළුවන්. පරදින්නත් පුළුවන්. ඕනෙම විවාහයක සාර්ථකත්වය රැඳිලා තියෙන්නෙ ඒ දෙන්නා අතර ගොඩනැගෙන විශ්වාසය මත. අවුරුදු 15ක් යාළුවෙලා ඉඳලා විවාහ වුණු සමහර අයගෙ මඟුල් මාසෙකින් කැඩෙනවා අපි දැකලා තියෙනවා. අහලා තියෙනවා. අන්‍යෝන්‍ය අවබෝධය හා එකිනෙකාට ගරු කිරීම විවාහ ජීවිතයකට වැදගත් සාධක දෙකක්.
• තනිකඩව ජීවත් වීම පහසු කාර්යයක්ද?
තනිකඩ ජීවිතය හිතන තරම් ලේසි නැහැ. අපි වෙනුවෙන් අපි තනියෙන් සටන් කරන්න ඕනෙ. නිර්මාංශ වී සිටීම මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. මම වුණත් රෑට නිදාගන්න යනකොට ගැට ටික ලිහලා නිදාගන්නවා. උදේට බලද්දී ආයෙමත් ගැට ගැහිලා. ජීවිතේ හැටි ඔහොම තමයි. ආගම තමයි මගේ සමීපතම මිතුරා. ඒ තුළින් ජීවිතේ ගොඩාක් අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් වෙනවා.